කතරගම දෙවියන් පෙර භවයේ දී අප රටේ කතරගම අද පූජා භූමිය පවතින බිමේ රජ කළ රජකු බව ජනප්‍රවාදයේ කියවේ. මහාසේන නමින් ප්‍රකට රජකු කතරගම පුරවරය පාලනය කළ සමයේ දී බුදුන් වහන්සේ අවසානයට (03 වැනි වරට) වැඩිය අවස්ථාවේ දී, අද කතරගම කිරිවෙහෙර පිහිටි බිමට වැඩිය බවත් එදින බුදුන් දැක ධර්මය අවබෝධය කරගත් මහාසේන රජු බුදුන්ගේ කේෂ ධාතු ඉල්ලාගෙන කිරිවෙහෙර ඉදිකරනු ලැබූ බව සඳහන් වේ.
කාලයක් ගෙවුණු පසු මහාසේන රජුට එක් ප්‍රාර්ථනයක් විය. එනම් ලබන ආත්මය තුළ කුමන හෝ බලවේගයකින් ඉපදී උතුම් කිරිවෙහෙරත් අෂ්ටඵල බෝධියත් රැක ගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනයක් කිරීම නිසා කඳසුරිඳුන් ඉන්දියාවේ සරවණ විලේ ඕපපාතිකව ඉපදුණු බව කතිකාවත් තුළ සඳහන් වේ.
මේ අනුව රජුගේ දේවිය ද වල්ලිදේවිය ලෙස කතරගම තණහේනක උප්පත්තිය ලැබූ බව කතරගම දේවාලයේ කපු මහතුන් සඳහන් කරති.
මේ වල්ලි දේවිය හා කඳසුරිඳුන්ගේ ආදර කතාව පිළිබඳව කතරගම දේවාල ඉතිහාසය කියන කතා පුවතයි. මේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී. රත්නායක කපුමහතා පාරම්පරිකව එන කපුමහතෙකි. ඒ මහතා සඳහන් කරන පරිදි වල්ලි දේවියගේ කතා පුවත මෙසේ සඳහන් වේ.
ඊශ්වර දෙවියන්ගේ භාර්යාව වන උමයංගනා දේවියට තදබල අපල කාලයක් උදාවිය. දෙවියන්ට අයත් ජ්‍යෝතිෂවේදීන් පැවසුවේ මෙම අපලයෙන් බේරීමට නම් උමයංගනා දේවියට දාව උප්පත්තිය ලබන දරුවන් (4) දෙනෙකු ජම්බුද්ධීප හතරක (4) නතර කළයුතු බවයි.
එ අනුව දිවයිනට වැඩිය උමයංගනා දේවිය සෙල්ල කතරගම ප්‍රදේශයට පැමිණ සිය දරුවාගේ උප්පත්තිය ලැබිය යුතු ඉසව්ව පිළිබඳව විපරම් කරනු ලැබිය.
මෙම පළාත වැදි ජනයාට අයත් බිමක් වූ අතර එක් තණ හේනක් අසල මා නුග ගසක් පිහිටා තිබුණි. මෙම නුග ගසෙන් වැටෙන ගෙඩි කෑමට මුවන් නිතර ගස වටා සැරි සරනු ලැබීය. මෙම මුවන් කොටු කිරීමට වැද්දන් වළවල් කපා උගුල් ඇටවීම පුරුද්දක් ලෙස නිතර සිදු කරමින් තිබුණි.
මෙම අවස්ථාවේ දී උමයංගනා දේවියට විළිරුදාව ඇතිවිය. සිය කුසින් ගැහැනු දරුවකු උප්පත්තිය ලැබීය. උපන් දැරිය වැද්දන් විසින් අටවන ලද උගුල් වළට දමා උමයංගනාව අතුරුදන් විය.
සෙල්ල කතරගම අඩවිය පාලනය කළේ මේ වනවිට නන්ද නමැති වැදි නායකයෙකි. මොහුට පුතුන් හත්දෙනකු සිටි අතර ගැහැනු දරුවන් නොවීය. ඔහු සිය පිරිවර සමග තමන් මුවන්ට ඇටවූ උගුල් බැලීමට මා නුග ගස අසලට පැමිණියහ. වෙනදාට වඩා මුවන් රංචු ගැසී සිටි අතර වැද්දන් දුටු මුවන් වහා දිව ගියත් එක් මුව දෙනෙකු නුග ගස අසල නතර විය.

