පොලිසිය ගැන ආයෙත් විශ්වාසය බිඳුණු අවස්ථාවක්
මත් ජාවාරමේ තවත් බිල්ලක්
සති අන්තය කිට්ටු වන විට කහවත්ත ගිනිගත්තේය. ගමක මිනිස්සු රොද බැඳ පොලිසියට පහර දුන්නෝය. පොලිසිය ද පෙරළා පහර දුන්නෝය. කේයස් කාව්‍ය සුන්දරත්වයට නැඟු කටුරොදගම භීතියෙන් ඇළලිනි. කාව්‍ය ශූරී සාගර පලන්සූරිය උපන් ගම මත් රකුසාට බිලිව තිබේ. ඒ සොඳුරු ගමට මෙවැන්නක් සිදුවේ යැයි සාගර පලන්සූරිය සිහිනෙනුදු සිතුවේ නැති බව විශ්වාසය.
‘මත්වීම’ මුල්කරගෙන මින් පෙර රත්නපුර අපරාධ කොට්ඨාසයෙන් කිසිදු මිනීමැරුමක් වාර්තා වී නොතිබිණ. පොලිස් පොත්වල එවැන්නක් සටහන් වූයේ ද නැත.
ඉමන්ත ඝාතනය
පසුගිය 30 වැනිදා රාත්‍රියේ යක්ෂයාගේ හෝරාව එළැඹ තිබිණි. ඒ රාත්‍රියේ කහවත්ත නගරයට නුදුරු පලන්සූරියගම ප්‍රදේශය භීතියෙන් සලිත කරමින් වෙඩි හඬවල් ඇසුණේ තරුණ ජීවිතයක් බිලි ගනිමිනි.
ඝාතනයට ලක්වූ තරුණයා ඉමන්ත සුරන්ජන ය. හෙතෙම 22 හැවිරිදිය. ඉමන්තගේ නිවසටම පැමිණි නාඳුනන පිරිස ජීප් රථයකින් ඔහු රැගෙන ගියේ දෑත්වලට මාංචු දමමිනි. ඉමන්ත පමණක් නොව ඔහුගේ මිතුරා ද පැමිණි පිරිස එලෙස රැගෙන ගොස් තිබිණි. ඒ ඔහුගේ සොහොයුරා යැයි සිතමිනි. ඉමන්තගේ පවුලේ උදවියට මේ ගැන සැකයක් මතු වූයේ නැත. පැමිණ තිබුණේ ජීප් රථයකි. එපමණක් නොව ‘මාංචු දමා අත්අඩංගුවට’ ද ගෙන තිබිණි. ඉතින්, කවර නම් සැකයක්ද? එහෙත් ඉමන්තගේ මව පැමිණි පිරිසගෙන් ප්‍රශ්න කර තිබිණි. “ප්‍රශ්න කරන්න තියෙනවා. පොලිසියට ඇවිත් පුතා එක්කරගෙන යන්න” ඝාතකයන්ගෙන් ලැබුණු පිළිතුර එබන්දකි.
කෙසේ හෝ අවසන ඉමන්තගේ පවුලේ උදවියට ලැබුණේ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පමණි. ඉමන්තගේ ඝාතනයට මුල් වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලියක අයකු විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක් යැයි සැකකරන බව පොලිසිය පවසන්නේය.
ඉමන්ත සුරන්ජන, ප්‍රදේශයේ ජනප්‍රිය තරුණයෙකි. ඔහු කෙළින් කතා කරන්න බියක් නැති අයකු ලෙසද ප්‍රකටය. ප්‍රදේශයේ මත් ජාවාරමට එරෙහිව කතා කරන නිසාම, ඔහුට මරණ තර්ජන එල්ල වී තිබුණු බව පවුලේ සාමාජිකයෝ පවසති.
ඝාතනයට ලක්වූ තරුණයාත් ඔහුගේ පවුලේ අයත් කලක් තිස්සේ ‘මීගොඩ අමිත්’ නම් අයගේ පවුලේ අය සමග කුළුපගව සිටි බවද පොලිසිය කියයි. පවුල් ප්‍රශ්නයක් නිසා විරසක වීමෙන් පසු ඉමන්තගේ පවුලේ අයත් මීගොඩ අමිත්ගේ පවුලේ අයත් අතර ඇයි හොඳැයියක් තිබුණේ නැත.
මීගොඩ අමිත් මෙයට වසරකට පෙර ඩුබායි රටට ගොස් ඇති අතර ප්‍රදේශයේ මත් ජාවාරම ගෝලයින් ලවා මෙහෙයවද්දී ඉමන්ත සහ ඔහුගේ සොහොයුරා ද ගම්වාසීන් පිරිසක් ද එම ගෝලයින්ට පවසා ඇත්තේ එය නතර කරන ලෙසයි.
කහවත්ත පොලිසිය, මෙම මත්ද්‍රව්‍ය ජාලයේ දෙදෙනකු පසුගිය සතියේදී කහවත්ත ප්‍රදේශයේදී ද, ඊට පෙර මීගොඩ අමිත්ගේ ගෝලයකු බුංගිරියේදී ද අත්අඩංගුවට ගෙන තිබේ. එම සිදුවීම් ගැන තොරතුරු ලබාදුන්නේ යැයි සැකය ද ඉමන්ත දෙසට යොමුවී තිබීම ඝාතනයට හේතුවක් වන්නට ඇතැයි පොලිසිය පවසයි. එහෙත් එම අත්අඩංගුවට ගැනීම් කර තිබුණේ පොලිසියට ලද වෙනත් තොරතුරු අනුව ය.
ඉමන්තගේ ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ඥාති කාන්තාවක ද අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට පෙර වට්සැප් දුරකතන ඇමතුම්වලින් පලන්සූරියගම ප්‍රදේශයේ පුද්ගලයන් ගණනාවක් ඝාතනය කරන බවට මරණීය තර්ජන සිදු කර ඇතැයිද ගම්වාසීන් පිරිසක් පරික්ෂණ සඳහා පැමිණි රත්නපුර විශේෂ පොලිස් ඒකකවල නිලධාරීන්ට සඳහන් කර තිබේ.

ඝාතනය කරන ලද ඉමන්තට ද ඔහුගේ නිවුන් සොහොයුරාට ද එවැනි තර්ජන සිදු කර ඇතැයි ද මවුපියෝ පවසති.
ඉමන්තගේ මව රේණුකා මනතුංග කියන්නේ මෙබන්දකි.
“මගේ නිවුන්නු දෙන්නම නවයට විතර ගේ ඉදිරිපිට සිටියා. මියගිය පුතාගේ යාළුවෙක්ද ඇවිත් විනාඩ් දහයක් පහළොවක් යනවිට තමයි පොලිසියෙන් කියා කට්ටියක් ආවේ. උඹලා ළඟ ගංජා තියෙනවාද ඇහැව්වා. ලොකු පුතා ගෙට ඇවිත් හිටියේ.
ඉමන්ත පුතාගෙයි එයාගේ යාළුවගේ ෆෝන් අරගෙන ඔවුන් අත්වලට මාංචු දැම්මා. මගේ දරුවා කොහෙද එක් කරගෙන යන්නේ කියලා මම ඇහුවා. අපි පොලිසියෙන් පොලිසියට ඇවිල්ලා ළමයි එක්කරගෙන එන්න කියලා කිව්වා. ආයුධ තිබුණ නිසා මම හිතුවේ ඒගොල්ලො පොලිසිය කියලා.
ඉමන්ත පුතයි එයාගේ යාළුවයි පහළට එක් කරගෙන ගිහිල්ලා ජීප් එකක දාගෙන අරන් ගිහින්. මගේ ලොකු පුතා තේ කෑල්ලට පැනලා හැංගුණා. ඒ නිසා එයාගේ ජීවිතය බේරුණා. මගේ පුත්තු දෙන්නා කාටවත් වරදක් නොකර පාඩුවේ ඉන්න අය. හැබැයි ඒගොල්ලෝ අසාධාරණයට විරුද්ධව නම් කතා කරනවා. එනිසා ගමේ කුඩු විකුණන අය ඒගොල්ලොත් එක්ක තරහයි.”
ඉමන්තගේ මව අවධාරණය කරන මේ කාරණය ගැන අවධානය යොමු කළ යුතුය.
කහවත්ත පොලිසිය නිහඬද?
“මගේ මැරුණ පුතාට කුඩු ලේබලය අලවන්න එපා… කහවත්ත පොලිසිය හරියට වැඩ කරා නං මගේ පුතා අද මැරෙන්නේ නෑ.”
කහවත්ත පොලිසියට මේ මත්කුඩු ප්‍රශ්නය ගැන අපි කියා තිබුණත් කිසිම දෙයක් කළේ නැහැ. අන්තිමට මාගේ දරුවෙක් නැතිවුණා. පොලිසිය මේ මරණයට වගකිවයුතුයි.”
මත්කුඩු ජාවාරම්කරුවන් එක්ක පොලිසිය සම්බන්ධදැයි සැක මතු වෙනවා. දැන් සමහරු මාගේ මියගිය පුතාට අපහාස කරනවා එයා කුඩුවලට සම්බන්ධ බවට. අනේ ඒ අපහාසය නම් කරන්න එපා. පුතා කිව්වේ කුඩු නිසා ගම විනාශ වෙනවා කියලා. හොඳට ඉගෙනගත්ත, ක්‍රීඩාවට දක්ෂ පුතා පොලිසියේ රැකියාවකට යෑමට උත්සහා කළා. එයාට සහතික මිටි ගණන් තිබෙනවා. දැන්වත් මාගේ පුතාට සාධාරණය ඉටුකරන්න කියා ඉල්ලනවා.”
ඝාතනය කෙරුණු තරුණයාගේ පවුලේ අය නගන චෝදනා කහවත්ත පොලිසිය ප්‍රතික්ෂේප කළේය. ප්‍රදේශයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නැවැත්වීමට වරින්වර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද මෑතකදී ද වැටලීම් කළ බවද කහවත්ත පොලිසියේ නිලධාරීහු පවසති. සැකකරුවන් තිදෙනකු මෙම මත්කුඩු ජාවාරම ගැන අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති බවද පොලිසිය කියන්නේය.
එහෙත් සැක සංකා මතුවීම සාධාරණය. පොලිසියේ ‘සායම’ යන සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරාම එක දිගට පෙළ ගැසී තිබිණි. ඒ බිඳ වැටුණු විශ්වාසය ගොඩනැගීම පහසු නැත. ගිනිගත් කහවත්ත අපට කියන්නේ ඒ කතාවය.
කහවත්ත සමරවීර නිරෝෂණ