චෙන්නායි හි ගෝපාලපුරම් ප්‍රදේශයේ පුවත්පත් බෙදා හැරීම සඳහා දිනපතා බයිසිකලයෙන් යන 94 හැවිරිදි ෂන්මුගසුන්දරම් මහතා පිළිබඳව හින්දු පුවත්පතේ විශේෂ ලිපියක් පළවී තිබිණි.
අලුයම 3:30 ට අවදි වන ඔහු බයිසිකලය පැදගෙන ගොස් කිරි පැකට් පනහක් ගෙයින් ගෙට බෙදා හරියි. නමුත් ඔහුගේ අලුයම චාරිත්‍රය එතැනින් අවසන් නොවේ. පසුව ඔහු පද්මාවතී පාරෙන් ආරම්භ වී ගෝපාලපුරම් හි වීදි 8 ක් හරහා පුවත්පත් හැටක් බෙදා හරියි. වැස්ස තිබුණත් නැතත් වෙහෙස නොබලා හෙතෙම සිය කාර්යය ඉටු කරයි. 2000 වසරේ සිට පත්තර බෙදීම ෂන්මුගසුන්දරම් මහතාගේ ජීවිතයේ කොටසක් වී ඇත. පත්තර බෙදා හැරීමේදී හිටපු මහ ඇමැති එම්.කරුණානිධි සහ අතීතයේ සිටි තවත් බොහෝ කැපී පෙනෙන පුද්ගලයින් හමුවීමට තමාට අවස්ථාව ලැබුණු බව ෂන්මුගසුන්දරම් මහතා සතුටින් පවසයි.
චතුර පමුණුව