ජාතික ජනබලවේගයේ මන්ත්‍රී පිරිස් පාපිස්සෙන් යටට දමා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ සතු කරගැනීමට ජනාධිපති ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ දරන අතර කළ යුත්තේ මොනවාද කියන දේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන ආයතනවලට පත්වෙලා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.
පළාත් පාලන ආයතන සියල්ලගේම බලය පිහිටුවන බව කියු ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන භාගයකටත් අඩු ප්‍රමාණයක තමයි බලය පිහිටුවන්න හැකියාව ලැබුණේ. ඒ වගේම පළපුරුද්දක් නැති, ආයතනයක් විවෘත කිරීමේදී කටයුතු කළ යුත්තේ කෙසේද, ප්‍රකාශ කළ යුත්තේ මොනවාද කියන දේ පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් තමයි ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන ආයතනවලට පත්වෙලා තිබෙන්නේ.
රටේ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් වචනයෙන් ප්‍රකාශ කරනවාට වඩා රටේ සිටින වංචනිකයන්, දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව තමයි ජාතික ජන බලවේගය බලය ලබාගැනීමට පෙර ප්‍රකාශ කළේ. ඒ වගේම වර්තමාන රජය බලයට පැමිණ මාස 8ක් පමණ වෙනවා මේ වනතෙක් වංචා දූෂණවලට සම්බන්ධ එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම සොරකම් කළ මුදල් නැවත ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම යහපාලන රජය කාලයේ ගොනුකළ නඩුවල තීන්දු ජාතික ජනබලවේග රජය සතු කරගෙන ආණ්ඩුවේ හෙළුව වහගන්න උත්සහ කරනවා. ඒ වගේම ජාතික ජනබලවේග රජය නොසිටින්න මෙවැනි අධිකරණ තීන්දු ලැබෙන්නේ නැති බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.
බොරුවෙන් සහ වෛරයෙන් තොර ගමනක් වර්තමාන ආණ්ඩුවට නැති බව අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා. කෙසේ නමුත් මෙවැනි අසත්‍ය පුවත් සමාජගත කරමින් නැවත වතාවක් රටේ ජනතාව මුලාවට පත් කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. බොරුවෙන් ඇත්ත යටපත් කරන්න ආණ්ඩුව සෑම අවස්ථාවකම උත්සහ ගනිමින් සිටිනවා.
අකිත පෙරේරා