ගස අසලට පැමිණි වැද්දන් ගස අසල සිටි මුව දෙනට ඊතලයකින් විදීමට සැරසෙන විටම කුඩා ගැහැනු දරුවකුගේ ඇඬීමක් ඇසීම නිසා නන්ද නමැති වැදි නායකයා මුව දෙනට විදීම නතර කර ළඟට පැමිණ උගුල් වළේ සිටි පුංචි දැරිය අතට ගෙන මුව දෙන වදපු දරුවකු බව පවසා තම ගල් ගුහාවට දැරිය රැගෙන යනු ලැබීය.
වනයේ සිට හමු වූ නිසා වල් (වනය) ලිය (කත) වල්ලි යන නම තැබීය. නන්ද නමැති වැදි නායකයා ද ඔහුගේ පුතුන් ද තමන්ට හමු වූ වල්ලියට දැක් වූයේ දැඩි භක්තියකි. මෙම දැරිය වේගයෙන් හැඩි දැඩි විය. දැරිය ලැබීමත් සමග රැහේ වැදි ජනයාට ද කිරි ඉතිරෙන පරිදි සරු වෙමින් පැවතියහ.
ක්‍රම ක්‍රමයෙන් වල්ලිය රූමත් තරුණියක් බවට පත් වූවාය. රූසපුව සම කළ හැකි තවත් ලඳක් නොමැති තරම් ඇය ලස්සන වන්නට විය. මෙම හේතුව මත නන්ද වැදිනායකයා තම ලොකු පුතු වන ගමණ්ඩියාට නායකකම ලබා දී වල්ලියට ආරක්ෂාව රැකවරණය ලබා දීමට පියවර ගෙන තිබුණි.
වල්ලි තරුණිය හැදී වැඩුනේ තණ හේනකය. මෙම තණ හේනට ළංව අරුණගිරි නාදන් නමැති ඉසිවරයා ද භාවනා යෝගී ව සිටි අතර දිනක් උදෑසන ඉතාම මිහිරි ගීතයක් ඇසෙන්නට විය. එම කටහඬ ඉතාම මිහිරිය. අරුණගිරි ඉසිවරයා ගී රාවය ඇසෙන ඉසව්ව දෙස විපරම් කර බැලීිමේ දී දෙවඟනක් මෙන් රූ සපුව ඇති මෙම වල්ලිය දැක පුදුම විය.
ඇය මනුෂ්‍ය දියණියක් නෙව දෙවිදුවක් බව හැඟුණු අරුණගිරි නාදන් ඉසිවරයා වහා ඉන්දියාවට ගොස් ස්කන්ද කුමරුවන්ට වල්ලිය ගැන කියා සිරිලකට කඳසුරිඳුන් කැටුව පැමිණියහ. සිරිලකට වැඩිය උතුම් බලයකින් යුතු කඳකුමරුන් වැඩ සිටි කන්දේ සිට මැණික් ගඟ දිගේ වල්ලිය සිටින තණහේන දෙසට පැමිණෙමින් සිටියහ.
මේ වන විට වල්ලි දෙවඟන මැණික් ගඟ අසල ගලක සිය සළුව අපුල්ලමින් සිටින ලදි. (මෙම ගල අදත් දැකිය හැකි අතර සළු ගල ලෙස හඳුන්වයි.) මැණික් ගඟ දිගේ පැමිණි ස්කන්ද කුමරු එක්වර මහලු වේශයක් මවා ගෙන රෙදි අපුල්ලමින් සිටි වල්ලිය වෙත පැමිණියහ. කඳකුමරුන් දුටු වල්ලිය වහා දිව ගොස් තම ගල් ලෙනට ඇතුල් වී සැඟවිණි.
එදින ආපසු පිටත් වූ කඳසුරිඳුන් නැවත පසු දින මැණික් ගඟ දිගේ වල්ලිය සිටින ඉසව්ව බලා පිටත් විය. මෙදින ද කඳ කුමරුන් පැමිණියේ මහල්ලකු පරිද්දෙනි. වල්ලි දෙවඟන වැඩ සිටි සෙල්ල කතරගම තණ හේනට පැමිණි මහලු වෙස් ගත් කඳසුරිඳුන් වල්ලි දේවිය ගේ ආරක්ෂාවට සිටි වැදි පිරිස දේව අනුහසින් ඉවත් කර වල්ලිය සිටි ගල් ලෙන තුළ තිබුණු වතුර කළ ගෙඩි ද සියල්ල හිස් කරන්නට විය.

