කොතලාවල විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය දේශීය සිසුන්ට විවෘත කළ නොහැක්කේ සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වය මත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී ඊයේ (03 දා) පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ එම වෛද්‍ය පීඨයට දේශීය සිසුන් ඇතුළත් කිරීම අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී මතුවූ සංවාදය පහත පරිදිය.
රවී කරුණානායක මහතා- කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් වීම දේශීය සිසුන්ට සීමා කරන්නේ ඇයි?
ඇමැති නලින්ද ජයතිස්ස මහතා – රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලින් හෝ කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් පිටවන වෛද්‍ය සිසුන්ට වගේම විදේශ රටවල වෛද්‍ය උපාධිය ගෙන මෙරටදී ඊආර්පීඑම් විභාගය සමත් වන සිසුන්ටත් සීමාවාසික පුහුණු අවස්ථාව දිය යුතුයි. උපාධිය පමණක් දීලා සිසුන් පිටකරන්න බැහැ. ඇති වී තිබෙන තදබදය නිසා සීමාවාසික පුහුණව දීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. සියලු වෛද්‍යවරුන් රාජ්‍ය යාන්ත්‍රණයට අන්තර්ග්‍රහණය වුණත් පෞද්ගලික අංශයේ සේවා සැපයුවා වුණත් විදේශ රැකියාවකට ගියත් ඒ උපාධිධාරීන් හා ඔවුන්ගේ සීමාවාසික පුහුණුව සම්බන්ධයෙන් රජයට වගකීමක් තියෙනවා.මේ ගැටලුව සාකච්ඡා කරමින් සිටිනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන