හලාවත දැදුරුඔය පාලම ආසන්නයේ දී ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී ඊයේ (04දා) පෙරවරු 11.30 ට පමණ සිදුවූ බිහිසුණු රිය අනතුරකින් රියැදුරු ඇතුළු 21 දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස අනතුරට ලක්ව තිබුණේ කොළඹ සිට පේදුරුතුඩුව දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් බව හලාවත මූලස්ථාන පොලිසිය පවසයි.
බස් රථය ගමන් කරමින් තිබිය දී රියැදුරුට එකවර බස් රථය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන දැදුරුඔය පාලමට මීටර් කිහිපයක් ආසන්නයෙන් වූ විශාල මාර ගසක ගැටී ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලබා බස් රථයේ සිරවී සිටි රියැදුරු මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි.
මෙම අනතුර හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට පැයකට අධික කාලයක් බාධා එල්ල වී තිබිණි.
අනතුරින් බස් රථයේ ඉදිරිපස දකුණු පැත්තේ රියැදුරු අසුන ප්‍රදේශයට දැඩි හානි සිදුවී තිබිණි.
රෝහල්ගත කළ පුද්ගලයන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.
හලාවත මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ හලාවත – ස්වර්ණ ශ්‍රී මහවත්ත