බන්ධනාගාරගත කර දින 10න් මුදාහැරිය වරදකරු රටින් පැනලා
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්
ඇප ඉල්ලීම ඉවතට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් යළි ඇතුළට
අල්ලස් හෝ අනිසි ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ජනාධිපති පොදු සමාවට මුවාවී අධිකරණය විසින් දඬුවම් නියම කළ සිරකරුවන් අනීතික ලෙස නිදහස් කිරීමේ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් අධිකරණය පවා විස්මයට පත්වන ආකාරයේ තොරතුරු ඉදිරි නඩු දිනයේදී ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (11දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඉදිරියේ පැවැසීය.
විමර්ශන ආරම්භ කොට දින කීපයක් ඇතුළත අනාවරණය කරගත් එකී රහස්‍ය තොරතුරු, බන්ධනාගාර තුළ ක්‍රියාත්මක සිරකරුවන් අනීතික ලෙස මුදාහැරීමේ සංවිධානාත්මක ජාවාරම පිළිබඳ මනාව කියාපාන්නේ යැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය. විමර්ශන අවසන් වී නොමැති බැවින් මේ මොහොතේ ඒවා අනාවරණය කළ නොහැකි බවත් ඉදිරි සති දෙක තුළ ඒවා අනාවරණය කළ හැකි බවත් පැවැසීය. බන්ධනාගාර ගතකර දින 10ක් ඇතුළත අනීතික ලෙස මුදාහැර ඇති අතුල තිලකරත්න නමැත්තා මේ වනවිට රටින් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු එකී ජාවාරමට සම්බන්ධ පිරිස් අදාළ ලේඛන විනාශ කිරීමට වෑයම් දරන බවට තොරතුරු ලැබී ඇති බැවින් අවම වශයෙන් සති දෙකක කාලයක් හෝ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර විමර්ශනවලට අවශ්‍ය සහය ලබාදෙන ලෙසට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.
එකී කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය සැකකාර තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කොට එම සැකකරු ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ඊයේ (11දා) පස්වරුවේ නියෝග කළාය.
වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් නිදහස් කිරීමට 37 දෙනකුගෙන් සමන්විත පිරිසකගේ නාම ලේඛනයක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් පසුගිය 11 වැනිදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කොට ඇති බවත්, කෙසේ නමුත් එම නාමලේඛනයේ සඳහන් පිරිස අතරින් 36 දෙනකුගේ සිර අංක පමණක් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කොට ඇති බවත් එකී නාම ලේඛනයේ නොතිබූ සිර අංකයක් ඇතුළත් කොට 37 දෙනකුගේ නාම ලේඛනයක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කොට ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියට පැවසීය. යම් අධිකරණයක් විසින් දඬුවම් නියම කර තිබියදී අදාළ සුදුසුකම් සපිරීමෙන් පසුව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලබන සිරකරුවන් සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් එකී අධිකරණ වෙත වාර්තා කිරීමට බන්ධනාගාර නිලධාරීන් වගබලා ගත යුතුව ඇතත් ඔවුන් එකී වගකීම ඉටුකර නොමැති බවද අධිකරණයට පැවැසීය.
ජනාධිපති පොදු සමාව යටතේ ජනාධිපතිවරයා විසින් සිරකරුවන් නිදහස් කරනා නිර්ණායක හතර සම්බන්ධයෙන් ද එහිදී ඉතා සවිස්තරව අධිකරණයට පහදා දුන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී නිර්ණායක සිය අභිමතය පරිදි සකස් කර සිරකරුවන් අනීතික ලෙස නිදහස් කිරීමෙන් සැකකාර හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් අධිකරණ ක්‍රියාදාමයට අයුතු මැදිහත්වීමක් කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා සිදුකර ඇතැයි ද පැවසීය.
සිරකරුවන් නිදහස් කිරීමට අදාළව පසුගිය 11 වැනිදා සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවට බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාවේ දිනයක් හෝ අංකයක් නොමැති බවද අධිකරණයට පැවැසූ දිලීප පීරිස් මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරේ වසර හයක කාලයක් කටයුතු කළ සැකකරු, ආයතන ප්‍රධානියා ලෙස චක්‍රලේඛ නිකුත් කරනා ආකාරය පවා නොදැන්නේ දැයි විමසා සිටියේය.
අධිකරණයේ ස්වාධීනත්වයට හා අධිකරණ ආධිපත්‍යයට ද බලපෑම් කරන මෙවැනි අනීතික ක්‍රියා සම්පූර්ණයෙන්ම වළකා දැමීම සඳහා නිසි පියවර ගත යුත්තේ යැයිද අධිකරණයට පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කාලයක් තිස්සේ සිදුවී ඇති එකී අක්‍රමිකතා අනාවරණය කිරීමට විමර්ශන නිලධාරීන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුව ඇතැයි ද පැවසීය.
සිය සේවාදායකයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කළ හැකි කිසිදු සාක්‍ෂියක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කොට නොමැති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකරු ඇපමත මුදාහරින්නයි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව විමර්ශන අවසන් කිරීමට පෙරම සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව අධිකරණයට පැවැසූ සැකකරුගේ නීතිඥවරයා සාක්‍ෂිවලට බලපෑම් තිබෙන බවට හෝ මහජන කැලඹීමක් ඇති බවට තොරතුරු අනාවරණය වී නොමැති බැවින් සැකකරු ඇපමත මුදාහරින්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති අංශයේ සහකාර පොලිස් අධිකාරි සෝමසිරි මහතා සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.
ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු, නීතිඥ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක