ක්‍රයිම් ඕඅයිසී ඇතුළු බේරුවල පොලිසියේ 3ක් රෝහලේ:
සැකපිට 5ක් රිමාන්ඩ්
බේරුවල පොලිසියේ නිලධාරීන් පිරිසක් පෙරේදා (09දා) රාත්‍රී 8.15 ට පමණ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන එමින් සිටියදී බේරුවල ධීවර වරාය අසලදී ඇතිවූ ආරවුලකින් පසු පිරිසක් විසින් පහර දීම නිසා පොලිස් නිලධාරීන් තිදෙනකු තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය කියයි.
මෙම පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ බේරුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මධුසංක (අවු.36), පොලිස් සැරයන් (40588) උපුල් (අවු.42) හා පොලිස් සැරයන් (53241) සිල්වා (අවු.51) යන තිදෙනායි.
සැකකරුවන් පොලිස් නිලධාරීන්ට අතින් පයින් හා හෙල්මට්වලින් පහරදී ඇත. එම පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ උඩ ඇන්දේ දත් දෙකක් කැඩී ගොස් ඇති බවත් සැරයන් සිල්වා මහතාගේ නිල ඇඳුම ඉරී සීරීම් තුවාල සිදුවී ඇති බවත් පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් බේරුවල, මරදාන ප්‍රදේශයේදී වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගෙන ආපසු එමින් සිටියදී බේරුවල ධීවර වරාය අසල සිරිනිවාස මාවත ආසන්නයේදී පෞද්ගලික බසයක් හා ලොරියක් හේතුවෙන් මාර්ග තදබදයක් ඇති වී තිබේ. එය නිවැරදි කිරීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයා සමග බීමත් ලොරි රියැදුරු බහින්බස් වීමක් ඇති කරගෙන ඇති බවත් ලොරි රියැදුරුගේ කැඳවීමෙන් ආ වරාය අසල සිටි පිරිස පොලිස් නිලධාරීන්ට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
මෙම පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වූ බේරුවල ධීවර සංගමයේ සභාපති බව කියන අයකු සහ ඔහුගේ පුත්‍රයා ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර සෙසු සැකකරුවන් 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියට අදාළ ලොරි රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (10) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර, පොලිස් අධිකාරී රවිඳු සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