ඉතා අමාරුවෙන් ඇවිද යන මහල්ලකු ලෙස ගල් ලෙනට ගොඩ වැදුණු මහල්ලා වල්ලිය අමතා අනේ දුවේ මට වතුර තිබහයි මට වතුර ටිකක් බොන්න දීපං යැයි පැවසීමත් සමග වල්ලි දේවිය වහා ගල් ලෙනට ගොස් ලබු කැට ඇතුළු සියලු වතුර තිබුණු භාජන බැලීමේ දී සියල්ල හිස්ව තිබුණු බව දැකගති.
මහල්ලා වෙත පැමිණි වල්ලිය කරන්න දෙයක් නැහැ සීයේ, වතුර කළ සියල්ලම හිස්වෙලා යැයි පැවසීය. එවිට මහල්ලා අනේ දුවේ මට බඩගිනියි. දවස් ගණනාවකින් කෑමක් නෑ. මට කන්න මොනවා හරි දීපං යැයි පැවසීය. අනුකම්පා සහගතව සිතූ වල්ලිය තණ හේනේ වගාවෙන් ලබාගත් ප්‍රථම තණ ටිකක් පිටි කර එයට මී පැණි මිශ්‍ර කර මහල්ලාට කෑමට දෙන්නට විය.
උගුරේ හිර වෙන ස්වරූපය පෙන්නමින් තණ හාල් බත් කෑ මහල්ලා දුවේ දැන්නම් මට වතුර ඕනමයි. නැත්නම් මම මැරෙයි කියා පැවසීය. එවිට අනේ සීයේ වතුර මෙහි නොමැති බැවින් වතුර ඇති මැණික් ගඟට යන ලෙස පැවසීය. එවිට පිළිතුරු දුන් මහලු පුද්ගලයා පැවසුවේ අනේ දුවේ මට ඇහැ පේන්නේ නැහැ… උඹ අතින් අල්ලන් පලයං යැයි මහල්ලා පැවසීය. එවිට වල්ලිය පැවසුවේ සීයේ මම කවදාවත් පිරිමි අයකුගේ අතින් අල්ලලා නැහැ. මගේ අයියන්ඩිලාවත් මගේ අතින්වත් අල්ලලා නැහැ මම කොහොමද සීයාගේ අතින් අල්ලන්නේ යැයි වල්ලිය පැවසීය.
එවිට මහල්ලා මට වතුර නොමැති වුණොත් මම මිය යයි යනුවෙන් පැවසීම නිසා වල්ලිය දිග කෝටුවක් කඩා ගෙනවිත් මහල්ලාට එක් කොනක් අතට දී අනිත් කොන ඇය අල්ලාගෙන මැණික් ගඟ වෙත පිය නැගීය.
මැණික් ගඟට පැමිණි මහල්ලා අද සෙල්ල කතරගම ගණදෙවි කෝවිල ඇති ස්ථානයේ ජලය පිරි වළකට වල්ලි දෙවඟන තල්ලු කරනු ලැබීය. වතුරට වැටුණු වල්ලිය කෝපයෙන් වංචාකාරයා බොරුවට ඇස් පේන්නේ නැහැ කියලා මාව වැට්ටුවා. මගේ රැහේ උන් නුඹව ඊතලවලින් විදලා මරා දමාවි. යැයි මැණික් ගඟට වැටුණු වල්ලි තරුණිය දෙස් දෙවොල් තබන්නට විය. මේ සමග මැණික් ගඟේ දිය ද ක්‍රම ක්‍රමයෙන් වැඩි විය.
දියේ කරවටක් ජලයෙන් වැසී සිටි වල්ලිය මහල්ලා අමතා පැවසුවේ මා නුඹව වනයේ සතුන්ට කෑමට දෙනවා යැයි පවසා බලගතු මන්ත්‍රයකින් මතුරන්නට විය. එවිට වළසුන් කොටියන් පැමිණි අතර මහල්ලා ද වල්ලිය අමතා පැවසුවේ මටත් මතුරන්න පුළුවන් කියා පැමිණි වන සතුන් පලවා හරින්නට විය.
මමත් මන්ත්‍ර දන්නවා ඕනෑම සතකු ගෙන්වලා පෙන්වන්නම් කියා මතුරන්න හදන විට වල්ලිය පැවසුවේ අලියා නැතිව ඕනෑම සතකු ගෙන්වන ලෙසයි. මෙයට ඇහුම් කන්දුන් මහල්ලා වල්ලිය බිය අලියාට බව දැනගන්නා ලදි.
මහලු වෙස්ගත් කඳසුරිඳුන් දේව අනුහසින් මහාබල සම්පන්න ගණ දෙවියන්ට මෙම සුරූපී දෙවඟන කැමති කරවා දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය. වල්ලිය අලියාට බිය හෙයින් අලි වෙසක් මවා ගත් ගණ දෙවියන් කඳ කුමරුන්ට පැවසුවේ මා අලියකු වෙසින් පැමිණ වල්ලිය බිය වැද්දීම කරනු ලබන බවත් වල්ලිය කැමති වූ පසු තමන් දෙන පැන් කළය පුංචි කාලයක් තුළ අලි වෙසින් ඇති තම රූපයට ඉස පෙර තිබූ පරිදි සිය මුහුණ නැවත සකස් කරන ලෙස ඉල්ලීමක් කළ ගණ දෙවියන් ඇත් රූපයක් මවා ගෙන මැණික් ගඟේ වල්ලිය සිටි වළට පැන බොර කරන්නට විය.
ඇත් වෙසින් පැමිණි ගණ දෙවියන් දුටු වල්ලිය ගඟ අසබඩ මහලු වෙසින් සිටි කඳ කුමරුගේ ඇඟේ එල්ලී තමන් බේරාගන්නා ලෙස ඇවටිලි කරනු ලැබීය. වල්ලිය ලබාගත් මහලු වෙස් ගත් කඳකුමරු වල්ලී සමග වැඩ සිටි කන්දට පහළින් පිහිටි වල්ලි කන්දට පැමිණිය අතර ඇත් වෙසින් තමන්ට වල්ලි දෙවඟන ලබා ගැනීමට උපකාර කළ සිය සොයුරු ගණ දෙවියන්ගේ ස්වාභාවික ස්වරූපය ලබා ගැනීමට දුන් පැන් බඳුන ඇත් හිසට ඉසින්නට අමතක විය. එම අමතකවීම නිසා ගණ දෙවියන්ගේ මුහුණ ඇත් මුහුණක් ලෙස තවමත් පවතින බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
වල්ලිය හදා වඩාගත් වැදි නායකයා ඇතුළු පිරිස වල්ලිය සොයන්නට විය. විශාල පිරිසක් එක් වී කණ්ඩායම්වලට බෙදී වල්ලිය සෙවීමට ක්‍රියා කරනු ලැබීය. එක් කණ්ඩායමක් වැඩ සිටි කන්දට පැමිණ වල්ලි කන්ද දෙසට යන අතර මහලු මිනිසකු හමු විය. ඔහු පැවසුවේ, උඹලා හොයන එකී අන්න අර ගල් ගුහාවේ හිටියා ගිහින් බලාපල්ලා යැයි පැවසීම නිසා වැදි පිරිස විපරම් කර බැලීිමේ දී අතුරුදන්ව සිටි වල්ලිය හමු විය. ආයුධ සන්නද්ධව සිටි පිරිස වල්ලිය ගෙන තමන් මෙම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා කවුදැයි විමසීම කරන කල් හි වල්ලිය විසින් මහලු පුද්ගලයා පෙන්වීය.
ඒ සමග මහලු මිනිසා දෙස හැරුණු වැද්දන් පැවසුවේ අනුන්ට අයත් වල්ලිය තමන් කාගේ අවසරයකින් රැගෙන පැමිණියේ දැයි විමසා වල්ලියත් සමග තණ හේනට ගොස් ගමණ්ඩියා නමින් සිටි වැදිනායකයාට වල්ලිය භාර කරනු ලැබීය.
අතුරුදන්ව සිටි තම නැගණිය දුටු වැදි නායකයා තම නැගණිය අමතා කවුරුන් විසින් රැගෙන ගියේ දැයි විමසීය. එවිට මහලු පුද්ගලයා නැවත වල්ලිය ඉදිරිපිට දිස්විය. වල්ලිය අත දිගු කර වැදි නායකයාට පැවසුවේ මෙන්න මේ ඉන්න අය තමන් රැගෙන ගිය අය බව මහල්ලා පෙන්වනු ලැබීය.

එවිට වියරු වැටුණු වැදි නායකයා තම ආරක්ෂාවට සිටි දුනු හේවායින්ට අණ කලේ ඊතලවලින් විද මහල්ලා මරාදමන ලෙසයි. එවිට දුනු අත සිටි වැද්දන් දිගට හරහට මහල්ලාට ඊතලවලින් විදින ලදි. එවිට මහල්ලා සිටි ස්ථානයේ ගසක් හටගෙන සියලු ඊතල එම ගසට වැදී බිමට වැටෙන්නට විය.
වැදිනායක ගමණ්ඩියා ද මවිතව බලා සිටියදී අතුරුදන් වූ මහල්ලා නැවත මැණික් ගඟෙන් මතු විය. එවිට පිරිසක් මහලු වෙස් ගත් කඳ සුරිඳුන්ගේ ගමන නවතා දැමිය. ඔවුන් දෙස රවා බැලු මහලු මිනිසා පැවසුවේ උඹලා මේ විශාල පිරිසක් කැති, පොරෝ, දුනු, ඊතල ගෙන කුමක් කරන්නේ දැයි විමසීය. එවිට ඊතල අතට ගත් වැද්දකු පැවසුවේ තා මරාදැමීමට නායක වැද්දා අණ කළ බවයි. එවිට පෙරළා පිළිතුරු දුන් මහල්ලා පැවසුවේ එක් මිනිසකු මරන්න මේ තරම් පිරිසක් කුමකට ද යනුවෙන් පැවසීමත් සමග විශාල පිරිසක් ඊතල එල්ල කරගෙන මහල්ලාට විදීමට සැරසිණි.
වැද්දන් දහස් ගණනක් දුනු ඊතලවලින් විදීමට සැරසෙනවාත් සමගම සියලුම වැද්දන් දුනු ඊතල සමගම සෙම සොටු. පෙරාගෙන විකෘති වී ක්ලාන්තයෙන් බිමට ඇද වැටී ගල් පිළිම පරිදි විය. මෙය දුටු වල්ලි දෙවඟන මහලු වෙස් ගත් කඳකුමරු අසල වැටී සමාව අයැද තමන් ඔහු හා විවාහ වීමට කැමති බවත් තම වැදි පරම්පරාවේ අයට සමාව ලබා දී ඔවුන්ට ජීවිත දානය ලබාදෙන ලෙසත් ඇවටිලි කරන්නට විය.
ඒ සමග මැණික් ගඟට බැසගත් මහලු වෙස් ගත් කඳ කුමරු ජලය ගෙන බිම වැටී සිටි සියලුම දෙනාට පැන් ඉස නැවත ප්‍රකෘති තත්ත්වයට ගෙන ශාන්තිය සැලසීය. මහලු පුද්ගලයාට හිරිහැර කිරීමට පැමිණි සියලුම දෙනා සමග වැඳ වැටී සමාව ගත් ගමණ්ඩි වැදිනායකයා පැවසුවේ ඔබ වහන්සේට අයිති දෙවඟන ලබාගන්නා ලෙසත් වල්ලිය විවාහ කර ගැනීමෙන් පසු නැවත හමුවන්නේ කෙසේ දැයි විමසනු ලැබීය.
එවිට කඳසුරිඳුන් පැවසුවේ උඔලට කරදරයක් හිරිහැරයක් වූ විට දී රිදී පඬුරක් ගැට ගසා මට කන්නලව් කරපල්ලා. එවිට මම උඔලාට පිහිටවෙන්නම් යැයි පවසා වල්ලිදෙවඟන සමග උතුම් කතරගම දෙවියන් දෙව්ලොව බලා අතුරුදන් විය.
වල්ලි දෙවඟන සිහිවීම පිණිසත් වල්ලි දේවීයගේ පරපුර නියෝජනය කිරීම පිණිසත් අදත් කතරගම පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන විට දී ආදි වාසීන්ට ද චාරිත්‍ර ඉටුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර දෛනික පූජාවට ද වල්ලි දෙවඟනගේ පරපුර නියෝජනය වන පරිදි ආලත්ති අම්මලා 12 දෙනකු පූජාවට චාරිත්‍ර ඉටුකිරීමටත් පෙරහැරේ ගමන් කිරීමටත් ඉඩ සලසා දී තිබේ.
කතරගම දෙවියන්ට පවත්වනු ලබන ඉල් පෙරහැර, අවුරුදු මංගල්‍යය හා ඇසළ මංගල්‍යය වැනි කටයුතුවල දී මෙම වල්ලි දේවාලය වෙත පැමිණ චාරිත්‍ර ඉටු කිරීම දුටුගැමුණු රජුගේ නියෝග අනුව අදත් සිදු කරයි. ඉරහඳ පවතිනා තුරා මෙම පුද සත්කාර කඳසුරිඳුන්ටත් වල්ලි දෙවඟනටත් සිදු කරන අතර ඇසළ මංගල්‍යය වල්ලි දෙවඟනගේත් කඳසුරිඳුන් ගේත් විවාහ මංගල්‍යය සනිටුහන් කිරිම පිණිස සිදු කරති.
(තොරතුරු මූලාශ්‍රය සොයා ගැනීම – කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර සොමීපාල ටී. රත්නායක මහතා හා පැරණි කපු මහතුන්ගෙන් හා පෞරාණික පොත පතින්.)
කතරගම
කේ. ඩී. දේවප්‍රිය