රට ගමන් තහනම්
ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළැයි පැමිණිලි තුනකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන තිදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය ඊයේ (03) නිකුත් කළාය. ඒ අනුව සැකකරුවන් රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.
සැකකරුවන්ගේ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය. අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාගේ ආදර්ශ අත්සන් විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඒවා ලබා දෙන ලෙස ඔහු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය. එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ල මහතාට අද (04) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට එම ආදර්ශ අත්සන් ලබා දෙන ලෙස නියම කළාය. නඩුව යළි ඔක්තෝබර් 10 වැනිදා කැඳවීමට නියම කෙරිණි.
සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රමිත් රඹුක්වැල්ල යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටි අතර සම්බන්ධීකරණ ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය.
ඒ.ජේ.ඒ. අබේනායක