අනුබුදු මිහිඳු මාහිමිගේ ලංකාගමනයට වසර 2332යි
අටමස්ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ ජනගඟකින් වැසෙයි
දන්සල් දහසකට වැඩියි
තැන තැන බැති ගී සංදර්ශන
දර්ශනීය පොසොන් තොරණ
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සිදුවී වර්ෂ 2332ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව සංවිධානය කොට තිබූ පිංකම්වලට සහභාගිවීම සඳහා දිවයිනේ නන්දෙසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය, මිහින්තලේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථාන සුදෝ සුදුවතින් සැරසී පැමිණ සිටි සැදැහැවතුන්ගෙන් පිරී පැවතිණි. මේ හේතුවෙන් එම සිද්ධස්ථාන එකම හිස් ගොඩක් බවට පත්විය.

අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සාහිත්‍යසූරී ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් එම සියලු පිංකම් සංවිධානය කොට තිබිණ
මේ අතර අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පිහිටි සියලු
විහාරස්ථානවලදී ලක්ෂයකට අධික උපාසක උපාසිකාවෝ පෙහෙවස් සමාදන් වූහ.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කොට තිබූ එම පිංකම් අතර දාන ශීල භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ජා, හේවිසි ශබ්ද පූජා සහ මල් පහන් පූජා ආදී පිංකම්ද පැවැත්විණි.
පොසොන් කලාපයේ දන්සැල් දහසකට වැඩි සංඛ්‍යාවක් පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා සංවිධානය කර තිබෙන අයුරු දක්නට ලැබිණි.
එමෙන්ම මෙවර පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය මගින් වසර අටකට පමණ පසු අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළ ප්‍රදේශයේ දී දර්ශනීය පොසොන් තොරණක් ප්‍රදර්ශනය කර තිබූ අතර සිද්ධස්ථාන ආශ්‍රිත ප්‍රදේශවල මිහිඳු මාහිමි ගුණ සමරා විශේෂ බැති ගී සංදර්ශන සංවිධානය කොට තිබිණ.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ බැතිමතුන්ගේ පහසුව සඳහා ආහාර, පානීය ජලය, සනීපාරක්ෂක සේවා සහ ප්‍රවාහන සේවා පහසුකම් නොඅඩුව සලසා තිබෙන අයුරුද දක්නට ලැබිණ.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ සහ නාච්චදූව – ප්‍රභාත් වනසිංහ