බාලවයස්කරු අත්අඩංගුවට
අතවර කරන්නත් උත්සාහ කරලා
මෙහෙව් දේවල් අසනු දකිනු නොලැබේවා…
සේවය නිමවා නිවෙස් බලා යමින් සිටි 26 හැවිරිදි අවිවාහක තරුණියකගේ ගෙල බැඳි රන් මාලය කුරුවිට දෙවිපහළ දොඩම්ඇල්ල ප්‍රදේශය මාර්ගයේදී කඩාගෙන ඇයගේ ගෙල කපා ඝාතනය කර පලා ගිය බාලවයස්කරුවකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි කුරුවිට පොලිසිය පවසයි.
තරුණියගේ ගෙල කපා ඇගේ ගෙල බැඳි රන්මාලය කඩාගෙන ගොස් තිබුණේ පෙරේදා (02 වැනිදා) සවස 6.00ට පමණය. මෙලෙස ඝාතනය කර තිබුණේ කුරුවිට, දෙවිපහළ, හේන්යාය පදිංචිව සිටි ලියනආරච්චිලාගේ ගෙදර ශාලිකා මදුශානි නමැති තරුණියකි.
ඇය කුරුවිට පැරඩයිස් ප්‍රදේශයේ පෞද්ගලික මැණික් කැපීමේ ආයතනයක සේවය කරන අයෙකි.
සිය දියණිය රැකියාව නිමවා නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව දියණියව සොයා මාර්ගයේ ගමන් කර තිබේ. එසේ යනවිට එක් තැනක දියණියගේ සෙරෙප්පුවක් මාර්ගයේ තිබෙනු දැක ඇත. තව ටික දුරක් යනවිට සිය දියණිය ගෙලෙහි ලේ ගලන තුවාල සහිතව වැටී සිටිනු දැක තිබේ. ඒ දර්ශනය දැකීමෙන් කලබලයට පත් මව කෑගසා තිබේ. එහිදී ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ තිබේ. ඒ වනවිටත් තරුණියට පණ තිබී ඇත.
වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ඇය වාහනයකින් රත්නපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගත්හ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඇය මියගොස් ඇතැයි ඥාතීන්ට පවසා තිබේ.
ඇය දිනපතා රැකියා ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරක් පා ගමනින් යන එන බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.
ඝාතනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති 17 හැවිරිදි බාලවයස්කරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු රැසක් හෙළිවී ඇතැයි කුරුවිට පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
එම බාලවයස්කරු තම ලිංගික ආශාවන් තරුණියගෙන් ඉටු කර ගැනීමට ද උත්සාහ දරා ඇති අතර, එහිදී එය ඇය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු මෙම අපරාධය සිදුකර ගෙල බැඳි රන්මාලය කොල්ල කා පලාගොස් ඇතැයි හෙළිවූ බවද හෙතෙම කියා සිටියේය.
අදාළ සැකකරුගෙන් තවදුරටත් ඊයේ පොලිසිය ප්‍රශ්න කරමින් තිබිණි.
ඝාතනයට ලක්වූ තරුණියගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (03වැනිදා) රත්නපුර ශික්ෂණ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි. කුරුවිට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඩී. කේ. කුමාර – කිරිඇල්ල