අම්මා, තාත්තගෙ පවුල්වල කිසිම කෙනෙකුට පිළිකා හැදිලා නෑ…
අද මම සනීප වෙලා ඉන්නෙ මහත්තය නිසා…
දුවට කිරි දෙන්න බැරි වෙන නිසා එන්නත් ගත්තෙ නෑ…
සිංහල බෙහෙත්වලට දැන් හොඳට ම හොඳයි…
පපුවෙ ඉවත් කරපු කොටසට ශරීරයේ වෙනත් තැනක කොටස් බද්ධ කළා…
මරණයට අභියෝග කළ කාන්තාවක් අපට මුණගැසිණි. ඇය බිමාලි පෙරේරා ය. ගම පන්නිපිටියේ ය. පිරිමි දරුවන් දෙදෙනකුගේ සහ සිඟිති දියණියකගේ මවක් වූ ඇයට වයස අවුරුදු 40කි. පහළොස් වියේ පසු වන පුතකුගේ මවක් යැයි කිවනොහැකි තරමට ඇය සුරූපිනියකි. ඡවී වර්ණයෙන් යුක්ත ඇය දිගු කෙස් වරලස සුන්දරව හැඩ කර, පිළිවෙළට හැඳ පැලඳීම පුරුද්දක් කරගෙන සිටින්නී ය. එමෙන්ම කාලය කළමනාකාරණය කර ගනිමින් දෛනික කටයුතු කරගෙන යෑමට ඇය උපරිමයෙන් කැප වී සිටින්නී ය. පුංචි දියණිය සහ වැඩිමහල් දරුවන් දෙදෙනා රැකබලාගෙන, නිවසේ වැඩ පිළිවෙළට කරගෙන වෘත්තිය කටයුතුවල නිරත වූ ඇයගේ ජීවිතයට නිදහස තුරුලු වන්නේ නින්දේ දී පමණි. ජීවන අරගලය එතරම් ම දරුණු විය. දෛනික වැඩ රාජකාරි අතර වෙනත් දෙයක් ගැන සිතීමට ද ඇයට කාලය නොමැති විය. බාහිර පෙනුම ගැන සැලකිලිමත් වුවද ශරීරය අභ්‍යන්තරයේ ඇති වන රිදීම්, කැක්කුම් වේදනා ගැන ඇය සැලකිලිමත් නොවිණි. එහෙත් පපුවේ වම් පෙදෙසේ වේදනාව ඇයට දැඩිව දැනිණි.
“වැඩියෙන්ම දුව කිරි බිව්වේ දකුණු පැත්තෙන්. ඒ නිසා අනිත් පැත්ත ගැන සැලකිලිමත් වුණේ නෑ. දුව ඉපදිලා අවුරුදු තුනක් විතර යනකොට වම් පැත්තෙ පියයුර ඇතුළෙන් වේදනාවක් ආවා. දරුවා කිරි බොන නිසා වෙන්න ඇති කියලා වේදනාව ඉවසගෙන හිටියා. දවසින්, දවස වේදනාව වැඩි වුණා. අම්මට කිව්ව ම ‘කිරි තද වෙලා ඇති…’ කියලා උණු වතුරවලින් තවලා කිරි අයින් කළා. ඒත් රිදීම අඩු වුණේ නෑ. උගන්වන වෙලාවට වේදනාව ළමයින්ට නොපෙන්නා අසීරුවෙන් ඉවසගෙන වැඩ කරගෙන ගියාට රෑට දැනෙන වේදනාවට නිතරම පපුව අතගෑවා. එහෙම පිරිමදිනකොට පපුව ඇතුළෙන් පුංචි ගැටිත්තක් ඇඟිලි තුඩුවලට අහු වුණා. මහත්තයටත් කියලා බැලුවා. එයාටවත් තේරුණේ නෑ. හවස පන්තියේ දී මම නිතර පපුව අතගානවා අම්මා කෙනෙක් දැකලා ‘ඇයි මොකක්හරි ප්‍රශ්නයක්ද? දවස් ගානක් පපුව අතගානව දැක්කා…’ කියලා ඒ අම්මා මගෙන් ඇහුවා. එයා පියයුරු පිළිකාවට ප්‍රතිකාර ගත්ත කෙනෙක්. එයාට මම විස්තරය කිව්වා. ඒ මොහොතේම වොෂ්රූම් එකට එක්කගෙන ගිහින් පරීක්‍ෂා කරලා එයා දන්න ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා බලෙන්ම මාව එක්කරගෙන ගියා. ඩොක්ටර් ස්කෑන් පරීක්‍ෂණයක් කරලා පිළිකාවක් හැදීගෙන එනවා, දැම්ම ප්‍රතිකාරවලට යන්න කියලා කිව්වා…” ඇය කතා කරනුයේ ශරීරයේ හටගෙන තිබුණු පිළිකා රෝග තත්ත්වයක් ගැන ය. එහෙත් මේ මොහොතේ ඇය සිටිනුයේ හදපිරි සතුටිනි. 10 වසර ළමයි පිරිසකට ගණිතය උගන්වමින් සිටි, කාර්යබහුල මොහොතක වුවද පැය භාගයකට වැඩි කාලයක් අප සමග කතාබහ කළේ ද සතුටු සිතිණි.


“පිළිකාවක් කියලා ඩොක්ටර් කියනකොට මට මරණය සිහි වුණා. කොණ්ඩය ගිහින්, ඇඟ වැහැරිලා විරූපී වෙන හැටි මැවිලා පෙනුණා. රෝහල් ඇඳන් උඩ දුක්විඳින හැටි මතක් වුණා. ඒ සමග අවුරුද්දකට සැරයක් පිළිකා රෝහලට රුධිරය දන් දෙන, පුංචි කාලේ ඉඳල මස්, මාළු, පිළී ජාති නොකන, පාර්ටියකදීවත් බියර් උගුරක් නොබන මට කොහොමද පිළිකාවක් හැදුණේ කියල කල්පනා වුණා. අම්මා, තාත්තාගෙ පවුල්වල කිසිම කෙනෙක්ට පිළිකාවක් හැදිලා නෑ. අපේ පවුල්වල පිළිකාවක් හැදුණු පළමු කෙනා මමයි. වරදකට තිබුණේ කඩ කෑම, ක්‍ෂණික ආහාර ටිකක් වැඩිපුර කාපු එක විතරයි. ඒත් මනෝ විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මට විතරක් හැදෙන ලෙඩක් නෙමෙයි, දැන් පිළිකාව සාමාන්‍ය රෝග තත්ත්වයක් බවට පත් වෙලා. කේට් කුමරියටත් පිළිකාවක් හැදුණ නම් මම කවුද? ඒ වගේම මේ පටිසන් දීලා තියෙන්නෙ පෙර සංසාරේ කරපු අකුසලයක් කියල හිත හදාගන්න උත්සාහ කළා. ඒත් දරුවො තුන්දෙනා මතක් වුණාම වාවගන්න බැරි වුණා. උදේ, සවස බුදුන් වැඳලා දෙවියන්ට මම කිව්වේ ‘මැරෙන්න බය නෑ. ඒත් දරුවො තවම පොඩියි. දුව තාම කිරි බොනවා. ඒ නිසා තව ටික කාලයක් ජීවත් වෙන්න ඉඩ දෙන්න’ කියල…” ඇය සිනා සෙන්නීය.
ඇයගේ වම් පියයුරේ පිළිකාවක් හටගෙන ඇති බව දැනගෙන ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ය. අනතුරුව මෙරට ප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් හමුවී පරීක්‍ෂණ කිහිපයක් කර බැලූවිට ඔවුන්ගේ තීරණය වී ඇත්තේ හැකි ඉක්මණින් සැත්කමක් කර පිළිකා සෛල වැඩෙන කොටස ඉවත් කළ යුතු බව ය. රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනවල සිට සැත්කම කිරීම ද ප්‍රමාද බව විශේෂඥ වෛද්‍ය මතය විය. පවුල් දෙකේ ඥාතීන්ගෙන් උදව් උපකාරයෙන් රුපියල් ලක්‍ෂ හතකට වැඩි මුදලක් වියදම් කර පෞද්ගලික රෝහලක සැත්කම සිදු කිරීමට තීරණය කෙරිණි. තරුණ මවක් බැවින් පිළිකා සෛල වැඩෙන ස්ථානය ඉවත් කළ ශරීරයේ වෙනත් තැනකින් කොටස් ගෙන පියයුරට බද්ධ කිරීමට වෛද්‍ය තීරණය විය. වෛද්‍ය මතයට එකඟ වූ ඇය සැත්කමට සූදානම් විය. මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක දී පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විසින් පසුගිය වසරේ මැයි මාසෙ 15 වැනිදා ශල්‍යකර්මය සිදු කළේ ය. දින කිහිපයකින් පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා ‘සම්පූර්ණ පිළිකා සෛල ඉවත් වෙලා නෑ. නැවත ශල්‍යකර්මයක් සිදු කරන්න ඕන’ බව දැනුම් දී තිබිණි.
‘ඩොක්ටර් ඔපරේෂන් එකට සල්ලි හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ආයිත් ප්‍රයිවට් හොස්පිටල්වල ඔපරේෂන් කරන්න සල්ලි නෑ…’ වෛද්‍යවරයාගේ කතාවට බිමාලිට මුව පාලනය කර ගැනීමට නොහැකි විය.
‘එහෙම නම් අපි රජයේ රෝහලක ඉක්මණින් ඔපරේෂන් එක කරමු…’ වෛද්‍යවරයා ඇය සන්සුන් කළේ ය. ඒ අනුව එම මාසයේ 30 වැනිදා නැවත ශල්‍යකර්මය සිදු කළේ ය. පිළිකාව සහිත වම් පියයුරේ භාගයකට වැඩි කොටසක් ඉවත් කොට පිට, කිහිලි ප්‍රදේශයෙන් කපා කොටස් ගෙන බද්ධ කර සාර්ථකව ශල්‍යකර්මය සිදු කර තිබිණි. මේ වනවිට ශල්‍යකර්මය සිදු කර අවුරුද්දක් ගෙවී ගොස් ඇත. පිටේ කැපුම් තුවාල කැළැල් තවම මැකී ගොස් නැත. පියයුරේ බාහිර පෙනුම පෙර පරිදිම තිබෙන බවත්, එම පියයුරේ සංවේදී බව අඩු බවත් බිමාලි අප සමග පැවසුවා ය.

“මට තිබුණු ප්‍රතිකාරවලින් පිළිකා සෛල ඉවත් කිරීමේ සැත්කම එකක් විතරයි. නැවත පිළිකා සෛල වැඩීම නතර කරන්න කරන්ට් ඇල්ලීම, ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරන්න තිබුණා. එන්නත් 32ක් දෙන්න නියම කරල තිබුණා. හැකි ඉක්මනට කරන්න ඕන කියලා ඩොක්ටර් කිව්වා. ඉන්ජෙක්ෂන් කෝස් එකට විශාල මුදලක් යන බවත් ඩොක්ටර් කිව්වා. ඒත් කරන්ට් අල්ලනකොට, එන්නත් ගන්නකොට දුවට කිරි දෙන්න බෑ. කොණ්ඩෙ ගිහින්, තට්ටය පෑදිලා අවලස්සන වෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා එම ප්‍රතිකාරවලට ගියේ නෑ. කරන්ට් අල්ලලා, ඉන්ජෙක්ෂන් කෝස් එක කරන්න කියලා මහත්තයා නිතරම කිව්වා. ඒත් මම කැමැති වුණේ නෑ. ඊට පස්සෙ මහත්තයාගේ යාළුවෙක්ගේ අම්මා කෙනෙක් බෙහෙත් ගන්න වෙදමහත්තයෙක් ළඟට මාව එක්කරගෙන ගියා. ඒ අම්මටත් තිබුණේ බෙස්ට් කැන්සර් එකක්. වයස වැඩි නිසා ඔපරේෂන් එකවත් කරන්නෙ නැතිව සිංහල බෙහෙත් කරලා තිබුණා. මාස ගාණක් බෙහෙත් කරනකොට ඒ අම්මගේ පිළිකාව නිට්ටාවට ම සුව වෙලා. මම බෙහෙත් කරන්න පටන්ගෙන මාස හයක් විතර යනකොට වෙද මහත්තයා කිව්වා ‘දැන් දුවට හොඳයි. බෙහෙත් නතර කරමු’ කියලා. ඒ මොහොතේ පුදුමාකාර සතුටක් හිතට දැනුණා. ඔපරේෂන් නොකර මටත් ගොඩ යන්න තිබුණ කියලා සිංහල බෙහෙත් කරනකොට තේරුණා. ඒත් අපි ප්‍රමාදයි. ඒ ගැන දුක් වෙන්නෙ නෑ. ඩොක්ටර්ස්ලා දෙවිවරු වගේ මට පිහිට වුණා. දැන් මම කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නෑ. සිංහල බෙහෙත් කරන්න ලොකු වියදමක් ගියෙත් නෑ. ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය, දෙවියන්ගේ රැකවරණය උපරිමයෙන්ම ලැබුණ කියලත් මට ලොකු විශ්වාසයක් තියෙනවා…”
ඇය දැහැමි දිවිපෙවෙතක් ගත කරන මවකි. එමෙන්ම ආත්ම විශ්වාසය උපරිමයෙන් තිබෙන දිරිය කාන්තාවකි. තම ශරීරයේ පිළිකාව හටගෙන ඇති බව දැන ගත් පසු ගුරු වෘත්තියෙන් නිවාඩු ගෙන ඇත්තේ සැත්කම කර සති තුනක් පමණි. නිතරම ළමයි සමග සිටීම නිසා රෝග බිය දුරු වී සිතට සැනසීමක් ලැබුණු බව ද ඇය අප සමග පැවසුවාය. උපරිම මානසික සුවයක් නොමැතිව ගණිතය වැනි විෂයක් ඉගැන්වීමට නොහැකි බව ද සැබෑය. එහෙත් බිමාලි පෙරේරා 6 වසරේ සිට 11 වසර දක්වා සිසුන්ට ගැටලුවකින් තොරව සුපුරුදු පරිදි ඉගැන්වීම් කටයුතු කරගෙන යෑමට මානසික සංවර්ධනය හොඳින් පවත්වාගෙන ගොස් ඇත. එමෙන්ම ගුරු වෘත්තියේදී දක්වන කැපකිරීමට උපහාරයක් ලෙස රෝගාතුර වී සිටින බව දැනගත් දෙමවුපියන් ඇය සුවපත් වන තෙක් දිනපතා බෝධි පූජා පවත්වා උපරිමයෙන් සෙත් ප්‍රාර්ථනා කර තිබේ. අකුසල් පටිසන් දුන් සැණින් බිමාලිගේ කුසල් බලවත් වී ඇති බව පෙනේ. ඇය මේ මොහොතේ ආත්ම අභිමානයෙන්, සතුටින් කතා කරනුයේ එහෙයිනි. මාරාන්තික රෝගයක් හටගෙන අවුරුද්දක් වැනි කෙටි කාලයකින් පූර්ණ සුවයට පත් වී පෙරටත් වඩා සුන්දර රූ සපුවකින් යුක්තව ජීවත්වනුයේ පෙර පින් සහ මේ ආත්මයේ කරන පින් බලයෙන් බව පැහැදිලි ය.
‘ඔපරේෂන් එකෙන් පස්සෙ සතියක් විතර යනකම් දැනුණු වේදනාව මතක් වෙනකොටත් ඇඬෙනවා…’ දැනුදු ඇයගේ නිල්වන් දෙනෙත් බොඳ වී දෙකොපුල් දිගේ කඳුළු කැට රූරා වැටිණි.
‘අසනීපය දැනගත් මොහොතේ ඉඳල මගෙ මහත්තයා පුදුමාකාර ආදරයකින් මාව රැකබලා ගත්තා. වචනයකින්වත් හිත රිද්දන්නෙ නැතිව, බාහිරින් එන ප්‍රශ්න නොපෙන්නා පුදුමාකාර සංයමයකින් මුහුණ දුන්නා. අද මම සතුටින් හිනා වෙලා ඉන්නෙ මහත්තය නිසා. ඒ වගේම මහත්තයගේ අම්මා, අපේ දෙමවුපියෝ, සහෝදර සහෝදරියෝ සේරම එකා මෙන්ම වෙනදට වඩා මට ලෙන්ගතුව හිටියා. දුවට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ. ඒත් පුතලා දෙන්නා මට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. දෙවැනි පුතා එකම දවසක් ‘අම්මට හැදිලා තියෙන ලෙඩේ හොඳ කරන්න පුළුවන්ද’ කියලා මගෙන් ඇහුවා. ලොකු පුතා මගේ ලෙඩේ ගැන වචනයක් ගෙදර කතා කළේ නෑ. ඒත් පුතා ඉස්කෝලේ ගිහින් හැමදාම අඬනවා කියලා මම දැනගත්තෙ මෑතක. ඒ වගේම මමත් පිළිකාවක් කියලා දැනගත් දවසෙ ඉඳලා ‘මගේ අසනීපය ඉක්මනට සනීප වෙනවා. ලෝකෙ කිසිම මනුස්සයෙක්ට මෙවැනි රෝගයක් නම් හට ගන්න එපා. හැදුණු අයටත් ඉක්මන් සුවය ලැබේවා…’ කියා නිතරම සිතින් මෙනෙහි කළා. ‘දැන් මට සුවයි… මගේ ඇගේ කිසිම ලෙඩක් නෑ…’ කියලා අදටත් නිතර මෙනෙහි කරනවා. සතිමත් බවේ ආශීර්වාදය ද උපරිමයෙන් මට ලැබුණා. දැන් මම සතුටින් ජීවත් වෙනවා. තියෙන එකම දුක නැවත අපේක්‍ෂා රෝහලට මගේ ලේ දන් දෙන්න බැරිවීම ගැන විතරයි. අවුරුදු ගාණක් එක දිගට මට ලේ දන්න අවස්ථාව සලසාදීපු තිළිණ හසරැල්ටත් මේ මොහොතේ පින් දෙනවා…”
“ගොඩක් අය ලෙඩක් හැදුනම සමාජයට හංගන්න හදනවා. එහෙම කරන එකේ අවාසියත් රෝගියාටමයි. තමන්ගෙ ලෙඩේ ගැන හිත මිතුරන්, ඥාතීන් දැනගත්තම උපකාරයක් කරන්න ඔවුන් උපරිම උත්සාහ කරනවා.
ගොඩක් අය මිනිසුන්ගේ දුකේදී පිහිට වෙන්න කැමැතියි. එහෙමත්ම නරුම කෙනෙක් තමයි ආත්මාර්තකාමී සිතිවිලිවල එල්බ ඉන්නෙ. මගේ රෝගය ගැන දැනගත් ගොඩ දෙනෙක් වචනයකින් හරි මට සෙත් ප්‍රාර්ථනා කළා. ඒවා මානසික සුවයට පිරිත් පැන් වගෙයි. ඒ වගේම මෙවැනි ලෙඩක් හැදිලා කියලා දැනගත්විට හිතින් මැරෙන්න හොඳ නෑ. මනස නීරෝගීමත්ව තබාගන්න ඕනෑ. මනසින් වැටුණොත් ගොඩ එන්න අමාරුයි…” කඳුළු පිස දා ගත් ඇය සිනා මුව පළල් කෙරිණි. මහ වර්ෂාවට පසු නැඟෙන සඳ වෙනදාටත් වඩා එළිය බව ඇයගේ මුහුණින් හොඳින් දිස් විය.
මේ වනවිට පිළිකාව ලෝක වසංගතයක් වී අවසානය. ලොව පුරා මිලියන හයකට වැඩි පිරිසක් වසරකට මියයන, මිලියන දහයක් අලුතින් රෝගීන් බවට පත් වන පිළිකාව ලොව ඕනෑම රටක විවිධ වූ ජන වර්ගවල මිනිස් ශරීරි කූඩුවල හටගන්නා රෝගයකි. විවිධ සතුන් අතර මෙන්ම ගහ කොළවල ද පිළිකා හටගැනේ. මිනිස් ශරීර තුළ හටගන්නා පිළිකා කල් නොහැර හඳුනාගැනීමෙන් ජීවිත අවදානමෙන් මිදී සුවපත් කරගැනීමට මේ වනවිට ප්‍රතිකාර තිබේ. බිමාලිගේ කතාව එයට කදිම උදාහරණයකි. ආත්ම ශක්තියෙන් සහ විශ්වාසයෙන් අභියෝගවලට මුහුණ දීම තුළ පිළිකා මාරයාව වුව ද පැරදිය හැකි ය.
තරංග රත්නවීර
