විනාශයට යා නොදී ජනතා පරිහරණයට යොදවන්න – ප්‍රදේශවාසීහු
මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කරන ලද මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ප්‍රධානම නගරය වන දිගන නගරයේ පවතින මගී බස් රථ නැවතුම් පොළේ කෝටි ගණනක ගොඩනැඟිලි හා දේපළ මේ වනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම හේතුවෙන් විනාශයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.
නගර සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ දිගන නගරයේ අලුතින් ඉදිකර ඇති මෙම බස් රථ නැවතුම මීට දශක දෙකකට පමණ පෙර ආරම්භ කර ඇති නමුත් මෙතෙක් කිසිදු ප්‍රයෝජනයට නොගෙන පැවතීම හේතුවෙන් එහි ගොඩනැඟිලි දිරාපත් වෙමින් පවතින බවත් මෙම ගොඩනැඟිල්ල ආශ්‍රිතව විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදුවන බව ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරිකයන් පෙන්වා දෙති.
මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුර ගමන් සේවා සහ නගරාන්තර සේවා බස් රථ දිගන නගරයේ පවතින මෙම බස් රථ නැවතුම ආශ්‍රිතව ගමන් වාර ආරම්භ කිරීමට හා නවතා තැබීමට සැලසුම් කළ ද එය මෙතෙක් ඉටු වී නොමැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
කෙසේ නමුත් මෙම නව බස් රථ නැවතුම කිසිදු ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් කෝටි ගණනක දේපළ මෙම ප්‍රදේශයේ සිටින විවිධ කණ්ඩායම් බලෙන් අත්පත් කරගෙන ඇති බවත් මෙසේ කිසිදු ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් මේ ආශ්‍රිතව විවිධ සමාජ විරෝධී ක්‍රියා රැසකට තෝතැන්නක් වී ඇති බව නගරයේ ව්‍යාපාරිකයෝ ද පෙන්වා දෙති.

මෙම නව බස් පොළ ආශ්‍රිතව පැරණි වාහන කොටස් ගොඩගසා ඇති අයුරු දැකගත හැකි අතර, මෙය විවිධ පෞද්ගලික ආයතනික කටයුතු සඳහා භාවිත කරන බවත් විවිධ පුද්ගලයන්ගේ බලපෑම් මත කිසිදු රාජ්‍ය ආයතනයක් මෙම රථ නැවතුම් පොළේ කටයුතු පිළිබඳව අධීක්ෂණයක් හෝ විදිමත් සැලැස්මකට අනුව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැලිකමක් දක්වන බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. රාජ්‍ය දේපළ මහජන මුදලින් නඩත්තු වන නමුත් මෙලෙස අතහැර දමා පැවතීමෙන් රජය ජනතාවට දැඩි අසාධාරණයක් සිදුකර ඇති බව පෙන්වාදෙන ප්‍රදේශවාසීන් මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකස් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරදෙන ලෙසත්, දිගන නගරයේ පවතින කෝටි ගණනක ගොඩනැඟිලි විනාශ වීම කඩිනමින් වළක්වා ජනතා පරිහරණය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ප්‍රදේශවාසීන් හා ව්‍යාපාරිකයන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන