ආනයනකරුගේ හෝ දේශීය නිෂ්පාදකගේ තොරතුරු මෙන්ම සිල්ලර මිලක් සඳහන් නොකර ලුණු වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ (29දා) ප්‍රකාශ කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකදී ලුණු සඳහා සිල්ලර මිලක් තීරණය කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් එම අධිකාරියේ සභාපතිවරයා පවසයි.
එවැනි සාකච්ඡාවක් නොපැවැත්වූ බව ද සභාපතිවරයා කියයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය සමග සාකච්ඡාවක් පවත්වා ඇති බවත් එහිදී යම් එකඟතාවකට පැමිණියහොත් ඒ බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කළ යුතු බවත් සභාපතිවරයා කියා සිටී.
මේ වනවිට ආනයනකරු හෝ නිෂ්පාදකයා සඳහන් නොවන ලුණු වෙළෙඳපොළට නිකුත්කර ඇති බවත්, වෙළෙඳුන් ඒවා මිලදී ගත් අයගේ තොරතුරු තමා සතුව තබා ගන්නා ලෙසත් සභාපතිවරයා කියා සිටී. බිල්පත් නොමැතිව භාණ්ඩ ළඟ තබා ගැනීමට කටයුතු කළහොත් එම වෙළෙඳුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.
චමින්ද සිල්වා