සත්ත්ව සංගණන වාර්තාව එළිදකී
වඳුරන් දසලක්ෂ හැත්තෑ හතර දහසක්
මොනරුන් ලක්ෂ 44ක්
දඬුලේනුන් විසිලක්ෂයක්
රිළවුන් වැඩිම මහනුවර
එක එක අය විවිධ ගණන් කිව්වට සංගණනයට වියදම රු. ලක්ෂ 52යි – මහාචාර්ය ඒ. එල්. සන්දික
ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට සිදුකරන ලද සත්ත්ව සංගණන වාර්තාව එළිදක්වමින් රට තුළ රිළවුන් පනස් ලක්ෂ දහහත් දහසක් (50,17000) සිටින බව එම සංගණනය සම්බන්ධයෙන් පත් කළ කමිටුවේ සාමාජික මහාචාර්ය ඒ.එල්. සන්දික මහතා ඊයේ (12දා) අනාවරණය කළේය.
මෙම සංගණනයට වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ පනස් දෙකකට (52) ආසන්න මුදලක් බව ද කමිටුව එහිදී කියා සිටියේය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මගින් වගාවන්ට හානි සිදුකරන රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා සම්බන්ධයෙන් සිදුකරන ලද සංගණන වාර්තාව එළිදැක්වීම ඊයේ (12දා) එම අමාත්‍යාංශයේදී සිදුවිය.
සංගණනය සිදුකිරීමට පත් කළ කමිටුව මගින් වාර්තාව එළිදැක්වීම සිදුවූ අතර එහිදී කමිටු සාමාජික, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක මහාචාර්ය ඒ.එල්. සන්දික මහතා කියාසිටියේ සංගණනයට අනුව රිළවුන් මිලියන පහයි දශම එකයි හතක් (5.17), වඳුරන් මිලියන එකයි දශම හතයි හතරක් (1.74), දඬුලේනුන් මිලියන දෙකයි දශම හයයි හයක් (2.66), මොනරුන් මිලියන හතරයි දශම දෙකයි හතරක් (4.24) ක් සිටින බවට වාර්තා වූ බවයි.

රිළවුන් වැඩිම දිස්ත්‍රික්කය මහනුවර ලෙස (634,668ක්), වඳුරන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස අනුරාධපුරය (160,315ක්), දඬුලේනුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (546,715ක්) සහ මොනරුන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස කුරුණෑගල (621,517ක්) හඳුනාගෙන ඇතැයි ද ඒ මහතා කීය. මෙම සතුන් අඩුම දිස්ත්‍රික්කය ලෙස යාපනය හඳුනාගෙන ඇති බවත් එහි රිළවුන් 689ක්, දඬුලේනුන් 1,309ක්, මොනරුන් 1,370ක්, වඳුරන් 2,127ක් සිටින බවට හඳුනාගත් බවත් ඒ මහතා කීය.
රිළවා – මහනුවර, කෑගල්ල, අනුරාධපුරය, පොළොන්නරුව (පූජා භූමි ආශ්‍රිත වැඩි වශයෙන්), වඳුරා – හම්බන්තොට, පොළොන්නරුව, අනුරාධපුරය (පූජා භූමි ආශ්‍රිතව වැඩි වශයෙන්), දඬුලේනා – කුරුණෑගල සහ මොනරාගල, මොනරා – අනුරාධපුරය, මොනරාගල ඇතුළු වියළි කලාපයේ වැඩි වශයෙන් සිටින බව නිරීක්ෂණය වූ බව ද ඒ මහතා කීය. මෙම දත්ත ආශ්‍රිතව විශ්වවිද්‍යාල මගින් තවදුරටත් සංගණනය කර දත්ත ඉදිරිපත් කිරීමේ ඉඩප්‍රස්තාව විවර වන බව ද ඒ මහතා කීය.
අපේ රටේ සත්ත්ව සංරක්ෂණය පිළිබඳ පනතක් තිබුණත් සතුන් කළමනාකරණය කිරීමට පනතක් නොමැති බවත් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් කමිටුව නිර්දේශ කර තිබෙන බව ද ඒ මහතා පැවසීය.
මේ වසරේ (2025) මාර්තු 15 වැනිදා සිදුකළ මෙම සත්ත්ව සංගණනය සඳහා විශාල මුදලක් වැය කර ඇති බවට විවිධ පාර්ශ්ව ප්‍රකාශ කළත් සංගණනයට අදාළ පෝරම මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට රුපියල් විසිහතර ලක්ෂ හැත්තෑඅට දහසක් ද (2,478,000), බෙදාහැරීම් කටයුතු සඳහා රුපියල් විසිහත් ලක්ෂ දහසය දහස් තුන්සිය දහහතරක් ද (2,716,314) වැය වී ඇතැයි එම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ (තාක්ෂණ) හේමන්ත අමරසිංහ මහතා ප්‍රකාශ කළේය. පෝරම ලක්ෂ හැත්තෑ අටක් මුද්‍රණය කළ බවත් එක් පෝරමයක් සඳහා වැය වී ඇත්තේ ශත 30ක් බවත් ඔහු කීය.
එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි මෙම සංගණනයේදී වඳුරා, රිළවා වගාබිම්වල පමණක් නොයයි. ගෘහ ආශ්‍රිත මෙන්ම පූජා භූමි ආශ්‍රිතවත් සිටින බව හඳුනා ගත්තා. මේ කමිටුව ඉදිරියේදී සිදු කළ යුතු නිර්දේශ කිහිපයක් පෙන්වා දුන්නා. කසළ කළමනාකරණයේ දුර්වලතා නිසා සත්ත්ව ගහනය වැඩිවීම විශේෂයෙන් ගෘහ ආශ්‍රිත සහ පූජා භූමි ආශ්‍රිත කසළ නිසි කළමනාකරණයකින් සිදු කළ යුතු බව පෙන්වා දී තිබෙනවා.
ඒ වගේම වන්ද්‍යාකරණය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වන සත්ත්ව ආරක්ෂණ පනතක් තිබුණත් වනජීවීන් වැඩි වන විට එය කළමනාකරණය කිරීමට නීති රෙගුලාසි සම්පාදනය කිරීම, එහිදී පරිසරයට දරාගත හැකි ආකාරය සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකර අවශ්‍ය පියවර ගැනීම, ඒ වගේම ආහාර දාමයේ සමතුලිතතාවන් බිඳවැටීම, (උදාහරණ මොනරා වැඩිවීමට නරියන් අඩුවීම), භෝග ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා භෝග කමිටු පිහිටු වීම, සතුන් පලවා හැරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහාය ලබාගැනීම සහ සතුන් එළවා දැමීමට අඩු වියදම් ක්‍රම හඳුන්වා දෙන ලෙස ඇය සත්ත්ව සංවිධානවලින් ඉල්ලා සිටියාය. එමෙන්ම කෙටි, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් කමිටුව මගින් ඉදිරිපත් කර ඇතැයි ද ඇය කීවාය.
චමින්ද සිල්වා, ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත