11 වන ජාත්‍යන්තර යෝගා දිනය 2025 ජුනි 21 වැනි දින ලොව පුරා සිටින මිලියනකට අධික යෝගා පුහුණුවීම් සිදුකරනා පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වේ. ලොවට ජාත්‍යන්තර යෝග දිනය හඳුන්වාදුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙවර යෝගා සැමරුම සිදු කරනු ලබන්නේ අන්ද්‍රා ප්‍රදේශයේ විශාකාපට්නම් නගරයේදීයි. විශාකාපට්නම්හි පිහිටි අන්ද්‍රා විශ්වවිද්‍යාලය මෙහිදී විශාල කාරයභාරයක් සිදුකරනා අතර, ප්‍රධාන සියලුම පුහුණුකරුවන් ලබාදීමට කටයුතු කරන්නේ අන්ද්‍රා විශ්වවිද්‍යාලයේ යෝගා අධ්‍යයන අංශය මගිනුයි. යෝගා අධ්‍යයන අංශය ශ්‍රී ලාංකිකයිනට ද සුවිශේෂි වන්නේ එහි සිටිනා මහාචාරයවරුන් තිදෙනාගෙන් එක් අයකු ශ්‍රී ලාංකික වීමයි. ඇය මහාචාර්ය නිමාලි තක්ෂිලා විතානගේ ය. ඇය පසුගිය දිනක ශ්‍රී ලංකා ඉන්දියානු මහකොමසාරිස් කාරයාලයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ඉතා සුවිශේෂී වැඩමුළුවක් පවත්වනු ලැබුවාය.
එම වැඩමුළුවේදී ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ශාලාව පිරී ගිය අතර බොහෝ පිරිසකට ආපසු යෑමට පවා සිදු වුණා. මෙම අවස්ථාව සදහා ප්‍රවීණ සිනමාවේදී අනෝජා වීරසිංහ මහත්මිය, එතුමියගේ සිසුන් විශාල සංඛ්‍යාවක් සමග පැමිණ තිබූ අතර, යෝගා සම්බන්ධව කටයුතු කරන ආයතන හිමිකරුවන්, යෝගා උපදේශකවරුන්,
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන්, රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් කලාකරුවන් ඇතුළු යෝගා විෂයයට ආදරය කරන හා හදාරන බොහෝ පිරිසක් පැමිණ තිබුණා. ඔවුන් මෙම වැඩමුළුව අවසානයේ ඉතාමත්ව ප්‍රීතිමත්ව හා විශිෂ්ට ලෙස එම වැඩසටහන අගයනු පෙනුණා.අනෝජා මහත්මිය විශේෂයෙන් කියා සිටියේ මෙම වැඩමුළුව සුවිශේෂී වන්නේ, අතිශය නැවුම් කරුණු හා සංකීර්ණ සංස්කෘත භාෂාවෙන් ලියැවුණු ශ්ලෝක ඉතා සරලව හා ආකර්ෂණීයව මහාචාර්යතුමිය විසින් පැහැදිලි කළ අපූර්වයයි. ඇයගේ සියලුම ශිෂ්‍යයන් ඔවුන් හට මෙම අවස්ථාව ලබාදීම උදෙසා ඇයට බොහෝ ස්තූති කරනා බවයි.

මෙම සටහන මහාචාර්ය නිමාලි තක්ෂිලා සමග එදින පැවැත්වූ සාකච්ජා ඇසුරින් මෙසේ දිගහැරේ.
ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ඔබ විසින් ලංකාවේ පවත්වන පලමු යෝගා වඩමුළුව, නමුත් අද දින ඒ සදහා සුවිශාල පිරිසක් සහභගි වුණා. මොකද ඒ ගැන හිතන්නේ.
ඇත්තටම හුඟක් සතුටුයි, ලංකාවෙ මේ තරම් විශාල පිරිසක් යෝගා ඉගෙනගන්න සහ ඒ පිළිබඳව විධිමත්ව හදාරන්න දක්වන උත්සාහයට. මම ඉන්දියාවෙ සහ බොහෝ විදෙස් රටවල සම්මන්ත්‍රණ හා වැඩමුළු, දේශන පවත්වා තිබෙනවා. ඒත් අද වැඩසටහන ඇත්තටම සුවිශේෂියි….මට මගේ මවුභාෂාවෙන් හරිම ළෙන්ගතුව කතා කරන්න මේ සම්බන්ධ බොහෝ ගැඹුරු කරුණු සරලව සිංහලට නඟන්න පුළුවන් කියන හැඟීම මට ඇති වුණා. බොහෝදෙනෙක්ගේ ඉල්ලීම වුණෙත් ඒක….බොහොමයක්දෙනා පැවසුවෙත් යෝගා ආසන සහ ප්‍රාණයාම පිළිබඳ ඉගෙනගෙන සහ පුහුණු වී තිබුණත්, යෝගා විෂයය හා සම්බන්ධ පුරාණ ග්‍රන්ථවල මේ විදියට විස්තර කරලා තිබෙන බව ඔවුන් නොදැන සිටි බවයි. එසේම යෝගා කියන්නේ ඉතා ගැඹුරු විෂයක් බව අවබෝධ කර ගත් බවයි. කෙටියෙන්ම කිව්වොත් ඔවුන් යෝගා පිළිබඳව තිබූ දැක්ම මුළුමනින්ම වෙනස් වූ බවයි.
ඔබ කාලයක් ලංකාවෙ පුවත්පත් සහ රූපවාහනි ක්ෂේත්‍රයන්හි බොහොම ක්‍රියාශීලීව කටයුතු කළ කෙනෙක්. ඉතින් ඔබ ඇයි ඒ විෂයයෙන් ආචාර්ය උපාධිය නොකර යෝගා වගේ විෂයයක් ඉගනීමට පෙලඹෙන්නෙ?
ඔව්, මම මගේ පලමු උපාධිය කළේ කැලැණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය. ඒ වනවිටත් මම ජාතික පුවත්පතක විශේෂාංගික ලේඛිකාවක්. මගේ ඉරිදා දිවයිනේ පළවූ මිරිඟු සයුර කියන කොලම් එක ඉතාමත් ජනප්‍රිය වී තිබුණා. ඇත්තටම විශ්වවිද්‍යාලයේ ඒ දිනවල මාව හැඳින්වුවෙත් මිරිගු සයුර ලියන නිමාලි කියලා. ඒ වගේම රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ නට්‍ය කීපයක් කරා. ඒ නාට්‍ය සියල්ලම රාජ්‍ය සම්මානත් දිනුවා. ඊට පස්සෙ කාලයක් මහරාජා ආයතනය හා සම්බන්ධ වෙලා නිර්මාණ සේවා විධායක කියන තනතුර සමග රූපවාහිනි වැඩසටහන් රාශියක් නිර්මාණය කරන්න ලැබුණා. පසුවදි විවාහයත් සමග මම බොහෝ දේ නතර කළා. ඉඳහිට පත්තරේට ලිව්වා. ඒ සමගම මගේ දෙමවුපියන්ගෙ ලොකු ආශාවක් තිබුණා, මම රාජ්‍ය සේවයට සම්බන්ධ වෙනවට .ටික කාලයක් අමාත්‍යාංශ කීපයකම මාධ්‍ය නිලධාරිනිය විදියට කටයුතු කළා. කොහොම හරි මගේ හස්බන්ඩ්ට ඉන්දියාවට ස්ථානමාරුවක් ලංකාවෙ ආයතනයෙන් ලැබුණා. පසුව අපි හතරදෙනාම ඉන්දියාවට ගියා. යද්දි කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ, මෙහෙම ඉගෙනගන්නවා කියන එක ගැන. නමුත් විශ්වවිද්‍යාලෙ බාහිර අයට උගන්වන යෝගා පන්තියකට යන්න අවස්ථාව ලැබුණා. ඒ ලංකාවෙන් ගිහින් හිටි මගේ මිතුරියක වූ සතිනි නිසා අහම්බෙන් යෝගා ඉගෙනගන්න ලැබුණත්, මට එහි විශාල ගැඹුරක් තිබෙන බව මුල් දින කීපයේදීම තේරුණා. ඒ යෝගා උපදේශක හිටියෙ ලාලනී කියලා ඉතාමත් සුන්දර ගුරුවරියක්. ඇය ඉතා හොදින් ආසන, ප්‍රාණයාම වගේම එම ආසනවල පසුබිම, සුදුසු නුසුදුසු අය සහ ඒ සදහා විකල්ප ඍෂිවරු පොත්වල ලියලා තියෙන විදිය කියන්න ගත්තා…ඒ වෙලාවල් වල්දී මම හුගක් ප්‍රශ්න අහනවා..දවසක් එතුමිය කිව්වා ඔයා මෙහේ ඩිප්ලෝමාවක් හරි කරන්න, ඔයාට ප්‍රයෝජනවත් වෙයි කියලා. සමහර දාට ඇය එන්නැත්නම් පංතිය මට භාර දෙන තරමට ඇය මං ගැන ලොකු විශ්වාසයක් තැබුවා…කොහොම හරි මම පශ්චාත් උපාධි ඩිප්ලෝමාව පලමු පන්තියක් සහිතව සමත් වුණා. ඉන්පසුව අපේ අධ්‍යන අංශයේ හිටපු බොහොමයක් ගුරුවරු කිව්වා ඔයා මාස්ටර් එකත් කරන්න කියලා….නමුත් එය පූර්ණකාලීන පාඨමාලාවක්. පුහුණුවීම් පටන් ගන්නෙ උදේ 6.00ට .ඉවර වෙන්නෙ ප.ව.2.00 ට. දෙකෙන් පස්සෙත් බොහොමයක් පොත්පත් කියවන්න ඕනි. පුතාට යන්තම් අවුරුදු 3යි දුවට 8 යි. එයාලගෙ ඉස්කෝලෙත් අලුත්…හුග`ක් හෝම්වර්ක් ,ප්‍රොජෙක්ට්ස් දෙනවා. දිනපතාම මට ඇත්තටම් පැය විසිහතර මදි වුණා කිව්වොත් හරි. දවසකට පැය 3 ,4 කට වඩා නිදා ගත්තෙ නෑ ඒ දවස්වල ලොකූ කැපකිරීමකින් පස්සෙ එම විභාගෙනුත් පළවෙනි පන්තියක් ඇතුව සමත් වෙන්න ලැබුණා.

අවසානයේ මට විශ්වවිද්‍යාලෙ උගන්වන්න ලැබුණා. උදේ වරුවෙ බබාල ඉස්කෝලෙ ගියාම ලොකු වැඩක් තිබුණේ නැහැ. නමුත් හවස උගන්වද්දි ටිකක් ගැටලුවක් ආවා. ඒ උගන්වන විදිය දැකලා මගේ ගුරුවරු යළිත් කියන්න ගත්තා ආචාර්ය උපාධිය නැතුව කිසි වැඩක් නැහැ විශ්වවිද්‍යාලයක ගුරුවරයකුට, ආචාර්ය උපාධිය කරන්න කියලා.එය හිතූ තරම් ලේසි වුණේ නැහැ. විශාල වශයෙන් බාධා ආවා, විශේෂයෙන් ලංකාවෙ කෙනකුට මේ අවස්ථාව ලබාදීම ගැන. නමුත් අදාළ සුදුසුකම් සපුරා තිබීමත්, මම අපේ අධ්‍යයන අංශයේ බොහෝ කටයුතු ඉන්දියානුවකුටත් වඩා හොඳින් කරමින් සිටීමත් සමග ඔවුන් අවස්ථාව ලබා දුන්නා. ඒ
වනවිට ආචාර්ය උපාධිය සදහා අපේ අධ්‍යන අංශයේ 12 දෙනකු තේරී තිබුණා. නමුත් මේ වනවිටත් බොහෝදෙනෙක්ට අවසන් කරගන්න බැරි වී තිබෙනවා. ඇත්තටම් ඊට හේතුව වෙන්නෙ ආචර්ය උපාධිය සදහා ඉන්දියානු විශ්වවිද්‍යාල පහක අනුමැතිය හා විදෙස් විශ්වවිද්‍යාල දෙකක අනුමැතිය නොමැතිව අන්ද්‍රා විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධිය ලබානොදීමයි. එසේම උපාධි නිබන්ධනය විශ්වවිද්‍යාලයට භාර දීමට පෙර අවම වශයෙන් (ස්කෝපස් ඉන්ඩෙක්ස්) පිළිගත් ජාත්‍යන්තර ජර්නල් දෙකකවත් අවම වශයෙන් අපේ පර්යේෂණය පළ වී තිබිය යුතු වීමයි. ඉතිං අපිට කොයි තරම් උවමනා වුවත් මේ කඩයිම් පනින්න ලේසි නැහැ. scop index ජර්නල් බොහොමයක පළවෙන්නෙ විද්‍යාත්මක පර්යේෂණ, විශේෂයෙන් clinical studies යෝගා වගේ විෂයයක් කොහොමද ඒ වගේ ජර්නල් එකක ලියැවෙන්නෙ?
ඔව් ඔබ හරියටම හරි. මමත් මුලින්ම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. මම දීර්ඝ කාලයක් පර්යේෂණ කළේ කුන්ඩලීනී යෝගා සම්බන්ධව ලියැවුණු පුරාණ ග්‍රන්ථ ගැන. ඉන් ප්‍රධාන ග්‍රන්ථයක් වන හතයෝගා ප්‍රදීපිකාව මම සංස්කෘත භාෂවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. මේ වනවිට සිංහලටත් පරිවර්තනය කරමින් පවතිනවා. කොහොම හරි මගේ එක් ගුරුවරයෙක් කිව්වා, අනාගතයේ වඩා වැදගත් වෙන්නෙ ඔය තියරි කොටස් ප්‍රායෝගිකව කොතරම් භාවිතා කළ හැකි ද යන්නයි කියන එකයි, ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පර්යේෂණයක් කරන ලෙස. ඉතින් මට උවමනා වුණා සැත්කම්වලට භාජනය වූ හදවත් රෝගීන් ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම උදෙසා අවශ්‍ය යෝගා ක්‍රමවේදය (Yoga protocol) එකක් නිර්මාණය කරන්න. ඒ අනුව මම හඳුන්වා දුන්න (Heart Yoga Protocol-HYP) කියලා. මේ සඳහා විශාකාපට්නම්වල තිබෙන විශාලතම හදවත් සැත්කම් කරන ඇපලෝ රෝහල් මවිසින් තෝරා ගත්තා. එයත් බොහෝ කාලයක් කළ උත්සාහයකින් පසු බොහොමයක් සම්මුඛ පරීක්ෂණ සහ පැහැදිලිකිරීම් වලින් පසුව ලබාගත් අවසරයක්. මගේ ප්‍රධාන ගයිඩ්ට අමතරව ඇපලෝ රෝහල මගින් එහි සිටි ජ්‍යෙෂ්ඨ හදවත් රෝග විශේෂඥ වෛද්‍යවරයකු වූ බී. සුරේෂ් මහතා ලබාදෙනු ලැබුවා. ඊට අමතරව රෝහලේ සිටි වසර 30කට වඩා පළපුරුදු වෛද්‍යවරයකු වූ මහාචාර්ය බරුවා වෛද්‍යතුමා මට පවසා සිටියා බෙහෙත් වලින්, ඔපරේෂන් වලින් අපට කෙනකුගෙ ලෙඩ රෝග වලින් හතරෙන් තුනයි හොඳ කරන්න පුළුවන්, ඒත් ඔයාගෙ මේ ප්‍රෝටකෝල් එක දැක්කම් පේනවා ඉතිරි කොටස ඔයාට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා. ඒ මිනිසකුගෙ මනස. ඒ නිසා ඔයා මේ වැඩේ පටන්ගන්න, අපි උදව් කරන්නම් කියලා එතුමාගේ ඉල්ලීම මත මට ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන්ට ලබාදෙන කාමරය පවා ලැබුණා. මාව ඔවුන්ගේ අංශයේ අනෙක් වෛද්‍යවරු හා සමානව සැලකුවා. ඕනිම මොහොතක් ICU එකට යන්න රෝහලේ ඕනිම තැනකට යන්න ඉඩ ලබා දුන්නා. මේක විශාල පහසුකමක් වුණා මගේ පර්යේෂණ කටයුතුවලට. මම ඉතාමත්ම සංවිධානත්මකව දත්ත එකතු කලා. බොහොම පරෙස්සමින් තමයි ඔවුන්ව පුහුණු කළේ. ඔපරේෂන් එකෙන් දින 15 කට පසු බොහොමයක් රෝගීන් ඔවුන් මා වෙත ගෙනාවෙ රෝදපුටුවලින්, දැඩි මානසික පීඩනයෙන්. සමහරු මගේ දිහා බැලුවෙ මගේ ජීවිතේ බේරලා දෙන්න කියන්න වගේ නමුත් මාස 6 වෙද්දි ඔවුන් වීරයන් වගේ ඇවිදිද්දි සාමන්‍ය අය වගේ යෝගා ප්‍රොටකෝල් එකේ අවසාන ආසන කොටස් කරද්දි මට දැනුණෙ විශාල සතුටක්. ඔවුන් බොහෝදෙනකු අදටත් මා සමග ඉන්නවා, මගේ බොහෝ වැඩවලට සහභාගි වෙනවා.

