ශ්‍රී ලංකාව ජය පෙනෙන මානයේ
පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිසේගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 458ට පිළිතුරු ලෙස දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා දැඩි අසීරු අඩියක සිටිමින් තෙවැනි දිනය නිමා කරන්නට ඔවුන්ට සිදුවිය.
දෙවැනි දිනය අවසාන වන විට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 247ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 290ක් ලබාගනිමින් ප්‍රබල තත්ත්වයක පසුවිය.
දෙවැනි දිනය අවසාන වන්නට මද වෙලාවකට මත්තෙන් ලකුණු 93ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය දිනේෂ් චන්දිමාල්ගෙන් අනතුරුව නයිට් වොච්මන් ලෙස පිටියට පැමිණි ප්‍රභාත් ජයසූරිය ලකුණු 5ක් සහ ආරම්භක පිතිකරු වූ පැතුම් නිස්සංක ලකුණු 146ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
කෙසේ වුවද තෙවැනි දිනයට තරගය ආරම්භ කරමින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය සහ පැතුම් නිස්සංකට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට අවසර නොදුන් බංග්ලාදේශ පන්දු යවන්නන් ඒ වන විට ලකුණු 158ක් ලබාසිටි පැතුම් ිනිස්සංකව ක්‍රීඩාගාරය වෙත හරවා යවමින් දිනයේ කඩුලු දඩයම ආරම්භ කරන්නට වූහ.
අනතුරුව පිතිකරණ ස්ථානයේ අඩියක් ඉදිරියට පැමිණෙමින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා ටද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට අවස්ථාව නොදුන් ප්‍රතිවාදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වන කඩුල්ල ලෙස ලකුණු 7කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය.
ඒ වන විට ලකුණු 313කට කඩුලු 4ක් දැවී යම් අසීරු අඩියකට පත්වුවද කමිඳු මෙන්ඩිස් සමග එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමට යම් අස්වැස්ලක් ලබාදෙමින් ලකුණු 49ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්විය. කෙසේ වුවද කමිඳු මෙන්ඩිස් ලකුණු 33ක් ලබාසිටියදී නයීම් හසන්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ 6වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. අනතුරුව කුසල් මෙන්ඩිස් අග පෙළ හා එක්වෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත තැනකට ගෙන ඒමට සමත්විය.

අවසානයේ ශතකයට ලකුණු 16ක් මෙපිටින් ශ්‍රී ලංකා ඉනිමේ 9වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී යෑමකට හසුවිය. කෙසේ වුවද සියලු ක්‍රීඩකයන්ගේ දායකත්වය ඇතිව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458ක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම කැපී පෙණෙන සිදුවීමක් විය. ඒ අනුව බංග්ලාදේශය සිය පළමු ඉනිම සඳහා ලබාගත් 247ට පිළිතුරු ලෙස ලකුණු 458ක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට වඩා ලකුණු 211ක් ඉදිරියෙන් පසුවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.
ලකුණු 211ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූයේ ශඩ්මන් ඉස්ලාම් සහ එනමුල් හක් ය. පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී ද බංග්ලාදේශයේ පළමු කඩුල්ල ලෙස එනමුල් හක්ව පිටියෙන් ලකුණු 19කට පිටියෙන් ඉවත් කිරීමට අසිත ප්‍රනාන්දු සමත්විය.
අනතුරුව දෙවැනි කඩුල්ල ලෙස ශඩ්මන් ඉස්ලාම් ව ලකුණු 12කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ප්‍රභාත් ජයසූරිය සමත්විය.
ඉන් පසු පිටියට එක්වූ මොමිනුල් හක් ව ලකුණු 15කටත්, අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ටෙස්ට් තරගයේදී දැඩි හිසරදයක් වූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හුසේන් ව ලකුණු 19කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා බංග්ලාදේශය දැඩි අසීරු අඩියකට තල්ලු කර දැම්මේය. ඒ වන විට බංග්ලාදේශයේ අද්දැකීම් බහුලම පිතිකරුවා වන මුෂ්ෆිකර් රහීම් සහ ඔවුන්ගේ කඩුලු රකින ක්‍රීඩක ලින්ටන් ඩාස් එක්ව ශ්‍රී ලංකාවට අභියෝග කරමින් සබඳතාවක් ගොඩනැඟීමට උත්සාහ කළද මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100 වනවාත් සමගම මුෂ්ෆිකර් රහීම්ව ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට ප්‍රභාත් ජයසූරියට හැකියාව ලැබිණි. ඒ වන විට රහීම් ලකුණු 26ක් ලබා සිටියේය. කෙසේ වුවද තෙවැනි දිනය අවසාන වන සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 115ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසුවිය.
ලකුණු සාරාංශය
ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 458යි.
පැතුම් නිස්සංක 158, දිනේෂ් චන්දිමාල් 93, කුසල් මෙන්ඩිස් 84, ලහිරු උදාර ලකුණු 40, කමිඳු මෙන්ඩිස් 33යි.
(තයිජුල් ඉස්ලාම් 131/5, නයීම් හසන් 87/3, මෙහෙදී හසන් 94/1)
බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දෑවි ලකුණු 115යි.
මුෂ්ෆිකර් රහීම් 26, එනමුල් හක් 19, නජ්මුල් හුසේන් 19, මොමිනුල් හක් 15, ශද්මන් ස්ලාම් 12, ලින්ටන් ඩාස් නොදැවී ලකුණු 13යි.
(ධනංජය ද සිල්වා 13/2, ප්‍රභාත් ජයසූරිය 47/2, තරිඳු රත්නායක 10/1, අසිත ප්‍රනාන්දු 22/1)
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි