ගම්වාසීහු හා පොලිසිය ගැටෙති
පොලිසියේ 3කට තුවාල
ජීප් රථයකටත් හානි
දෙදෙනෙක් පොලිස් භාරයට
පොලිසියෙන් කඳුළු ගෑස්
කහවත්ත, පලංසූරියගම ප්‍රදේශයේදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඊයේ (03 වැනිදා) සවස ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට වීමත් සමග කහවත්ත ප්‍රදේශයම උණුසුම් විය.
මෙම සිද්ධියේදී ත්‍රිරෝද රථයකට ද අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී මාංචු දමා දණගස්වා වෙඩි තබා ඝාතනය කළ ඉමන්ත සුරංජන (22) තරුණයාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණි.
ඝාතනයට ලක්වූ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රදේශවාසීන් එම ඝාතනයට චෝදනා එල්ල වී ඇති පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි ඩුබායි හි සැඟවී සිටින බව කියන ‘අමිත’ නමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී පොලිසිය සමග ඇතිවූ නොසන්සුන්තාවයත් සමග පොලිසිය විසින් ගම්වාසීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම උණුසුම් තත්ත්වයත් සමග ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලිසිය පුද්ගලයන් කිහිප දෙනකුට පහර දෙන ආකාරය ද ඊයේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.

මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් පොලිස් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකර තිබේ.
මෙම සිද්ධියට අදාළව පොලිසිය කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු සිය භාරයට ගෙන පොලිසිය වෙත රැගෙන විත් තිබිණි. මෙහිදී පොලිසියේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගත් බව කහවත්ත පොලිසියේ නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමරවීර නිරෝෂණ – කහවත්ත