නීතිපති උසාවියට කියයි
වැඩ තහනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අද තෙක් රිමාන්ඩ්
අධිකරණය මගින් වරදකරුවන් කරනු ලබන සිරකරුවන් ජනාධිපති විශේෂ පොදු සමාව ලබා ඇති බවට අසත්‍ය ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණය වෙත අසත්‍ය වාර්තා සැපැයීම සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ, මේ වනවිට වැඩ තහනමට ලක්කර ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය මහතා අද (11දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (10දා) නියෝග කළේය.
එම සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.
පසුගිය වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් නියමිත කොන්දේසි සපුරා තිබූ දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29 ක රඳවා සිටි සිරකරුවන් 338 දෙනකු අතරින් පෙර කී සිරකරුවන් දෙදෙනා අනීතික ලෙස මුදාහැර ඇති බව මෙතෙක් සිදුකළ විමර්ශන අනුව අනාවරණය වී ඇති බවත් අධිකරණයට පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා 2024.12.25 වැනිදා නත්තල් උත්සවය වෙනුවෙන් සිරකරුවන් 332 ක්ද, 2025.02.04 වැනි දින නිදහස් උත්සවය යටතේ සිරකරුවන් 274 දෙනකු ද ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි කියා සිටියේය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා අනුමත නොකළ නියමිත කොන්දේසි සපුරාලනු නොලැබූ 57 දෙනකු නත්තල් උත්සවයේදී ද, තවත් 11 දෙනකු නිදහස් උත්සවය නිමිත්තෙන් ද නිදහස් කර ඇති බව මෙතෙක් සිදු කළ විමර්ශන අනුව අනාවරණය වී ඇතැයි පැවැසූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, විමර්ශන අවසන් වී නොමැති බැවින් මෙම සැකකරු ඇප මත මුදා නොහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙකී ක්‍රියාකලාපය අනුව තමන් පෙර සඳහන් කළ පරිදිම නීතියේ ආධිපත්‍යයට එපිටින් ගිය පාලන තන්ත්‍ර රටේ බන්ධනාගාර තුළ, පොලිසිය ඇතුළු ආයතනවල ගොඩනඟාගෙන නීතිය අතට ගෙන කටයුතු කරනා බව මනාව පැහැදිලි වන්නේ යැයි ද අධිකරණයට පැවැසූ දිලීප පීරිස් මහතා, එකී අනීතික බළකොටු බිඳ දැමීමට නීතිපතිවරයාට හා විමර්ශන නිලධාරීන්ට අධිකරණ පද්ධතියේ සහය අවශ්‍ය බව ද පැවැසීය.
රට පුරා තිබෙන සියලුම බන්ධනාගාරවල සේවය කරන බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ගේ වත්කම් – බැරකම් පිළිබඳ සොයා බැලීමට වෙනම විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාව මතුව ඇතැයි ද දිලීප පීරිස් මහතා අධිකරණයට පැවැසීය.
සැකකාර තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක