ලංකා පොස්පෙට් සමාගමේ ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදනු ලබන රබර් බුෂ් ඒකකයක් රුපියල් 350ක මුදලකට දේශීයව මිලදී ගැනීමට හැකිව තිබියදී රබර් බුෂ් ඒකක 200ක් ඒකකයක් රුපියල් 79,082ක් වැනි ඉතා ඉහළ මිලක් ගෙවා ආනයනය කිරීමෙන් පොස්පෙට් සමාගමට රුපියල් එක්කෝටි පනස්හත් ලක්ෂ හතලිස් හයදහස් හාරසිය අසූ දෙකක අලාභයක් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.
රබර් බුෂ් ඒකක 81ක් ගබඩාවේ තිබියදී තොගය ශුන්‍ය බව දක්වමින් මෙකී රබර් බුෂ් තොගය ආනයනය කර තිබුණි. මිලදී ගත් රබර් බුෂ් තොගය ඉකුත් වර්ෂයේ (2024) අප්‍රේල් මස 01 වැනිදා වන විටත් භාවිතයට නොගෙන ගබඩා ලේඛන තුළ ඇතුළත් කිරීමකින් තොරව ගබඩාවේ නිෂ්කාර්යව ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී රබර් බුෂ් තොගය සමග බුෂ්වලට අමතර සම්බන්ධතා ඇණ ඒකක 198ක් ලැබී තිබුණ ද එම ඇණවලින් අදාළ යන්ත්‍රයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින් ඒවා නිෂ්කාර්යව තබා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
ඒකකයක් රුපියල් 350 බැගින් දේශීයව මිල දී ගෙන තිබූ රබර් බුෂ් 2024 අප්‍රේල් මස 01 වැනිදා දක්වා ම අදාළ යන්ත්‍ර සඳහා භාවිතා කරමින් තිබුණි. එසේ තිබියදී ඉතා අධික මිලක් ගෙවා මෙම රබර් බුෂ් තොගය 2022 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා ආනයනය කර තිබූ අතර ඒ සඳහා වැය කර ඇති සම්පූර්ණ මුදල රුපියල් එක්කෝටි පනස්අට ලක්ෂ දාසයදහස් හාරසිය අසූදෙකකි.
ලලිත් චාමින්ද