යෝගා විෂයේ මෙම සුවකිරීමේ හැකියාව හාස්කමක් වගේ දෙයක් ද නැතිනම් භාවනා ක්‍රම මගින් ද? මොකක්ද මෙහි පදනම….. අපි අසා තිබෙනවා සිත මනස සුවපත් කරනවා කියලා ඒ කොහොමද ?
ඔව් ඉතාම හොඳ ප්‍රශ්නයක්. හිතයි ගතයි දෙකම නිරෝගී කරන විද්‍යාත්මක ක්‍රමවේදයක් තමයි යෝගා කියන්නෙ. ඒ සඳහා යෝගා ආසන (yoga posture) ප්‍රාණයාම (breathing technique) සහ ක්‍රියා කියලා කොටසකුත් තියෙනවා. ඊට අමතරව යෝගා භාවනා ක්‍රම තිබෙනවා බොහෝමයක්.ඒ අතරින් ඉතා ඉහළම භාවනා ක්‍රමයක් තමයි කුණ්ඩලීනී භාවනාව.මෙම භාවනාව පුරාණ ග්‍රන්ථවල විස්තර වුවත් නියම ගුරුවරයකු නැතිව වඩන්න අමාරුයි සහ නොකළ යුතුයි. ඊට හේතුව තමා විසින් තමාගේ පාලනය පවා ගිලිහෙන තරමට මෙම භාවනාව බලවත් නිසා.ඒ වගේම තමයි යෝගා ආසන සහ ප්‍රාණයාම. සමහර යෝග ආසන තිබෙනවා එම ආසනය නිසා ලෙඩ රෝග සුවවන නමුත් එම ආසන නිවැරදිව නොකළොත් සහ රෝගී අයකු තමාට අදාළ නොමැතිව එම ආසනය කළොත් ඉතා දරුණු ලෙස ආබාධ වලට ලක්වීමට ඉඩ තිබෙනවා. හත යෝගා ප්‍රදීපිකාවෙ තිබෙනවා ඉතා හොඳට මෙය පැහැදිලි කරලා. විශේෂයෙන් ප්‍රාණයාම නිවැරදිව නොකළොත් ප්‍රාණය නිරුද්ධ විය හැකි බව. ඒ නිසා හැදෑරීම අත්‍යවශ්‍යයි.
අත පය හොඳින් හසුරවමින් ආසන කළ හැකි වීම තුලින් ඉතා හොඳ යෝගියකු හෝ යෝගා ගුරුවරයකු විය නිහැක්කේ එ නිසයි. ඉතිං අපේ රටේ බොහෝදෙනකුට අවශ්‍ය්‍ය වී තිබෙන්නෙත් මේ දැනුම නිවැරදිව ලබා ගැනීමටයි. මෙහි විද්‍යාත්මක පදනම කියනවා නම්
යෝගා ආසන බොහොමයක් නිර්මාණය වී තිබෙන්නේ අපගේ ශරීරයේ පවතින චක්‍රා උද්දීපනය වන අයුරිනුයි. මේ චක්‍රා සහ නාඩි අපගේ ස්නායු පද්ධතිය හ සිරුරේ පවතින රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය හා අස්ථි, මාංශ පද්ධති හා සම්බන්ධයි. ඉතිං විවිධ ආසන සහ ප්‍රාණයාම නිවැරදිව උද්දීපනය තුළින් මෙම පද්ධතීන් පාලනයට ගත හැකියි. ඉතින් ඒ නිවැරදි ක්‍රම යෝගාවල උගන්වනවා. ඒ වගේම තමයි බොහොමයක් ගුරුවරු හැමදෙනාටම මෙම දනුම ලබාදීමට කැමැති වන්නෙත් නැහැ. මොකද සමහර අය මේ දනුම අවභාවිත කළ හැකි නිසා.
මෙම වැඩසටහන අවසානයේ අප දුටුවා බොහෝදෙනකු අදහස් ප්‍රකාශ කළා. ඒ අතරින් අපගේ ප්‍රවීණ ගායිකා මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක වන ඉන්දිකා උපමාලි මහත්මිය සුවිශේෂී අදහසක් ඉදිරිපත් කළා. ඇය කිව්වා, ලංකාවේ බොහෝදෙනා යෝගා කියලා මේ විෂයය තැනින් තැන අතනොගා, ක්‍රමවත්ව ඉගෙනගැනීම අනිවාර්ය කළ යුතු බව. ඒ සඳහා ඔබගෙන් ලබාදිය හැකි දායකත්වය කෙසේ ද?
ඇත්තටම මම කැමතියි මගේ පූර්ණ සේවය මගේ මවුරටට ලබා දිය හැකි නම්. අපේ විශ්වවිද්‍යාලයේ පවා මේවන් විට, මා හැරුණු විට යෝගා පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙන්නේ තිදෙනායි. දකුණු ඉන්දියාවෙන් යෝගා පිළිබඳ ආචාර්ය උපාධිය දිනූ පළමු දෙදෙනාගෙන් කෙනෙක් වීමත් සමග තමය,ි අපේ විශ්වවිද්‍යාලයෙන් මගේ විදේශීය බව නොතකා මෙම තනතුර පවා පිරිනමනු ලැබුවේ. කෙසේ නමුත් මගේ පුංචි අවබෝධයක් තිබෙනවා, අපේ බොහොමයක් විශ්ව විද්‍යාලවල විවිධ මට්ටමින් යෝගා විෂයය උගන්වන බව. ඔවුන් ඒ පිළිබඳව කෙතරම් හැදැරීම් කර ඇත්දැයි මා දන්නෙ නෑ. ඒ උගන්වන ඇතැම් ගුරුවරුන් මා සමග කථාකර අපේ විශ්වවිද්‍යාලයේ විෂය නිර්දේශය ඉල්ලගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් පොතපත අරගෙන මේ දරුවන්ට උගන්වන්වා විය හැකියි. මෙතැනට පැමිණි එකතරා විශ්වවිද්‍යාලයක සිසුන් කියා සිටියා ඔවුන්ගේ ගුරුවරුන් නම් බොහෝදෙනකු මෙම පොත්වල නම් හෝ සඳහන් කර නොමැති බව වගේම ඔවුන් මේ විෂයය සම්ම්බන්ධව සුදුසුකම් නොලත් අය බව. ඉතිං විශ්වවිද්‍යාල පද්ධතියම මෙසේ නම්, අපේ දරුවන් නිවරදිව ඉගන ගන්නේ කොහොමද? ඒ නිසා රජය මගින් නියමාකාරයෙන් ගුරුවරු පුහුණු කොට මේ විෂයයට යොමු කරන වැඩපිළිවෙළක් දියත් කරනවා නම් මගේ පූර්ණ දායකත්වය ලබාදීමට මම කැමතියි.
ඉතිං ඔබට බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා අපි සමග ඔබේ අදහස් ලබාදුන්නට. ඉදිරියේදී මොනවගේ කටයුතු ද සූදානම් වෙමින් පවතින්නේ?
ඔව් ඔයාලටත් ස්තූතියි. ඒ වගේම අද මෙම අවස්ථාව ලබාදුන් ඉන්දියානු මහකොමසාරිස් කාරයාලයේ පළමු ලේකම් සහ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූර් දත්තා මහතාත්, සංස්කෘතික නිලධාරී සුභාෂිණී මහත්මියත් සංවිධාන කටයුතු සිදුකළ මගේ විශ්වවිද්‍යාල මිතුරන් වූ වරාය අධිකාරියේ උපුල් ගුරුගේ මහතා, අම්බලන්ගොඩ ප්‍රජාපතී විද්‍යාලයේ නයෝමි දිල්රුක්ෂි මහත්මිය, මයුර බණ්ඩාර මහතා සහ අමාලි ඒකනායක නංගී සහ සුබාසිරි මල්ලීත්, සමන්ත මල්ලී, මගේ දෙමවුපියන් සහ මගේ හස්බන්ඩ් දරුවනුත් ඇතුළු බොහෝදෙනකු උදව් කලා. ඒ හැමෝටම මං ස්තූති කරනවා. මේ වනවිටත් මගේ අධ්‍යයන අංශයේ අංශාධිපතිතුමන් සහ මගේ උපදේශක ලෙස කටයුතු කළ මහාචාර්ය රමේශ් බාබු මහතා ජත්‍යන්තර යෝග දිනය සැමරීමේ දී කළ යුතු යෝගා ප්‍රෝටකෝල් එක මුළු රෑ අන්ද්‍රාවටම පුහුණු කිරීමට අපේ අධ්‍යයන අංශයේ සිසුන් යොමු කරමින් සිටිනවා. ඉතිං මගේ බරත් එක්ක අදිනවා කිව්වොත් නිවැරදියි. එනිසා මා හැකි ඉක්මනින් විශ්වවිද්‍යාලය වෙත යෑමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙය රැගෙන එන ලෙස මෙතැන බොහෝදෙනකුගෙන් ඉල්ලීමක් ආවා. ඊට විශේෂම හේතුව වුණේ අද මාතෘකාව. ඒ ආතති තත්ත්වයෙන් මිදීම සඳහා යෝගා භාවිත කළ හැකි අකාරය ඔබ ඉතා සරලව සහ විද්‍යාත්මකව පුරාණ ග්‍රන්ථ ඇසුරින් කළ විග්‍රහය. ඔබ මේ සඳහා කුමක් ද යෝජනා කරන්නේ?
ඇත්තටම යෝගා විෂයය ක්‍රමානුකූල විදියට අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්කිරීම තුළ දරුවන්ගේ ආතති තත්ත්ව මුදා හැරිය හැකි සේම අනාගත ලෝක රැකියා වෙළෙඳ පොළට හොඳ වෘත්තිකයකු බිහි කළ හැකියි. අනාගතයේ මනස සුවපත් කරන්නෝ නැතිනම් හීලර්ස්ලා ට ලෝකයේ ලොකු ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා.
මා මුලින් කිව්වා සේම රජය මගින් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස්කොට එහි දී විෂය නිර්දේශ හදාගැනීමට හෝ ගුරුවරුන් පුහුණු කිරීමට හෝ මොනම අයුරකින් හෝ සහයෝගය ලබා දිය හැකිනම් මා එය ඉතා සතුටින් කරනවා. මේ කාලයේ පාසල් අධ්‍ය්‍යපනය තුළ සමහර දරුවන් දැඩි ආතති තත්ත්වයන් හි සිටිනවා. විශ්වවිද්‍යාල දරුවන් පවා එසේමයි. ඉතිං මේ සඳහා යෝගා වලින් ඉතා හොඳ පුහුණුවක් ලබාදිය හැකියි. ඉතිං ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වැනි ආයතනවලට මූලිකත්වය ගත හැකියි. ඔවුන්ගේ ඉල්ලීමක් ආවොත් අනිවාර්යයෙන් මගේ පූර්ණ සහාය ලබාදෙනවා.
සටහන සහ ජායරූප
කෞෂල්‍යා රාමනායක