සැකකරුවන් පුරවා ‘සැමන්’ ගසා ලක්ෂය බැගින් ගාණ කපයි
ෆෝන් ජෑමර්ස් රාත්‍රියේ පැයක් නවතයි
දිවයිනේ බන්ධනාගාර පද්ධතිය ඇවිස්සූ දිමි කූඩු වැනිය. පුවත්පතේ පළවූ අතලොස්සක් වූ දූෂිත බන්ධනාගාර නිලධාරින්ගේ වංහුං කියවූ බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ මීට පෙර එම නිලධාරින් වෙනත් බන්ධනාගාරවල සේවය කරමින් සිටියදී සිදුකළ තවත් නීති විරෝධී සහ සාහසික ක්‍රියා ගැන කතා කරමින් ජංගම දුරකතන ඔස්සේ දොඩමලු වන්නට පටන් ගෙන තිබේ.
ඔවුන් පවසන්නේ ජනාධිපති සමාව නොලබා ඇතැම් නිලධාරින්ගේ පිහිටෙන් සමාව ලැබ ගෙදර ගිය සිරකරුවන්ගේ තොරතුරුවලින් පමණක් සෑහීමකට පත්නොවී තවත් දිසාවකට රහස් පොලිස් පරීක්ෂණ යොමු කරවන ලෙසයි. ඔවුන් සිය දබරැඟිලි දිගු කරන්නේ තවත් විශ්මය දනවන දිශාවකටය. එනම්, උසාවි නියෝග වගන්ති වෙනස් කොට නිදහස ලබා දී සිරකරුවන් වේලාසනින් ගෙදර පිටත් කැර හැරිය නිලධාරින් දෙසටය.
එය නම් සුළුකොට තැකිය හැකි චෝදනාවක් නොවේ. ජනාධිපති සමාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කොට අධිකරණය නොමග යවන්නට උත්සාහ කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මෙම ලිපිය ලියන ජූනි 27 වැනිදා වන විටත් සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. ඔහු සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අනුරාධපුර සහකාර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්නට ජූනි 23 වැනිදා ඇප ලැබිණ. ඒ අනුව බලන විට උසාවියට බොරු කීවාටත් වඩා උසාවි නියෝග වගන්ති වෙනස් කිරීම බරපතල චෝදනාවක් සේ සැලකිය හැක. එම චෝදනා සම්බන්ධයෙන් කාට, කාට රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට වේදෝයි කියන්නට නොදන්නෙමු. අනිවාර්යයෙන් බන්ධනාගාර හා අධිකරණ පද්ධතියේ දූෂිත නිලධාරීන් කීප දෙනෙක්ට සිරගෙදර කල්දේරම් බතේ රස විඳින්නට සිදුවන බව නම් ඉර, හඳ වාගේ විශ්වාසය. මන්ද ඔවුන් සිදුකර ඇත්තේ එක වරදක් නොව, වැරැදි වැලක් බැවිණි. මේ වාගේ මුළු ඇඟම හිරිවට්ටන, අරුම පුදුම කතා අරාබි නිසොල්ලාසයෙන්වත් අසන්නට ලැබේදැයි සැක සහිතය.
මෙතෙක් කලක් සැඟවී තිබූ මෙම අභිරහස් කතාව දිග හරින්නට සිදුවන්නේ මේ අයුරිනි. චූදිතයා විසින් සිදුකළ වැරැදි කීපයක් සැකයෙන් තොරව ඔප්පු වීම හේතුවෙන් අධිකරණය මගින් ඔහුට දඬුවම් නියම කරයි. එක්, එක් වැරැදිවල ස්වභාවය අනුව එම වැරැදි වෙනුවෙන් පනවන සිර දඬුවම් කාලය ද වෙනස්ය. 01 වැනි චෝදනාවට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරෙන විත්තිකරුවාට සෙසු වැරැදිවල ස්වභාවය අනුවද දඬුවම් නියම කෙරේ. චෝදනා 05ටම දඬුවම් කාලය එකතු කළ විට එය අවුරුදු 25කට හෝ ඊට මඳක් අඩු විය හැක. නැතිනම් වැඩි වීමට ද ඉඩ ඇත. මීට අමතරව දඩ මුදල් ද නියම වෙයි. දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර කීපයක් සිර දඬුවමට එක් කෙරේ. ඒ අනුව සිරකරුවාට සිය ජීවිතයෙන් සෑහෙන කාලයක් සිරගෙදර ‘පැල් රකින්නට’ සිදුවෙයි.
සිරකරුවා සිරදඬුවම් විඳිමින් මෙසේ වසර දෙක තුනක් නිවීසැනසිල්ලේ ගෙවා දමයි. ඒ වනවිට බොහෝ දෙනාට සිරකරුවා ගැන හෝ ඔහු සිදුකළ වැරැදි පිළිබඳ මතකය ගිලිහී ගොස්ය. සිරකරුවා පිළිබඳ එදා පැවැති උණුසුම් තොරතුරු හා වාර්තා සියල්ල ඒ වන විටත් සමාජයට මුළුමනින්ම අමතක වී ගොසින්ය. කොටින්ම ඔහු උපන් ගමටවත් එවැන්නෙක් සිටියේදැයි කියන්නට තරම් මතකයක් හෝ ඕනෑකමක් ද නැත. සිරකරුවාට ‘ස්විප්’ එක ඇදෙන්නේ ඉන් අනතුරුවය. ‘ලොතරැයි වාසනාව’ දිනා ගන්නට නම් සිරකරුවා පළමුවෙන්ම කළ යුත්තේ ‘දොළපිදේනි’ නොඅඩුව පිදීමයි. එය රුපියල් දස ලක්ෂ ගණනින්ය. අනතුරුව බන්ධනාගාරයේ දූෂිත නිලධාරින් අතලොස්සක් දෙනා එකමුතුව මෙම සිරකරුවාට ‘නිදහස’ ලබාදීමේ වැඩපිළිවෙළ ‘තිතට’ අරඹති. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ උසාවිය මගින් පනවන දඬුවම ලිඛිතව සඳහන් කරන ‘දඬුවම් නියෝග බලපත්‍රය’කි.
මොවුන් සමග සමීප සම්බන්ධකම් පවත්වන තවත් කීප දෙනෙක් බන්ධනාගාර පද්ධතියෙන් පිටත වෙති. ඔවුන්ගේ ගතමනාව නිසි පරිදි ලබා දෙනවා නම් ‘දඬුවම් නියෝග බලපත්‍ර’ එකක් නොව, බලපත්‍ර කඩදාසි සහිත පොතක් වුවත් ලබාගත හැක. එම බලපත්‍රය වලංගු හා සැබෑ බලපත්‍රයක් වන්නේ උසාවි මුද්‍රාවෙනි. එම මුද්‍රාව ද මෙම ව්‍යාජ බලපත්‍රයට ඇතුළත් කෙරේ. දැන් සියල්ල හරිය. අනතුරුව එදා උසාවිය ලබා දුන් නියෝගය වෙනුවට මෙම ව්‍යාජ බලපත්‍රය මත අලුතින් උසාවි නියෝගය ලියැවේ. ඒ, බන්ධනාගාරයේදීය. එහි මෙසේ ලියැවේ. “මෙම චෝදනා පහ එකවර වසර 05කින් ගෙවී යන සේ කටයුතු කරන්න.” අවුරුදු විසිපහක් හෝ ඊටත් වැඩි සිරදඬුවමක් එක්වරම අවුරුදු 05ක් දක්වා පහත වැටෙන්නේ ඒ ආකාරයෙනි. එම ව්‍යාජ ‘දඬුවම් නියෝග බලපත්‍රය’ සිරකරුවාට අයත් බන්ධනාගාර සිර ලිපිගොනුවට ඇතුළත් වන්නේ ඉන් පසුවය. එහි තිබූ සැබෑ බලපත්‍රය ගිනි දෙවියාට පිදේ.
විත්තිකරුවාට එරෙහිව එදා ලබාදුන් උසාවි නියෝගයේ තවත් සත්‍ය පිටපතක් උසාවියේ අදාළ අංශයට යවා තිබේ. මෙපමණ කාලයකට ඒවා එළියට අදින්නට සිදුවූයේ නැත. මන්ද මෙවැනි ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවූ බැවිනි. කිසිම ආයතනයක් හෝ බලධාරියෙක් මේ දක්වා උසාවි ලේඛනාගාරයේ තිබෙන සිරකරුවන්ට අයත් සත්‍ය උසාවි නියෝග බලපත්‍ර හා බන්ධනාගාරයේ අදාළ සිරකරු ලිපි ගොනුවේ තිබෙන උසාවි නියෝග බලපත්‍ර පිරික්සුමකට ලක්කර නැත. දූෂිතයා මෙතෙක් කල් පැන ගිය සිදුරකි ඒ. රහස් පොලිසිය විසින් සිදුකර ගෙන යනු ලබන පරීක්ෂණවලදී මෙම ජාවාරමේ සුලමුල පවා එළියට ඇදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

බන්ධනාගාර පද්ධතිය තුළ දූෂිත නිලධාරීන් අතලොස්සක් දෙනා ගිනි මකරුන් මෙන් නැගී සිටින්නට බලපෑ ප්‍රධාන හේතු මොනවාදැයි විමර්ෂණය කිරීමේ කාලය දැන් උදාවී තිබේ. එමගින් බන්ධනාගාරයේ කීර්ති නාමය සෝදාපාලුවට ලක්වී ගිය ආකාරය සොයාගත හැක. රටේ ජාතික ආරක්ෂාවට එල්ල වූ ප්‍රහාරයන්හි අක්මුල් නැරඹීමට පිළිවන. සුප්‍රකට විජේසෝමයන්ගේ කාටූනයක් මෙන් පැහැදිලිව හා ගැඹුරු යථාර්ථයෙන් යුතුව මේවා අධ්‍යයනය කොට නිසි පිළියම් යෙදිය හැකි වන්නේ එවිටය.
දූෂිත බන්ධනාගාර පද්ධතිය සමාජය විසින් හැඳින ගෙන ඇත්තේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ගොඩගැසෙන මීතොටමුල්ල කුණු කන්ද මෙනි. එයින් හමා එන දූෂණයේ දුගඳ මුළුමහත් සමාජයටම හිරිහැරයකි. “බන්ධනාගාර පද්ධතිය මුළුමනින්ම සුද්ධ පවිත්‍ර කරන්නෙමි” යැයි කියමින් පත් වූ ඇතැම් ඇමැතිවරුන්, ඇමැති වෙස්ගත් අමු ‘පට්ට’ සොරුන් ය. ඔවුන්ට නීතිය, යුක්තිය, අධිකරණය, පොලිසිය යනු ‘බල්ලාගේ පස්සා පැත්තේ බැන්ද මී වදයකි’. කිසිම වැඩක් නැත. මෙම කෛරාටික ඇමැතිවරුන්ගේ පමණක් නොව, ඔවුන්ගේ පක්ෂයේ, විපක්ෂයේ දේශපාලනඥයන්ට දරදිය සප්පායම් කළ මැරයෝ බොහෝ දෙනෙක් ‘පදිංචි’ වී සිටින්නේ බන්ධනාගාර තුළය. ඔවුන්ගෙන් ලබා ගන්නට ලොකු වැඩ කොටස් මෙම ඇමැතිවරුන්ට හා සෙසු දේශපාලනඥයන්ට තිබේ. ඒවා එපරිදිම ඉටුකර ගන්නට නම් තමන්ට කීකරු කොමසාරිස් ජෙනරාල්වරුන් පත් කරගත යුතුය. අනතුරුව සිදුවන්නේ එම ජෙනරාල්වරුන් තමන්ට කීකරු උසස් නිලධාරීන් පමණක් බන්ධනාගාරයේ උසස් තනතුරු සඳහා පත්කැර ගැනීමයි. ඔවුන්ට පමණක් උසස්වීම් පිරිනමති. ඇතුළත වෙසෙන මැරයන්ට අවශ්‍ය සැප පහසුකම් සියල්ල ලබාදීම ආරම්භ වූයේ ඒ ආකාරයෙනි. බන්ධනාගාර පද්ධතිය දූෂිත දුමාරයකින් වැසී ගියේ ඉන් අනතුරුවය. සිරදඬුවම් විඳිමින් වුවත් කිසිදු බියක්, සැකක් නොමැතිව කප්පම් ගැනීම්, කොන්ත්‍රාත් මිනිස් ඝාතන, ජාත්‍යන්තරය සමග එක්වී සිදුකරන හෙරොයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය බිස්නස්, ගිනිඅවි ජාවාරම්, ස්මාර්ට් වැනි දුරකතන ඔස්සේ කොන්ත්‍රාත් ඝාතන නැරඹීම් සහ ඒවායේ පිටපත් ව්‍යාපාරිකයින්ට යවා බියවද්දා විශාල වශයෙන් මුදල් කප්පම් ගැනීම් සිදුකර ගෙන යන්නට මෙම ඇමැති ආශීර්වාදය බෙහෙවින් ඉවහල් වූ බව බන්ධනාගාර පද්ධතියේ දූෂණයට එරෙහි ‘පොඩ්ඩෝ’ හඬ නගති. මෙවැනි අපරාධ බන්ධනාගාර තුළ සිට ක්‍රියාත්මක වෙද්දී නිරායාසයෙන් අපරාධකරුවන්ගෙන් නිලධාරීන් පෝෂණය වීම ආරම්භ විය. ජාතික ආරක්ෂාවට දරුණු අභියෝගයක් එල්ල විණ. “එළියට වැඩිය ඇතුලේ ආරක්ෂාවක් තිබෙනවා…” යනුවෙන් සිරගත දරුණු අපරාධකරුවන් පවසන කතාව ඇත්තක් වී ඇත්තේ එබැවිණි.
සැබවින්ම වර්තමාන බන්ධනාගාර පද්ධතිය අපරාධකරුවන්ගේ පාරාදීසයක් නැතිනම් අභය භූමියක් වශයෙන් වුවත් නම් කළ හැක. රට පුරා විවිධ අපරාධ කරමින් පොලිසියට හා ප්‍රතිවාදි පාතාල කල්ලිවලට අසුනොවී කට්ටි පනිමින් පසුවන අපරාධකරුවන් බොහෝමයක් දෙනා සිය විවේකාගාරය වශයෙන් සලකන්නේ බන්ධනාගාරයයි. අවශ්‍ය ඕනෑම විටෙක පොලිසියට බාරවී උසාවිය හරහා රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙයි. අනතුරුව ‘ඇතුලේ’ සිට නැවතත් සුපුරුදු ‘වැඩකිඩ’ අරඹයි. ඊට ඇතැම් බලවත් දේශපාලනඥයන්ගෙන් ‘ෆුල්’ සපෝට් එක ලැබේ.
