ආනයනකරුවන් පිරිසකගේ කල්ල මරේ!
දේශීය සීනි කර්මාන්තශාලා දෙකක පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරන වැට් බදු රුපියල් තිහකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටී.
ඒ අනුව එම සීනි කිලෝවක් සඳහා මෙතෙක් පැවති රුපියල් 50.00 වැට් බද්ද රුපියල් 80.00 දක්වා ඉහළ යනු ඇත.
මහා භාණ්ඩාගාරයේ එම සූදානම හමුවේ සීනි තොග විශාල වශයෙන් සඟවාගෙන අධික ලාභයක් ලැබීමට ආනයනකරුවන් පිරිසක් කටයුතු කරන බව පිටකොටුව තොග වෙළෙඳපොළ ආරංචිමාර්ග ‘දිවයින’ ට හෙළි කළේය. ඔවුන් සතුව සීනි තොග ටොන් හැටදහසක් ඇති බව පැවසේ.
ආනයනික සීනි කිලෝවකට රුපියල් 80ක වැට් බදු පැනවූ පසු සීනි තොග හා සිල්ලර මිල ඊට සාපේක්ෂව ඉහළ යන අතර අඩු වැට් බදු යටතේ ආනයනය කළ සීනි විශාල තොගය වැඩි මිලට අලෙවි කිරීමෙන් ආනයනකරුවන්ට විශාල ලාභයක් ලැබීමට හැකි වේ.
මෙම සීනි තොගය සඟවා තැබීමේ උත්සාහය සම්බන්ධයෙන් තවත් ආනයනකරුවන් පිරිසක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට සැලසුම් කර ඇත.
සිරිමන්ත රත්නසේකර