Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉක්මනින්ම කෝටිපතියෝ වෙන්න බූලා – රවී කමල් කුරුප්පු අවසන් ගමන් යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉක්මනින්ම කෝටිපතියෝ වෙන්න බූලා – රවී කමල් කුරුප්පු අවසන් ගමන් යවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ඉක්මනින්ම කෝටිපතියෝ වෙන්න බූලා – රවී කමල් කුරුප්පු අවසන් ගමන් යවයි

July 6, 2025
529 Views

කුරුණෑගල කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය

පෙම් හුටපටයකට පහර දුන්නැයි කියා පරණ කෝන්තරයකුත් තිබිලා

ඝාතනය සිදුකර ජීප් රථය රැගෙන යන හැටි සී.සී.ටී.වී.වල

හෝටල් ව්‍යාපාරයට අමතර තවත් ව්‍යාපාර රැසක කමල් කුරුප්පු හිමිකරුවෙක්

තමුසෙව විශ්වාස කරලයි මම මෙතන රස්සාව දුන්නෙ. එහෙම නැතිව තමුසෙට මෙතන වැඩ කරන කෙල්ලොත් එක්ක මඟුල් නටන්න නෙවෙයි. මෙතන වැඩ කරන කෙල්ල අරන් කාමර අස්සෙ රිංගගෙන ඉන්නකොට මං කොහොමද මෙතන පාලනයක් ගෙනියන්නෙ…”

දැඩි ලෙස කෝපයට පත්ව සිටි කමල් කුරුප්පු ආවේගයෙන් කෑගැසුවේය.

“තමුසෙලා දෙන්නවම මං කොච්චර විශ්වාස කළා ද ඒ විශ්වාසය කඩලා දැම්මා. මේ වගේ දේවල් මෙතන වෙන්න බැහැ. මඟුල් නටන්න ඕනෙ නම් මෙතැනින් එළියට බැහැලා පලයව්…”

කෝපයට පත්ව සිටි කමල් කුරුප්පු තම ඉණෙහි බැඳ සිටි බඳපටිය පිටතට ගත්තේය. පාලනය කරගත නොහැකි ලෙස කෝපයට පත්ව සිටි ඔහු බඳපටියෙන් බූලාට සහ සුරංගිට පහර පිට පහර එල්ල කළේය.

“අනේ සර් ගහන්න එපා. මීට පස්සෙ මේ වගේ දේවල් වෙන්නෙ නැහැ. අපි අතින් ලොකු වරදක් වුණේ අපිට සමාවෙන්න…”

සුරංගි මෙන්ම බූලා ද කමල් කුරුප්පු ඉදිරියේ වැඳ වැටෙමින් කන්නලව් කරන්න වූහ.

“උඹලා දෙන්නට මෙතන එකට රස්සාව කරන්න බැහැ. ඒ නිසා මං දැන්ම බූලාව රස්සාවෙන් අස් කරනවා. සුරංගි උඹත් පරිස්සම් වෙලා හිටපං. අවුරුදු ගාණක් තමුන් මෙතන වැඩ කරන නිසා මං පොඩි චාන්ස් එකක් දෙනවා”

ඒ මොහොතේම බූලාව රැකියාවෙන් ඉවත් කිරීමට කමල් කුරුප්පු කටයුතු කළේය. වසර ගණනක් තිස්සේ සුරංගි අවංකව සේවය කළ නිසා තවදුරටත් ඇගේ සේවය ලබාගැනීමට කමල් කටයුතු කළේය.

මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ නලින්ද ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ වූයේ ‘බූලා’ යන අන්වර්ථ නාමයෙන්ය. 29 වැනි වියේ පසු වූ අවිවාහකයකු වූ බූලාට ස්ථිර රැකියාවක් තිබුණේ නැත. ඒ වනවිට විවිධ රැකියා 10-12ක් කර තිබූ ඔහු වහලවල වැහි පිහිලි ගැසීමේ රැකියාව කාලයක සිට කරගෙන ගියේය.

‘බූලා’ව කමල් කුරුප්පු දැන හඳුනාගන්නට ලැබෙන්නේ වහලවල වැහි පිහිලි ගැසීමේ කාර්යක් සඳහා ගොස් සිටියදීය.

“කමල් මහත්තයා මේ රස්සාව ස්ථිර නැහැ. වැඩ ආවොත් සල්ලි හම්බ වෙනවා. නැත්නම් උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නෙ. මට හොඳ රස්සාවක් හොයලා දෙන්නකො. මං කැපවීමෙන් වැඩ කරන්නම්.”

බූලා තම අවශ්‍යතාව කමල් කුරුප්පුට කීවේය. ඒ වනවිට කමල්ට බූලා කෙරෙහි කිසියම් විශ්වාසයක් ගොඩනැඟී තිබුණේය. උත්සාහවන්ත තරුණයකු නිසා ඔහුට තම ව්‍යාපාරයේ රැකියාවක් ලබාදීම සුදුසු බවට ඔහු ඒ වනවිට විශ්වාස කරගෙන සිටියේය.

“හොඳයි මම ඔයාට මගේ හෝටලේ රස්සාවක් දෙන්නම්. හැබැයි අවංකව වැඩ කරන්න ඕනෙ. හොර බොරු කරන මිනිස්සුන්ට මං කැමති නැහැ. දන්නවනෙ මගේ හැම ව්‍යාපාරයක්ම මම බොහොම සාධාරණව කරන්නෙ”

කමල් තම අවශ්‍යතාව ගැන බූලාට පැහැදිලි කිරීමක් කළේය. තමන්ට ස්ථිර රැකියාවක් ලබාදෙන බව ඇසීමෙන් බූලා දැඩි ලෙස සතුටට පත්වුණේය.

කමල් කුරුප්පු කුරුණෑගල නුවර පාරේ මිල්ලව ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකි. කාමර කුලියට දීම මෙන්ම, පුංචි ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට මෙම හෝටලය ප්‍රසිද්ධය. ඊට අමතරව ආහාර ගැනීම සඳහා ද මෙම හෝටලය විවෘතව පැවතිණි.

හෝටල් ව්‍යාපාරයට අමතරව කමල් කුරුප්පු තවත් ව්‍යාපාර කීපයක් සාර්ථකව කරගෙන ගියේය. වාහන විකිණීම, ඉඩම් කැබලි මිලදීගෙන ඒවායේ නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපාරය ද ඔහු ජයටම කරගෙන ගියේය.

මේ ව්‍යාපාර සියල්ල ලාභ ලැබීම නිසා කමල් කුරුප්පු ප්‍රදේශයේ ගජ පොහොසතකු බවට පත්ව සිටියේය. හැමවිටම ඉතාම සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට උත්සාහ කිරීම නිසා ඔහු කා අතරත් හොඳ හිත දිනාගත් පුද්ගලයකු විය. අසරණයන්ට පිහිට වීම මෙන්ම ප්‍රදේශයේ සුබ සාධන වැඩවලට ද නොමසුරුව සහාය දුන් කමල් කුරුප්පු ඉතාම සාර්ථක විවාහ දිවියක් ද ගත කළේය. කමල්ට දාව 14 හැවිරිදි පුත්‍රයකු විය. ඔහුගේ බිරිඳ ද කමල්ගේ ව්‍යාපාරවලට අතහිත දෙමින් ඒවා දියුණු කර ගැනීමට ඉමහත් සහයක් දුන්නාය.

මිල්ලව පිහිටි හෝටලයේ පාලන කටයුතු සඳහා අවංක පුද්ගලයකු නොමැති වීමෙන් කමල් කාලයක් තිස්සේ ලතවුණේය. ‘බූලා’ තම හෝටලයේ පාලන කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීමට සුදුසු පුද්ගලයකු බව සිතූ ඔහු වැඩි දවස් නොගොස් ඔහු සේවයට බඳවා ගත්තේය. ඒ මීට මාස 06කට පමණ උඩදීය.

හෝටලයේ කාමර කුලියට දීම, ඒ සඳහා මුදල් ලබාගැනීම, ආහාර පාන සැපයීම පමණක් නොව කාමර පිරිසිදු කිරීම පවා බූලා අතින් සිදුවිය. ඉතාම උනන්දුවෙන් උවමනාවෙන් අවංකව සේවය කිරීම නිසා කමල්ට බූලා කෙරෙහි වූයේ විශාල බැඳීමකි. කාලය කෙමින් ගෙවී යන්නට විය. කමල්ගේ හෝටලයේ රැකියාව කරමින් සිටි සුරංගි අවිවාහක තරුණියක වූවාය. අවිවාහකයකු වූ බූලා ද සිටියේ ප්‍රේමය සොයමින්ය.

දවසේ වැඩි කාලයක් එකට රැකියාව කරමින් සිටි බූලා සහ සුරංගි අතර ප්‍රේමයක් දලුලන්නට පටන් ගත්තේය. මේ කිසිවක් කමල් කුරුප්පු දැනසිටියේ නැත. දිනක් කමල්ගේ බිරිඳ හෝටලයට එද්දී බූලා සහ සුරංගි පෙනෙන්නට සිටියේ නැත.

ඔවුන් ගැන විපරම් කරද්දී දෙදෙනාම හෝටලයේ කාමරයක සිටිනු දැකගන්නට ලැබුණේය. කමල්ගේ බිරිඳ ද ඒ මොහොතේ දැඩි ලෙස කෝපයට පත් වූවාය. ඇය සිය සැමියාට මේ බව දැනුම්දීමට කටයුතු කළේ මේ තත්ත්වය ව්‍යාපාරයේ අනාගතයට බලපාන බව හොඳින් තේරුම් ගැනීමෙන් අනතුරුවය.

