මරදානේ ව්‍යාපාරිකයා දැලේ
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළඳ සිටින කබාය (Jacket) තුළ සඟවා ගෙන ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත (Red Channel) ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (03දා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ, මරදාන සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පාවහන් ව්‍යාපාරිකයෙකි. ඔහු ඊයේ උදෑසන 09.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිෂ්කාශනය කරමින් සිටියදී ඔහු එතෙක් පැළැඳ සිටි කබාය ගලවා පසෙක වූ පුටුවක දමා තිබේ. මේ පිළිබඳ සැක සිතූ රේගු නිලධාරියා නිෂ්කාශන කටයුතු පසෙක තබා මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරද්දී ඒ තුළ සඟවා ගෙන සිටි කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 847 ක් බර මෙම ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
රේගු නිලධාරීන් මේ පිළිබඳ විමර්ශන කටයුතු නිමා කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතය.
කටුනායක ටී.කේ.ජී. කපිල