ස්වීඩන් ජාතික කාන්තාවක් ඇතුළු තිදෙනෙකුට නාඳුනන පුද්ගලයින් කීප දෙනෙකු විසින් ඊයේ (29) අළුයම 4.00 ට පමණ ඇල්ල නගරයේ පිහිටි සංචාරක හෝටලයක් අසලදී සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එම තිදෙනා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා ඊයේ (29) අලුයම 3.00 ට පමණ ඇල්ල දුම්රිය පොල පාර පිහිටි සංචාරක හෝටලයක රැඳී සිට විනෝද වෙමින් සිටියදීම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ස්වීඩන් තරුණියගේ පසුපස ප්‍රදේශය ඇල්ලීමෙන් පසුව ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇත.
මෙම අවස්ථාවේ පහරදීමට පැමිණි පිරිස හෝටල් කාර්ය මණ්ඩලය විසින් එම ස්ථානයෙන් ඉවත් කර ඇතත් අද අලුයම 4.00 ට පමණ ස්වීඩන් ජාතික තරුණිය පෙම්වතා හා මිතුරා සිද්ධිය ඇතිවූ හෝටලයෙන් පිටව වෙනත් හෝටලයක් වෙත යමින් සිටියදී කලින් පහර දුන් බව කියන පිරිස යළිත් මග රැක සිට මෙම පිරිසට පහර දී ඇත. තිදෙනාම එම අවස්ථාවේම තැලුම් තුවාල සහිතව දියතලාව මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
පහරදුන් පිරිස මෙතෙක් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇල්ල සංචාරක පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
කන්දකැටිය – ජී. චතුරංග