ගමනාගමන කොමිෂන් සභා පනත් කෙටුම්පත කාලෝචිත එකක් – ගයන්ත කරුණාතිලක
ශ්‍රී ලංකන් පාඩු ලැබුවේ තක්කඩි රාජපක්‍ෂ පාලනය නිසයි – නලින් බණ්ඩාර
මහාමාර්ග භාවිතා කරන සියලුම රථවාහන නියාමනය කළ හැකි බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත් කිරීම මෙන්ම ප්‍රවාහන සේවා වැඩිදියුණු කළ යුතු ප්‍රමිතීන් හඳුන්වාදීම සහ දණ්ඩන වලට යටත් කිරීමට අදාළ විධිවිධාන වෙනසකට ලක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධනය කළ බව මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය. පසුව ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දිනට නියමිත වූ විවාදය ආරම්භ කෙරිණ.
විවාදය ආරම්භ කරමින් ඇමැති බිමල් රත්නායක මහතා – 1958ට කලින් ලංකාවේ පෞද්ගලික බස්රථ සමාගම් තමයි තිබුණේ. 58දී තමයි ශ්‍රී ලංගම ආරම්භ වුණේ. ඊට පසුව 1977 දී තමයි පෞද්ගලික බස්රථ සේවාව ආරම්භ වුණේ. අපේ රටේ බස් කර්මාන්තය නැතිනම් ප්‍රවාහන සේවය එන්න එන්නම හොඳ තත්ත්වයකට පත් වෙනවාද නැතිනම් නරක තත්ත්වයට පත් වෙනවාද කියන ගැටලුව තිබෙනවා. වෘත්තීමය වශයෙන් දියුණුවක් නෑ. ලංගම පසුගිය ආණ්ඩු විසින් මරාදමා තිබෙනවා. එය ගොඩ ගැනීම ඉතාම දුෂ්කර අභියෝගයක්. පෞද්ගලික බස් කර්මාන්තය දෙස බැලුවහොත් සැලකිය යුතු සේවාවක් වුවද ඒ ගැන සමාජයේ තිබෙන මතය සහ අත්දැකීම් හොඳ එකක් නොවෙයි.
සමහර බස් අයිතිකරුවන් චොප්පෙලා වගෙයි. කප්පම් අරගෙන බස් හිමියන් වූ අයත් ඉන්නවා. මේ කර්මාන්තය ඉහළට ගැනීමට ඇති වෘත්තීමය දියුණුවකුත් අඩුයි. ව්‍යාපාරික පැත්තේ දියුණුවකුත් අඩුයි. ඒ නිසා මේ බස් කර්මාන්තය ඉදිරියට ගිහින් නෑ. ඒ නිසා මේවා යම් එක් රිද්මයකට එක නීතියකට සිදු විය යුතුයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගත්තෝතින් ඒ නාමයම ඉතා පුළුල් නමක්. මුළු රටේම ගමනාගමනයෙහි ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ මේ ආයතනයයි. නමුත් මෙයින් දැන් වෙන්නේ අන්තර් පළාත් බස් සේවාවන්ට බලපත්‍ර ලබාදීම පමණයි. ඒ නිසා අතිවිශාල මුදල් ගැවසුණු අති විශාල දූෂණ සිදු වූ ස්ථානයක් බවට පත්ව තිබෙනවා. රූට් පර්මිට් එකක් ගැනීම බාර් පර්මිට් එකක් ගැනීම තරමටම දූෂිත වෙලා තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කළා. මේ රූට් පර්මිට් ලබාදීම සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් මත පදනම්ව ක්‍රියාත්මක වන ලෙස විවෘත කළ යුතුයි කියා. ඒ වගේම ත්‍රීරෝද රථ, කාර්යාල වෑන්රථ, පාසල් ප්‍රවාහන රථ වැනි මාර්ග භාවිතා කරන සෑම වාහනයකටම ප්‍රතිපත්ති හැදිය හැකි සහ ඒවා පාලනය කළ හැකි නීති රීති ප්‍රමාණයක් සකස් කළ යුතුයි කියා.
අද මේ ගෙනෙන පනතින් සිදුවන ලොකුම දේ තමයි මහාමාර්ග භාවිතා කරන රථවාහන නියාමනය කළ හැකි බලය ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පත්වීම. අනෙක තමයි ප්‍රවාහන සේවා වැඩි දියුණු කළ යුතු ප්‍රමිතීන් සහ දණ්ඩනවලට යටත් කිරීම.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ) – මේ නව පනත ඉතාම කාලෝචිත එකක්. මෙයින් පසුව සියලු වාහන නියාමනයට ලක් කෙරෙනවා. සියලු වාහන නියාමනය අවශ්‍යයි. පොදුවේ අපේ රටේ ප්‍රවාහනය සම්බන්ධයෙන් බරපතළ ගැටලු රැසක් තිබෙනවා. රටේ කුමන පළාතකට ගියද බස්රථවල, දුම්රියෙන් අනාරක්ෂිතව තමන්ගේ ගමනාන්තයට ජනතාව යනවා. ඇතැම් රජයන් වැඩිම මුදලක් ආයෝජනය කළේ මහාමාර්ග සඳහායි. දුම්රිය ගත්විට මගී අවශ්‍යතාවයට සරිලන දුම්රිය නොමැතිවීම විශාල ගැටලුවක්. සංඥා පද්ධතිවල දෝෂ, දුම්රිය ප්‍රමාද ආදිය නිසා මගීන් පීඩාවට පත්ව තිබෙනවා.
වන අලින් දුම්රියේ හැපී මියගිය අවස්ථා විශාල ප්‍රමාණයක් තිබෙනවා. එවැනි අවස්ථාවල අලින්ට පමණක් නොව දුම්රියට සහ දුම්රිය මාර්ගයටත් හානි සිදු වෙනවා. අනාරක්ෂිත දුම්රිය මාර්ග සම්බන්ධයෙන් ද අපිට වාර්තා වෙනවා. අපේ රටේ දුම්රිය හරස් මාර්ග 1762ක් පමණ තිබෙනවා. 439ක් පමණ තවමත් අනාරක්ෂිත තත්ත්වයේ පවතිනවා. මේවා ආරක්ෂිත ස්ථාන බවට පත්කරන්න කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි (ජාජබ) –
ගමනාගමන කොමිසම මෙහෙයුම් කටයුතු සිදු කරන නමුත් නියාමනය ගැන අඩු අවධානයක් පවතින්නේ. මේ ගැටලුව නිම කිරීම පනතේ අරමුණයි. බස් පාරවල්වල යද්දි රියැදුරන් අතර ගැටුම්, කාලසටහන් පිළිබඳ ගැටුම් රැසක් පවතිනවා. ඒවා දීර්ඝ කාලයක සිට පැවති ගැටලු. නමුත් ඒවා විසඳීමට යාන්ත්‍රණයක් නියාමනයක් තවම ක්‍රියාත්මක වී නෑ. ඒ නිසා මගියාව විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වෙලා. බස් මගීන් ආතතියට ලක්වෙලා.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන (න.ප්‍ර.ජා.ස.)
රටක් ඉදිරියට යෑමට ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු වීම අවශ්‍යයි. බස්රථ 6000ක් පමණ ලංගමයට තියෙනවා. 4678ක් පමණයි ඉන් ධාවනයේ යෙදෙන්නේ. පෞද්ගලික බස්රථවලින් විශාල සේවාවක් සිදු වෙනවා. සී.ටී.බී. එකට කොයි ආණ්ඩුව ආවත් සේවකයන් පිරෙව්වා. දැන්වත් නිවැරැදි මාවතකට ඇවිත් කොහොමද සී.ටී.බී.ය හදන්නෙ කියලා කල්පනා කරන්න. එදා බීමත් රියැදුරන් ඇල්ලුවා. පෙති ගහලා යන අය ඉන්නේ. බීලා යනවාට වඩා පෙති ගහලා බස් එළවන එක භයානකයි. මත්ද්‍රව්‍ය ගහලා ගිහිල්ලා කරන අනතුරු භයානකයි. රියැදුරන් ඉතා සුළු ප්‍රමාණයක් එය කරන්නේ. දැන්ම කඩා ගත්තේ නැත්නම් විශාල ඛේදවාචකයක් ඉදිරියේදී වන්නේ.
පත්කළ මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා (ජාජබ) – පාලකයන් කළ යුතු වන්නේ ජනතාව සතුටු කරන වැඩේ. ජනතාව සතුටු කරන වැඩේ අපිට කරන්න බැරිනම් අසාර්ථක පාලනයක් යැයි හිතනවා.
පසුගිය කාලයේ ජනතාව සතුටු කරනු වෙනුවට පාලකයන් සතුටු කරන වැඩ ගොඩක් සිදුවුණා. ජනතාව සතුටු කරනු වෙනුවට එදා සිදුවුණේ පාලකයන් සතුටුවන වැඩ. කොල්ලකන බදු මුදලින් නිවසේ අය සතුටු වුණා. එහි ප්‍රතිඵල දැන් ලැබෙමින් තිබෙනවා.
පාලකයන් සතුටු කරපු වැඩවල ප්‍රතිඵල දැන් එනවා. ෆයිල් පිටින් අතුරුදන් කර තිබූ ප්‍රතිඵල දැන් එනවා.
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කිංස් නෙල්සන් (සජබ) – වැඩිම ආදායම ලබන ඩිපෝව තියෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ. වැඩිම ආදායම ලැබූවත් නිලධාරී මණ්ඩලය සහ පහසුකම් අඩු මට්ටමක තිබුණේ. පොළොන්නරුව ඩිපෝවේ රියැදුරු කොන්දොස්තර 40ක හිඟයක් තියෙනවා. පහුගිය රජය පත්වීම් 32ක් දුන්නත් ඒවා පරිපාලන සේවයට දීල තියෙන්නේ.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න –
හිටපු අගවිනිසුරුවරිය පාර්ලිමේන්තුවට ගෙනැල්ලා බලෙන් එළියට දැම්මා. සරත් ෆොන්සේකා මහ රෑ උස්සන් ගිහිල්ලා කූඩුවට දැම්මා. අද අධිකරණය ස්වාධීනව ක්‍රියාත්මක වන නිසා වැරැදි කළ අය බයවෙලා. ස්වාධීන තීන්දු දෙන විට එය කඩාකප්පල් කිරීමට විපක්ෂය අධිකරණ ඇමැතිට බොරු චෝදනා එල්ල කරනවා. තීන්දුවට බාධා කරනවා. අධිකරණය ස්වාධීනව තීන්දු දෙන විට කට්ටිය වෙව්ලනවා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර (සජබ) –
ශ්‍රී ලංකන් ආයතනය දැඩි ලෙස පාඩු ලබන්න හේතු වුණේ තක්කඩි රාජපක්ෂ පාලනයයි. එදා එමිරේට්ස් ආයතනය පන්නා දමන්න ක්‍රියා කළේ තමන් ඇතුළු පිරිසකට ගුවන් යානාවක් වෙන්කළ නොදුන් නිසා. අපේ ආණ්ඩුවක් තමයි ශ්‍රී ලංකන් සමාගම එමිරේට්ස් සමග සම්බන්ධ කළේ.
පාර්ලිමේන්තුව යළි අද (06 දා) දින පෙරවරු 9.30ට රැස්වේ.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන