ලබන 30 දා සිට අදියර දෙකක් යටතේ මදුරු මර්දන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු කණ්ඩායම් 1100ක් යොදවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම මදුරු මර්දන විශේෂ සතිය ලබන 30 දා සිට ජූලි මස 05 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. කොළඹ, රත්නපුර, ත්‍රිකුණාමලය, මාතලේ, බදුල්ල, මොනරාගල, ගාල්ල, කල්මුනෙයි, කළුතර යන ප්‍රදේශවල ප්‍රථම අදියර යටතේත් නුවර, ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, කොළඹ මහ නගර සභාව, යාපනය, මඩකළපුව සහ මාතර යන දිස්ත්‍රික්කවල දෙවන අදියර යටතේත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඊයේ (26දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වෛද්‍යවරිය සඳහන් කළාය.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,932ක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගයෙන් මරණ 16ක් සිදුවෙලා. මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මාසයේ. ඩෙංගු රෝගීන් 5166ක් එලෙස වාර්තා වී තිබෙනවා. ඒ වගේම මැයි මස රෝගීන් 6034ක් සහ ජුනි මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 4372ක් වාර්තා වී තිබෙනවා. නිරිතදිග මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගය පැතිරීම වැඩිවෙලා. මේ විශේෂ මදුරු මර්දන සතිය ප්‍රකාශයට පත්කිරීම මෙම තත්ත්වය පාලනයට එක් පියවරක්.
මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය,
“මැලේරියාව ශ්‍රී ලංකාවෙන් තුරන් කළත් එම රෝගය නැවත රටට ඇතුළුවීමේ විශාල අවදානමක් පවතිනවා. අප්‍රිකාව, ඉන්දියාව වැනි මැලේරියාව බහුල රටවල සංචාරය කරන ජනතාව මගින් මෙම රෝගය රටට ඇතුළු විය හැකියි. වසරකට මැලේරියාව වැලඳුණු රෝගීන් 50ක් පමණ මෙරටට පැමිණෙනවා. ගිය වසරේ රෝගීන් 38ක් වාර්තා වුණා. ඉන් 75%ක්ම ශ්‍රී ලාංකිකයන්.
මේ වසරේදී මැලේරියාව වැලඳී පැමිණි රෝගීන් 15ක් හඳුනාගෙන තිබෙනවා. උතුර පළාතෙන් වාර්තා වූ රෝගීන් අතරින් කිහිපදෙනකුම නීත්‍යනුකූළ නොවන ආකාරයෙන් විදෙස්ගත වූවන්. මැලේරියාව වළක්වා ගැනීම සඳහා රටින් පිටවීමට පෙර ඒ සඳහා ලබාගත යුතු ඖෂධ ලබාගැනීම වැදගත්. මැලේරියා මර්දන මූලස්ථානයෙන් සහ රට පුරා ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක මගින් මෙම ඖෂධය ලබාගත හැකියි.”
සුජීව තත්සර