ජාතික තරුණ සේවා සභාව මගින් ඉකුත් වර්ෂයේ මුල් මාස අටේදී තාරුණ්‍යය පීඩාවෙන් මුදා ගැනීම සඳහා වූ වැඩසටහන් 06ක් පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 538.79ක මුදලක් වැය කර තිබූ අතර එම මුදල් නිලධාරින්ගෙන් අය කර ගැනීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
මෙකී වැඩසටහන් පැවැත්වීමේ දී රජයේ ප්‍රසම්පාදන, මාර්ගෝපදේශ, නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව හා නීතිමය කටයුතු සිදුකිරීමට ද විගණනය මගින් නිර්දේශ කර ඇත.
2024 පූර්ව ජනාධිපති මැතිවරණ කාලපරිච්ජේදය වූ 2024 ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා වූ මාස අටක කාලයේ දී තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම සඳහා වූ වැඩසටහන් 06ක් සඳහා මෙම මුදල වැයකොට තිබුණි. මෙම වැඩසටහන් යටතේ ස්මාර්ට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උළෙල, ජාතික තුරුණු පොසොන් කලාපය, තරුණහමු වැඩසටහන්, දෙසැම්බර් 31 රාත්‍රී ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා තිබුණි.
මෙකී වැඩසටහන් සඳහා තවදුරටත් රුපියල් මිලියන 45.29ක මුදලක් ගෙවීමට තිබුණි. මෙම වැඩසටහන් කිසිවක් ජාතික තරුණසේවා සභාවේ ප්‍රමුඛතා කාර්යයන්වලට අදාළ වැඩසටහන් නොවූ අතර ඒවා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ඇතුළත් වී නොතිබුණි. මෙම වැඩසටහන් සඳහා රුපියල් මිලියන 493.25ක මුදලක් ලබා දීමට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අනුමත කර තිබුණි. එහෙත් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 74.20ක මුදලකි. ඉතිරි වියදම වන රුපියල් මිලියන 464.59ක මුදලක් තරුණ සේවා සභාවේ වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගී කර ගෙන ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
ලලිත් චාමින්ද