කමල් කුරුප්පු බූලා සිය හෝටලයේ රැකියාවෙන් නෙරපන්නේ මේ සිද්ධියෙන් පසුවය.

රැකියාවෙන් ඉවත් වුව ද ‘බූලා’ කමල් කුරුප්පු සමග තිබූ මිතුදම අතහැරියේ නැත. එහෙත් බූලා කමල් කෙරෙහි තිබුණේ වෛරයක්. ඒ වෛරයට හේතු වුණේ ඔහු තම පෙම්වතිය ඉදිරියේ තමන්ට බඳපටියෙන් පහර දීම නිසාය.

‘මේ කරපු ජරා වැඩේට මම අවස්ථාවක් ආව වෙලාවට පළිගන්නවා. මිනිහට කොච්චර සල්ලි තිබුණත් මට වැඩක් නැහැ”

බූලා තනිවම කල්පනා කළේය. හෝටල් රැකියාවෙන් ඉවත් වූ පසු ඔහු නැවතත් සුපුරුදු රැකියාවට සම්බන්ධ වුණේය. නිවාසවල වැහි පිහිලි ගැසීමේ කොන්ත්‍රාත් භාරගෙන මුදල් ඉපයීම ඔහුගේ එකම ආදායම් මාර්ගය විය.

වැහි පිහිලි ගැසීමේ කාර්ය සඳහා බූලාට ස්ථිර සහායකයකු සිටියේ නැත. බූලාට රවී මුණගැසෙන්නේ මේ අතරතුර දීය. රවී යනු 19 හැවිරිදි වියේ පසු වූ ළා බාල තරුණයෙකි.

රවීගේ වැඩිමහල් සොහොයුරිය විවාහ ගිවිසගෙන සිටියේ බූලා පදිංචි නිවසට යාබද නිවසකය. සිය සොහොයුරියගේ නිවසේ තාවකාලිකව නැවතී සිටි රවී රැකියාවක් සොයමින් කල්ගත කළේය.

බූලාගේ වැහි පිහිලි ගැසීමේ රැකියාවට රවී සම්බන්ධ වන්නේ ඔය අතරතුර දීය. වැඩිකල් නොගොස් මේ දෙදෙනා ගජ මිතුරන් බවට පත් වුණේය.

“මේ වැහි පිහිලි ගහන ජොබ් එකෙන් ඒ හැටි ලාභයන් එන්නෙ නැහැ. අපිට යහමින් සල්ලි හම්බ වෙන වැඩක් කරන්න ඕනෙ. සල්ලි තියනවා නම් ඕනෙ දෙයක් කරන්න පුළුවන්…”

බූලා සිය මිතුරා වූ රවීට කීවේය. දවසේ වැඩකටයුතු නිම වීමෙන් පසු බූලා සහ රවී බියර් පානය කරමින් වෙහෙස නිවා ගැනීමට පුරුදුව සිටියහ. එසේ සම්බන්ධ වන හැම මොහොතකම මේ දෙදෙනාගේ එකම මාතෘකාව වූයේ එකවර ලොකු මුදලක් උපයා ගන්නා ආකාරය ගැනය.

දිනක් ‘බූලා’ අලුත් යෝජනාවක් ගෙනාවේය.

“මල්ලි හොඳ වැඩක් තියනවා කරනවා නං මේක කළොත් අපි දෙන්නම ගොඩ…”

බූලා කීවේය.

“මොකක් ද අයියේ උඹ දන්නවනෙ ඕනම දේකට මං ඉන්නවා. අපි මේ වැඩේ කරමු. අපිට ලොකු ගාණක් එනවානම් ඕනෙ එකක්.”

රවී බූලාට එසේ කීවේ ඔහුගේ විශ්වාසය දිනා ගැනීමේ අරමුණෙන් යුතුවය.

“මං කලින් වැඩ කරපු හෝටලේ අයිතිකාරයා සල්ලි කඳක්. මිනිහා රුපියල් ලක්ෂ 60-70ක් විතර වටිනා රත්ත්‍රන් බඩු පොරවගෙන ඉන්නෙ. මං එහෙ වැඩ කරන දවස්වල මේවා දිහා ඇහැ ගහගෙන හිටියේ. මිනිහා මා එක්කම කිව්වා අතේ දාගෙන ඉන්න බ්‍රේස්ලට් එක පවුම් 10යි. කරේ මාලෙ පවුම් 10 ඇඟිලිවල මුදුයි කෝටියක් විතර වටිනවා කියලා…”

බූලා තම කලින් රැකියාවේ ස්වාමියා ගැන විස්තර රවීට කීවේය.

“කමල්ව අරගෙන ගිහින් සුද්දයක් දුන්නොත් අපට කෝටිපතියෝ වෙන්න පුළුවන්. අනික මට මිනිහා එක්ක පරණ ඇරියස් එකකුත් තියනවා. මගේ කෙල්ල ඉස්සරහාපිට ඌ මට හොඳටම ගැහුවා. මං එදා හිතාගත්තා මේකට කවදහරි පළිගන්නවා කියලා. කමල්ව උස්සගෙන ගියොත් මගේ අරමුණු දෙකම ඉෂ්ට වෙනවා”

බූලා තම සගයා වූ රවීට කීවේය. බූලා කරන්න යන මහා අපරාධයේ බරපතළකම ගැන කිසිම දැනුමක් නොතිබූ රවී ඊට එකපයින්ම කැමති වුණේය. අපරාධයක් සිදුකර සැඟවී සිටීම පහසු කටයුත්තක් නොවන බව තේරුම් ගැනීමටවත් රවීට හෝ බූලාට දැනුමක් තිබුණේ නැත.

“අපි මේකට හොඳ ප්ලෑන් එකක් ගහමු. පොලිසියට කොටු වෙන්නෙ නැති වැඩක් දුන්නොත් අපිට නිදහසේ ඉන්න පුළුවන්…”

දින කීපයක් තිස්සේ රවී සහ බූලා තම සැලසුම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට වූහ.

“හෝටලෙන් අයින් කළාට මම කමල් එක්ක තියන සම්බන්ධය අයින් කළේ නැහැ. ඒ නිසා මං කියන ඕනෙම වෙලාවක ඕනෙම තැනකට මිනිහා එනවා. ඒක අපට ලොකු චාන්ස් එකක්” බූලා කීවේය.

“අලුතෙන් හදන්න ගෙයක් භාර දෙන්න තියනවා කියලා මං මිනිහව මගට ගෙන්න ගන්නම්. අපි වාහනේ ඇතුළෙදිම මිනිහගෙ බෙල්ල මිරිකලා ඉවරයක් කරලා දාමු. මිනිහා එල්ලිලා මැරුණා කියලා පේන්න කොහෙහරි කැලෑවක මිනිය එල්ලමු…”

බූලා සිය සගයාට කීවේය. පුද්ගලයකු එල්ලා මැරුවා ද මරා එල්ලුවා ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවන බව පවා නොදත් මේ මෝඩ පුද්ගලයන් දෙදෙනා කමල් මරා දැමීමේ සැලසුම සකස් කළේය.

කමල් රැගෙන ගොස් ඝාතනය කිරීමට සුදුසු ස්ථානයක් සොයා දින කීපයක් විවිධ ප්‍රදේශවල මොවුන් සැරි සැරුවෝය. පිලැස්ස ප්‍රදේශයේ පාළු ස්ථානයක පිහිටි වෙන්දේසි ඉඩමක් සොයාගත් බූලා සහ රවී කමල් ඝාතනය කිරීමට සුදුසුම ස්ථානය බව තීරණය කළහ.

මේ අතර කමල් මරා දැමීමට අවශ්‍ය කරන මෙවලම් කීපයක්ම මොවුන් මිලදී ගත්තෝය. නයිලෝන් ලණුවක් මිලදී ගත්තේ කමල් ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් බව ඒත්තු ගැන්වීම සඳහාය. ඊට අමතරව ගෙල සිර කිරීමට අවශය ලණුවක් මෙන්ම රබර් අත්වැසුම් හතරක් ද මිලට ගත්හ. හදිස්සියේ කමල් කලබල කළහොත් ඔහුට පිහියෙන් ඇන මරා දැමීමට අවශ්‍ය තියුණු පිහියක් ද බූලා මිලට ගත්තේය.

කමල් කුරුප්පු ඝාතනය කිරීමේ මහා අපරාධය සඳහා දිනයක් වෙන් කරගන්නට බූලා සහ රවී කටයුතු කළහ.

“ලබන 25 වැනිදා අපි වැඩේ කරමු. මේවා කල් අරින්න හොඳ වැඩ නෙවෙයි. ඉක්මන් වුණොත් අපි දිනුම්” බූලා කීවේය. ඒ අනුව ජුනි මස 25 වැනිදා උදෑසන කමල් කුරුප්පු මරා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ගත්හ.

ස්ථිර රැකියාවක් ලබාදී යහපත් පුරවැසියකු කිරීමට උත්සාහ කළ බූලා නමැති පාපතරයා තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බව නොදත් කමල් කුරුප්පු ඔහු සමග දිගටම මිත්‍ර සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය.

කමල් ඝාතනයට පෙර දින රාත්‍රියේ ද බූලා සහ රවී එකට මුණ ගැසුණෝය. පසුදින තමන් සිදුකරන්නට යන මහා අපරාධය ගැන ඔවුන් අවසන් සාකච්ඡාව ද පැවැත්වූහ.

“හෙට උදේ 9.00 වෙනකොට අපි හම්බවෙන්න ඕනෙ. කමල්ව පිලැස්සට අරගෙන ගිහින් වැඩේ කරමු. උඹ ජීප් එක පිටිපස්සට නැඟලා ලණුව දාලා බෙල්ල හිරකරපං මං ඉතුරු වැඩ ටික බලාගන්නම්”

බූලා තම කල්‍යාණ මිත්‍රයාට කීවේය.

“හරි හරි… ලොකු අයියෙ මං ඒ ටික බලාගන්නම්. අපි වැඩේ හරියට කරමු”රවී කිවේය. පසුදා පහන් විය. තමන් මේ ගෙවා දමන්නේ ජීවිතයේ අවසන් පැය කීපය බව නොදත් කමල් කුරුප්පු දෛනික රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එදින උදෑසනම කමල් මිල්ලෑවේ පිහිටි තම හෝටලය වෙත ආවේය. ඒ තමන්ට අයත් එක්ස්ටේල් වර්ගයේ ජීප් රථයෙන්ය. උදෑසන ආහාරය හෝටලයෙන් ලබාගත් කමල් ඉන් පිටවන්නේ කොණ්ඩය කපා ගැනීමට අවශ්‍ය බව කියමින්ය. කමල් නිතර කොණ්ඩය කපන ස්ථානය වෙත ගොස් තම අවශ්‍යතාව ඉටු කරගනිමින් සිටියදී බූලාගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණේය.

“කමල් මහත්තයා මගේ යාළුවෙක්ගේ ඉඩමක් තියෙනවා පිලැස්සෙ. එයාට ඒකෙ ගෙයක් හදාගන්න ඕන කරලා තියෙන්නෙ. යාළුවත් ඇවිත් ඉන්නෙ. ඒ නිසා දැන්ම පිල්ලෑවට ආවොත් ඒ වැඩේ කතා කරලා ඉවරයක් කරගන්න පුළුවන්” බූලා කමල් කුරුප්පුට කීවේය. ඒ වනවිට බූලා කෙරෙහි කිසිදු අවිශ්වාසයක් කමල් තුළ නොවීය. ඔහු බූලාගේ ඉල්ලීමට කැමැත්ත පළ කළේය. කොණ්ඩය කපා අහවර වීමෙන් පසු කමල් සිය ජීප් රථයේ නැඟී පිලැස්ස ප්‍රදේශයට යන්නට පිටත් වුණේය.

පිලැස්ස ප්‍රදේශයේදී බූලා සහ රවී මඟ රැඳී සිටියෝය. කමල් සිය ජීප් රථය ඔවුන් අසල නතර කළේ කිසිම සැකයකින් තොරවය. බූලා ජීප් රථය ඉදිරිපස අසුනට ගොඩවූ අතර රවී පිටුපස අසුනට නැඟ ගත්තේය.

තමන් මේ යන්නේ මාරයාත් සමග අවසන් ගමන බව නොදත් කමල් බොහොම සැහැල්ලුවෙන් බූලාත් සමග දොඩමලු වෙමින් ගමන් කළේය.

ජීප් රථය පාළු ප්‍රදේශයක පිහිටි වෙන්දේසි ඉඩමක් අසල නතර කළේ බූලාගේ උපදෙස් මතය. ඒ වනවිට පිටුපස අසුනේ සිටි රවී දෑතට අස්වැසුම් දමාගෙන නයිලෝන් ලණුව ද අත දරා ගෙන සිටියේ බූලාගෙන් අවසන් නියෝගය ලැබෙන තුරුය.

“අපි මෙතනින් බැහැල පයින් යමු. මගේ යාළුව ඉඩමට ඇවිත් ඉන්නේ. බූලා එසේ කියන ගමන් රවීට අතින් සංඥා කළේ අවසන් සැලසුම ක්‍රියාත්මක කරන ලෙස කියමින්ය. වහා ක්‍රියාත්මක වූ රවී රියැදුරු අසුනේ සිටි කමල්ගේ ගෙල හරහා නයිලෝන් ලණුව දමා එය තදින් සිරකරන්න පටන් ගත්තේය. කමල්ගේ දෑස් උඩ ඉන්දවිනි.

“මොනවද බං උඹලා මේ කරන්නේ.”

කමල්ට කියන්න ලැබුණේ එපමණකි. ඉදිරිපස අසුනේ සිටි බූලා කමල්ගේ මුහුණට වේගවත් පහර කීපයක් එල්ල කර දෑතින්ම ගෙල සිර කරන්න වුණේය. විනාඩි කිහිපයකින් සියල්ල අවසන් වුණේය. කමල්ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර ජීප් රථය පිටුපස ඩිකියට දමාගත් බූලා සහ රවී වහාම එතැනින් පිටවුණේය.

“අපි දැන් මූව කොහෙ හරි එල්ලන්න තැනක් සොයා ගන්න ඕනෑ. මිනිහා එල්ලිලා මැරුණා කියලා දැන ගත්තම අපි බේරිලා. ඒ නිසා හොඳ තැනක් බලපං මූව එල්ලන්න.

බූලා සිය සගයාට කීවේය. මහ ලොකුවට සැලසුම් සකස් කළද ඒ වනවිට බූලා මෙන්ම රවී සිටියේ ද දැඩි ලෙස භීතියට පත්වය. කරන්නේ කුමක්ද යන්න ඔවුන් දෙදෙනාටම සිහියට එන්නේ නැත. ස්ථාන කිහිපයක්ම පරීක්‍ෂා කළද ඒ තැන්වල කමල්ගේ නිසල සිරුර එල්ලා දැමීමට තරම් සුදුසු තත්ත්වයක නොවීය. අපි දැන් මොකද කරන්නේ. මේ මිනිය අරගෙන තැන් තැන්වල යන්න බැහැ. මොනවා හරි ඉක්මනට කරමු. ගැහෙන හදවතින් යුතුව සිටි රවී කීවේය.

මේක එල්ලන්න තැනක් සොයාගන්න අමාරුයි ඒ නිසා අපි කොහෙ හරි පාළු තැනකට ගෙනිහින් මිනිය වාහනේට දාලා ගිනි තියලා දාමු. වෙන කරන්න දෙයක් නැහැ.

බූලාගේ යෝජනාවට රවී ද කැමති වුණේය. කමල්ගේ නිසල දේහය පටවා ගත් ජීප් රථය ඉබ්බාගමුව ප්‍රදේශයට පැමිණ එහි ඉන්ධන පිරවුම්හලකින් හිස් කෑන් එකකට පෙට්ට්‍රල් ලබාගත්තේය.

“මහව පැත්තට යමු. ඒ පැත්තෙ පාළු ඉඩම් තියෙනවා. අපිට කාටවත් පේන්නේ නැති වෙන්න ජීප් එකට ගිනි තියලා දාන්න පුළුවන්.” බූලා යෝජනා කළේය. ජීප් රිය මහව ප්‍රදේශයට එද්දි දහවල් 1.00 පසුවී තිබිණි. මහව දියබැටේ ගම්මානයේ පාළු ප්‍රදේශයකදී ජීප් රථය නතර කළ බූලා සහ රවී එහි ඩිකියේ තිබූ කමල්ගේ දේහය පිටතට ගෙන එය රියැදුරු අසුනේ තැබීමට කටයුතු කළේ කමල් පැලඳ සිටි පවුම් දහයක අත්පළඳනාව මෙන්ම කරබැඳි පවුම් 10ක රන් මාලය ද බූලා ගලවා ගත්තේය. කමල්ගේ මුදල් පසුම්බිය ජංගම දුරකථනයද ලබාගත් ඔහු තවත් වටිනා දේ තිබේ දැයි විමලිසිමත් වුණේය.

අවසානයේ කමල්ගේ සිරුරට පෙට්ට්‍රල් වත්කළ බූලා ඊට ගිනි තැබුවේය. එකවරම වහා ගින්නක් හටගත් නිසා භීතියට පත්වූ බූලා සහ රවී ජීප් රථයේ දොරවල් වසා දමා ඉන් එම ස්ථානයෙන් පිට වුණේය.

ජීප් රථයේ දොරවල් සියල්ල වසා දැමීම නිසා ඒ තුළ ප්‍රමාණවත් ඔක්සිජන් නොමැති වීමෙන් ගින්න පැතිරුණේ නැත. බූලා සහ රවී සිතුවේ ජීප් රථය දැවී අළුවී යනු ඇතැයි කියාය.

සියල්ල සැලසුම් කර ගත් ආකාරයට ඉෂ්ට කර ගැනීම නිසා කිසියම් අල්පමාත්‍ර සතුටක් ලබා සිටි බූලා සහ රවී මහව ප්‍රධාන මාර්ගය වෙත ආවේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන කිසිදු අරමුණකින් තොරවය.

25 වැනිදා දහවල් වෙද්දි කමල් කුරුප්පුගේ බිරිඳ ඔහු ගැන සොයා බලන්න වූවාය. උදෑසන නිවසින් පිටව ගිය සැමියා ගැන කිසිදු තොරතුරක් නොලද තැන ඇය ඒ ගැන සොයා බලන්නට හෝටලයට ආවාය.

“සර්… උදේ ඇවිත් කෑම කාල කොණ්ඩෙ කපන්න යනවා කියලා ගියා. හෝටල් සේවකයන් කමල්ගේ බිරිඳට කීවෝය. කිසිදු තොරතුරක් නැති තැන ඇය තම සැමියා ගැන පොලිසියට පැමිණිලි කළාය. පොලිසියේ බොහෝ දෙනෙක් කමල් කුරුප්පුව හොඳින් දන්නා හඳුනන නිසා ඔවුන් දැඩි උනන්දුවකින් යුතුව මේ ගැන සොයා බැලීමට උත්සුක වූහ. එහෙත් එදින රාත්‍රිය වනතුරුත් කිසිදු තොරතුරක් නොවීය.

පසුදින එනම් ජුනි 26 වැනිදා දහවල් මහව පොලිස් බලප්‍රදේශයෙන් වැදගත් තොරතුරක් ලැබුණේය. එක්ස් ටේ්‍රල් වරගයේ කළු පැහැති ජීප් රථයක් තුළ අඩක් පිළිස්සී මියගොස් සිටින නාඳුනන පුද්ගලයකුගේ සිරුරක් තිබෙන බවට තොරතුරක් පොලිසියට ලැබුණේය.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය වැඩි වේලාවක් යන්නට පෙර සොයා ගත්තේ ඝාතනයට ලක්ව සිටින්නේ කමල් කුරුප්පු බවය.

කුරුණෑගල ධනවත් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර ජීප් රථයට දමා පිළිස්සූ පුවත ළැව් ගින්නක් මෙන් රට පුරා ප්‍රචාරය වන්නට වැඩි වේලාවක් ගතවුණේ නැත.

මේ අභිරහස් ඝාතනය පිළිබඳ විමර්ශන පැවැත්වීම පොලිසියට ද විශාල අභියෝගයක් විය. වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ව්‍යාපාරිකයා ඝාතනය සෙවීමේ විමර්ශනය සඳහා ඍජුවම සම්බන්ධ වුණේය.

විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 07ක් යෙදවීමට අජිත් රෝහණ මහතා කටයුතු කළේය. මහව, පොල්පිතිගම, මාවතගම, දොරටියාව, කුරුණෑගල පොලිස් ස්ථානවලින් විශේෂ කණ්ඩායම් 7ක් පත් කර ඔවුන් විවිධ පැති ඔස්සේ ඝාතන විමර්ශනය සඳහා යෙදවීමට අජිත් රෝහණ මහතා පියවර ගත්තේය.

මහව පොලිස් බලප්‍රදේශයේ ස්ථානයකට මේ සියලු කණ්ඩායම් කැඳවා විමර්ශනයට අදාළ සියලු උපදෙස් මෙන්ම පහසුකම් ලබාදුන්නේ එමෙන්ම මෙම ඝාතනය සිදුවූ ප්‍රදේශය සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂාව මෙන්ම දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒ ඔස්සේ විමර්ශන පැවැත්වීමට ද විමර්ශකයන් කටයුතු කළහ.

ඝාතකයෝ ව්‍යාපාරිකයාගේ ජීප් රථය රැගෙන යන අයුරු සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී තිබුණ ද එය රැගෙන යන්නනේ කවුද යන්න හඳුනාගැනීමට නොහැකි විය.

මේ අතර ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි සහ පොලිස් පරීක්‍ෂක සුමනවීර ව්‍යාපාරිකයාගේ හෝටලයේ සහ අනෙක් ව්‍යාපාරවල සිටි සේවකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේ කටයුතු ක්‍රියාත්මක කළේ යම් හෝඩුවාවක් ලබාගන්නා අටියෙන්ය.

“බූලා නමැති සේවකයකු සමග ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ ප්‍රශ්නය ගැන පොලිසියට තොරතුරු ලැබෙන්නේ ඔය අතරතුර දීය. කඩිනමින් අපරාධකාරයන් අත්අඩංගුවට ගැනීමට අජිත් රෝහණ මහතාට අවශ්‍ය විය.

මේ අතර දොරටියාව, මාවතගම සහ කුරණෑගල පොලිසියේ නිලධාරීන් ඒකාබද්ධ කර ඔවුන් එක් කණ්ඩායමක් ලෙස පත්කර විමර්ශනය කරගෙන යෑමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් දුන්නේය.

ඒ අනුව මාවතගම පොලිස් ස්ථානාධිපති යූ. එන්. හෙට්ටිආරච්චි, කුරුණෑගල අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුමනවීර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඝාතකයන් සොයා විමර්ශන ක්‍රියාත්මක කළහ.

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාට ව්‍යපාර ආරවුල් තිබේද එසේ නැත්නම් පුද්ගලික ආරවුල් පැවැතියේ ද යන්න කෙරෙහි විමර්ශකයන්ගේ අවධානය යොමුවී තිබිණ.

මේ අතර බූලා නැමැත්තා තවත් අයකු සමග මාවතගම ප්‍රදේශයේ එක්තරා ස්ථානයක මත්පැන් සාදයක් පවත්වා ඇති බවට තොරතුරක් පොලිසිය වෙත ලැබී තිබිණි.

ඒ අනුව දින කිහිපයක් තිස්සේ සිදුකළ විමර්ශනවලදී මාවතගම ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි බූලා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ ඔස්සේ විමර්ශන කළ පොලිසියට මහව ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි රවී ද අත්අඩංගුවට ගැනීමට හැකි වුණේය.

ප්‍රශ්න කිරීම් ඇරඹිණි. මුලින් මුලින් සත්‍ය හෙළී කිරීමට මැළිවූ බූලා සහ රවී අවසානයේ සියල්ල හෙළි කරන්න පටන් ගත්හ.

කමල් කුරුප්පු එක්ක මගේ හිතේ ලොකු වෛරයක් තිබුණා. ඒ වගේම එයා ළඟ ලොකු සල්ලියක් තියෙනවා කියලා මම දැනගෙන සිටියා. කමල් රත්තරන් පොරවගෙන ඉන්නෙ. ඒ රත්තරන් රුපියල් කෝටියක් විතර වටිනා බවත් මම දැනගෙන හිටියා. වෛරය පිරිමසා ගන්නයි රත්තරන් ටික ගන්නයි තමයි සර් මේ ගේම් එක ගැහුවේ.

“බූලා තමන් සිදු කළ මහ පොළොව නුහුලන අපරාධය ගැන එකින් එක විස්තර කරන්න වුණේය.

කමල්ව මරලා රත්තරන් බඩුත් අරන් අපි දෙන්නා කුරුණෑගල ගියා. කුරුණෑගලදී කමල්ගේ චේන් එක විකුණුවා. රුපියල් ලක්‍ෂ 16කට රවීට ලක්‍ෂ 06ක් දීලා ඉතිරි ලක්‍ෂ 10 මම තියා ගත්තා. අපි දෙන්නා ගම්පහ ගියා එතැනින් ජාඇලට ආවා. ජාඇලදී ස්පා එකකට ගියා. එතන හිටිය ලස්සන කෙල්ලො දෙන්නෙක් අරගෙන අපි දවස් කිහිපයක් ඒ දෙන්නා එක්ක ගතකළා.

අපි ගහපු ගේම් එක කවදාවත් අසුවෙන එකක් නැහැ කියලා තමයි හිතුවේ. ඒත් ගමට ආවට පස්සේ සේරම කනපිට පෙරළුණා. පොලිසිය මාව බෙල්ලෙන්ම අල්ලා ගත්තා.

බූලා සහ රවී කමල් කුරුප්පු ඝාතනයේ අගමුල හෙළි කළේ ඒ ආකාරයටය.

දින ගණනක් තිස්සේ සැලසුම් සකස් කර කමල් කුරුප්පු මරා දමා ලබාගත් දෙයක් ඔවුන්ට ඉතිරි උණේ නැත. බූලාට සහ රවීට අවසානයේ සිදු වුණේ මහ උළු ගෙදර තපින්නටය.

සිදු වුණේ රටක් වටිනා අහිංසකයකුගේ ජීවිතය අකාලයේ අහිමිවී යෑම පමණය.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉතාම පරිණත අයුරින් මේ අපරාධයේ විමර්ශන කටයුතු මෙහෙයවීම නිසා කමල් ඝාතනය වී දින දෙක තුනක් ගතවන්නටත් මත්තෙන් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

මාවතගම පොලිස් ස්ථානාධිපති හෙට්ටිආරච්චි සහ පොලිස් පරීක්‍ෂක සුමනවීරගේ කැපවීම සහ දක්‍ෂතාවය නිසාම බූලා සහ රවී අත්අඩංගුවට ගැනීමට හැකිවීම පොලිසියට ගෙනදුන්නේ මහත් ගෞරවයකි.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

චෙම්මිනි !…කුමාරස්වාමිගේ මරණයෙන් වසර 29කට පසු යළි මතු වූ චෙම්මනි සමූහ මිනීවළේ කතාව

ප්‍රාදේශීය පුවත්

ගිනිගත් කහවත්ත කියන කතාව

ප්‍රාදේශීය පුවත්

කතරගම එදා දඩ මස් වෙනුවට බලු මස් අද ගම් කුකුළු මස් වෙනුවට මොනර මස් ?

ප්‍රාදේශීය පුවත්

කතරගම පුරාණය හෙවත් වල්ලිය මුණගැසීම

ප්‍රාදේශීය පුවත්

උසාවි නියෝග වෙනස් කර සැකකරුවන් පැන්නීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok