කඩවත ප්‍රදේශයේ නිවසක නිවැසියන්ට කඩවත පොලිසියෙන් හිරිහැර සිදුවූ බවට සිදුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අපක්‍ෂපාතී පරීක්ෂණයක් අරඹා ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එන්.යූ. වුඩ්ලර් මහතා “දිවයින’ට පැවසීය.
එම නිලධාරීන් යම් වරදක් සිදුකර ඇත්නම් ඔවුන්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ එළවළු ව්‍යාපාරිකයකු වන රත්නසිරි මහතා, ඔහුගේ බිරිඳ, වැඩිමල් පුතු හා මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට සිටින 16 හැවිරිදි පුතුය.
රත්නසිරි මහතාගේ වැඩිමල් පුතු මත්ද්‍රව්‍ය පානයට හුරු වී සිටියි. මේ නිසා කඩවත පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම වැඩිමල් දරුවා රැගෙන යෑමට උත්සාහ දරා ඇත. ඒ අවස්ථාවේ රත්නසිරි මහතා ප්‍රමුඛ පවුලේ අය එයට විරුද්ධ වී ඇත. පසුව රත්නසිරි ඇතුළු පවුලේ පිරිස පොලිස් රාජකාරියට බාධා කළ බව පවසමින් එම මුළු පවුලම පොලිසියට රැගෙන ගොස් තිබේ.
ඒ ගැන විස්තර කළ 16 හැවිරිදි මෙවර අපොස සා.පෙළ විභාගයට මුහුණදීමට සිටින දරුවා මෙසේ කීය.
“මං උඩ තට්ටුවේ ඉඳලා එනකොට මම දැක්කා තාත්තවයි, අම්මවයි, අයියවයි පොලිසිය හෑන්ඩ්කප් දාන්න අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මම අම්මව ඇදලා ගන්න හදනකොට ඒ පොලිසියේ අය අපි ඔක්කොම පොලිසියට අරගෙන ගියා. මම ඇඳන් හිටපු කලිසම් සාක්කුවේ හෙරොයින් දාගෙන හිටියා කියලා චෝදනා කරලා තියෙනවා. අපිට මේ අය කරපු අසාධාරණයට සාධාරණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්