අනුරපුර-මිහින්තලේ-තන්තිරිමලේ අද දවස පුරා පොසොන් පින්කම් රැසක්
සම්බුද්ධ දර්ශනය මෙරටට දායාද කළ අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිදු වූ පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමස්ථානය, මිහින්තලේ රජමහා විහාරස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය ඇතුළු සිද්ධස්ථානවලදී අද (10දා) දවස පුරා මිහිඳු මාහිමි ගුණ සමරා විශේෂ පිංකම් රැසක් පැවැත්වීමට අනුරාධපුර රාජ්‍ය පොසොන් උත්සව කමිටුව පියවර ගෙන ඇත.
දෙවසරකට පසුව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය මත පැවැත්වෙන පොසොන් උත්සවය අනුරාධපුර අටමස්ථානාධිපති නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන සහ තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්දරතන යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා මත අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රාජ්‍ය පොසොන් උත්සව කමිටුවේ සභාපති රංජිත් විමලසූරිය මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කොට ඇත.
මේ අනුව ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් මෙවරද පොසොන් උත්සවය සැමරීමට සැදැහැවතුන් විශාල පිරිසක් මේ වන විට විටත් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ යන සිද්ධස්ථානවලට පැමිණ සිටිති.
‘අනුබුදු දහමින් ලොව නැහැවේවා’ යන තේමාව පෙරදැරිව මෙවර පොසොන් උත්සවය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහ නගර සභාව, මිහින්තලේ සහ මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක් එක්ව සංවිධානය කොට තිබේ.
මේ නිමිත්තෙන් පැවැත්වෙන පිංකම් සඳහා සහභාගිවීමට දිවයිනේ නන් දෙසින් විසි ලක්ෂයකට අධික සැදැහැවතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන පොසොන් උත්සව කමිටුව පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් පානීය ජලය, ආහාර හා සනීපාරක්ෂක සේවා නොපිරිහෙළා සැපයීමට පොසොන් උත්සව කමිටුව පියවර ගෙන තිබේ. මේ අතර අනුරාධපුර ප්‍රදේශය පුරා ආරක්ෂාව තර කොට ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය.
මිහින්තලේ රජමහා විහාරස්ථානයේ පිංකම්වලට අද පෙරවරුවේ සහභාගි වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විසින් නිල වශයෙන් රාජ්‍ය පොසොන් උත්සවය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. අද සවස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා ආලෝක පූජාව විවෘත කිරීමට නියමිතය.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු සහ මිහින්තලේ – රංග චතූ