කොළඹට නුදුරින් පිහිටි බන්ධනාගාරයකි. එහි රිමාන්ඩ් බන්ධනාගාරයේ වාට්ටු අංක 03 පිහිටා ඇත්තේ 02 වැනි තට්ටුවේය. එම තට්ටුවට පහළින් ඇත්තේ බන්ධනාගාරයේ මුළුතැන්ගෙයයි. උදේ, දවල් හා රාත්‍රියේ ආහාර පිසින විට පෝරණුවෙන් නැගෙන දැවැන්ත දුම් කඳකින් වාට්ටු අංක 03 පිරී යයි. උසාවියෙන් රිමාන්ඩ්ගත කෙරෙන සියලුම රැඳවියන් බුරුත්ත පිටින් දිනපතා ඇතුළු කෙරෙන්නේ මෙම වාට්ටුවටය. එබැවින් එහි ඇඟිල්ලක් ගසන්නට ඉඩක් නැත. නිදාගන්නට කොහෙත්ම බැරිය. එහා මෙහා ඇවිදීමට නොහැක. මෙය හඳුන්වන්නේ ‘සැමන් ගැසීම’ යනුවෙනි. සැමන් ටින් එකක මාළු අසුරා ඇති ආකාරයට රැඳවියන් කිටිකිටියේ සිරකර තබා යටින් දුම් ගසයි. දුමෙන් තැම්බෙමින්, තෙරපීමෙන් නැගෙන දහදියෙන් නෑවෙමින්, නින්දක් නැතිව අපාදුක් විඳන මොවුන් කරා ‘කාමර පාටිය’ භාර සිරකරුවා පැමිණේ. ඔහු එම බන්ධනාගාරයේ උසස් නිලධාරියාගේ සගයායි.
“හොඳ වාට්ටුවකට දාන්ඩ පුළුවන්. ගාණ ලක්ෂයයි” කාමර පාටි සිරකරුවා පවසයි.
බොහෝ සැකකරුවන් මෙම අපායෙන් ගොඩවන්නේ රුපියල් ලක්ෂයක් බැගින් උසස් නිලධාරියාට ලබා දීමෙන් අනතුරුව බව එහි ‘පොඩ්ඩෝ’ කියති. ඉන්පසු සුවපහසු වාට්ටුවක ජංගම දුරකතන පහසුකම්, දිනපතා දියනෑම, අතපය දිගහැර නිදා ගන්නට පහසුකම් ආදිය ලැබේ. මත්ද්‍රව්‍ය අවශ්‍ය සැකකරුවන්ට ගංජා, හෙරොයින් ඉරීමට හා අරක්කු පානයට පහසුකම් ද සලසනු ලැබේ. රුපියල් ලක්ෂයේ වාසියට ඒ පහසුකම් සැලසෙන්නේ මාසයකට පමණී. එම පහසුකම් දීර්ඝ කර ගන්නට නම් යළිත් රුපියල් ලක්ෂයක් පිරිනැමිය යුතුව තිබේ.
දිවයිනේ බන්ධනාගාරවලට අධිකාරිවරුන් සහ සහකාර අධිකාරිවරුන් පත් කිරීමේ බලය කොමසාරිස් ජෙනරාල්වරුන්ගෙන් ටික කාලයකට හෝ ඉවත් කොට අධිකරණ අමාත්‍යාංශය යටතට එම බලය පවරාගත යුතු යැයි බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ පෙන්වා දෙති. එමගින් බන්ධනාගාර පද්ධතියේ දූෂණ ක්‍රියා බොහෝ දුරට මැඬ පැවැත්විය හැකි යැයි ඔවුහු කියති. ඒ වාගේම සිරගත කැර සිටින ප්‍රධාන පෙළේ අපරාධකරුවන්ගෙන් රටේ ජාතික ආරක්ෂාවට වර්තමානයේ එල්ල වන අභියෝග අඩපණ කළ හැකි බවත් ඔවුහු පෙන්වා දෙති. මේවා සුළුකොට තැකිය හැකි කාරණා නොවේ.
ඉතා දරුණු ගණයේ සිරකරුවන් රඳවා ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ යැයි පැවසේ. බූස්ස, අඟුණකොළපැලැස්ස, ගාල්ල, වැලිකඩ වැනි සංකීර්ණ බන්ධනාගාරයන්හි එබඳු සිරකරුවන් සඟවා ගෙන සිටින දුරකතන පාවිච්චි කළ නොහැකි පරිදි ‘දුරකතන සම්බන්ධතා අවහිර කිරීමේ’ ඡ්‍යධභෑ න්‍්ඵඵෑඍී විසිහතර පැය පුරා ක්‍රියාත්මක යැයි පවසන්නේ උසස් නිලධාරීන්මය. නමුත් එය අසත්‍යයකි. එම බන්ධනාගාර තුළ සිට සිරකරුවන් විවිධ ජාවාරම්වල යෙදෙන බව නිරතුරුව අනාවරණය වෙයි. ඡ්‍යධභෑ න්‍්ඵඵෑඍී විසිහතර පැය පුරා ක්‍රියාත්මක නම් බන්ධනාගාර තුළ සිට අපරාධ සැලසුම් කොට ක්‍රියාත්මක කළ හැකිද? ප්‍රශ්නය ඇත්තේ එතැනය. සැබවින් සිදුවන්නේ ඡ්‍යධභෑ න්‍්ඵඵෑඍී රාත්‍රි 09 සිට 10 දක්වා පැයක කාලයක් ක්‍රියාවිරහිත කැර තැබීමයි. මේ වෙනුවෙන් එම සිරකරුවන් විසින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ප්‍රදානය කරන බව බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ පවසති.
සිරකරුවන්ට පැන යෑමේ අවස්ථා ඉහළ නිලධාරීන් විසින් පාදාගනු ලබන්නේ පරිපාලනයේ ඇතිවී තිබෙන සිදුරකිනි. මේ වනවිට බන්ධනාගාර පරිපාලනය දැඩිව අඩපණ වී තිබේ. ඒ දහසකට වඩා වැඩි නියාමකවරුන්ගේ හිඟය හේතුවෙනි. දිවයින පුරා අධිකරණ ව්‍යුහයේ විභාග වන නඩු සඳහා සිරකරුවන් හා සැකකරුවන් දහසකට ආසන්න ප්‍රමාණයක් දිනපතා රැගෙන යෑම සහ යළි අලුත් සිරකරුවන් හා සැකකරුවන් රැගෙන ඒම සිදුවෙයි. නිලධාරින් හිඟ වීම අධිකරණයට අදාළ නැත. නියමිත නඩු සඳහා සිරකරුවන්, සැකකරුවන් ඉදිරිපත් නොකළහොත් බන්ධනාගාර අධිකාරිවරයාට වරෙන්තු නිකුත් කෙරේ. ප්‍රතිකාර සඳහා විවිධ රෝහල් කරා රැඳවියන් රැගෙන යෑමට සිදුවෙයි. ඊට අමතරව බන්ධනාගාර පද්ධතියේ සිරකරුවන්ගේ හා සැකකරුවන්ගේ දෛනික රාජකාරි බොහෝමයක් තිබේ. අධික නිලධාරි හිඟය, දූෂණය ඉහවහා යන්නට ප්‍රධාන කාරණාවක් වී තිබෙන බව පවසන බන්ධනාගාර ‘පොඩ්ඩෝ’ ජීවිතාන්තය දක්වා සිරදඬුවමට ලක් වී සිටි ‘ගෝමස්’ නමැති සිරකරුවාට කොළඹ ජාතික රෝහලේදී පැන යෑමට අවස්ථාව පෑදුනේ එම සිදුරෙන් යැයි පෙන්වා දෙති.
මේ වනවිට දිවයිනේ සියලුම බන්ධනාගාරවල තදබදය සියයට 175ක් දක්වා ඉහළ ගොස් තිබේ. කොළඹ වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය සියයට 300 ඉක්මවා ගොස් ඇත. අධික සිරකරුවන් හා සැකකරුවන්ගේ තදබදය, ඔවුන්ට අවශ්‍ය දෛනික පහසුකම් ලබාදීමේ ඌනතා හා නිලධාරි හිඟය මැද එල්ල වන පීඩනය මගින් දූෂණය පෝෂණය වී තිබෙන බව මෙම තොරතුරු අනුව පෙනී යයි.
තව කොටසක් ලබන සතියේ
අනුර හොරේෂස්