ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලිය
ආසියානු රග්බි පාපන්දු සම්මේලනය මගින් මෙහෙයවන ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී පැවති තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට කොරියානු ක්‍රීඩකයන් සමත් වූහ.
එහි ප්‍රතිඵලයක් ලෙස සත්කාරක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට පරාජයේ අමිහිරි වේදනාව අපහසුවෙන් වුව ද විඳ ගැනීමට සිදු වූහ.
ආරම්භයේ සිට අවසානය දක්වාම අතිශය තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබුණු මෙම තරගයේ ජයග්‍රහණය දෙපිල වෙතම දෝලනය වන ආකාරය අවස්ථා කිහිපයකදීම දැක ගැනීමට හැකියාව ලැබිණි.
එහෙත්, ශ්‍රී ලංකාව ලත් ලකුණු 34 ට එරෙහිව ලකුණු 38 ක් සටහන් කර ගනිමින් මුල් කඩයිම ජය ගැනීමට සංචාරක දකුණු කොරියාව සමත් වීම එහි දී කැපී පෙණුනි.
තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු 17- 14 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ විය.
ඉන් උද්‍යොගීමත් වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් දෙවන භාගය ආරම්භ වීමත් සමගින් ප්‍රබල ආක්‍රමණයක නිරත වෙමින් තම ලකුණු පුවරුව ඉහළ නංවන්න සමත් වුවත් එය ජයග්‍රහණයකින් නිමා කර ගැනීමට නොහැකි විය.
දකුණු කොරියානුවන් ගෝල් දිනුම් 04 ක් සහ උත්සාහක දිනුම් 02 ක් සටහන් කර ගන්නා අතර වාරයේ දී ගෝල් දිනුම් 03 ක්, උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණි.
ශ්‍රී ලංකාවේ ගෞරවය ඉහළින්ම ඔසවා තබන්නට සමත් වූ මුෂීඩ් දොරේ (01), පසිඳු බණ්ඩාර (01), ළහිරු තිලකරත්න (01), හේෂාන් ජැන්සන් (01), ඩිනාල් ඒකනායක (01) බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් තරින්ද රත්වත්තේ ප්‍රවර්තන 03 ක් සහ එක් දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කරමින් කැපී පෙණුනි.
මෙහි දෙවන තරගය සෙනසුරාදා (14දා) හොංකොං දේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ඩුබායි නගරයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ලකුණු 43
- 10 පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට හොංකොං ක්‍රීඩකයන් සමත් වූහ.
ඒ අනුව දකුණු කොරියාව සහ හොංකොං දේශය ප්‍රසාද ලකුණු 05 බැගින් සටහන් කර ගනිමින් පෙරමුණේ පසුවෙති. පරාජිත ශ්‍රී ලංකාව සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 02 කි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර