තවම බෙහෙත් ගන්නේ අවුරුදු 3කට ඉස්සෙල්ලා ගත්ත බෙහෙත් තුණ්ඩුවෙන්
දරුවාව ඉස්කෝලේ වෑන් එකෙන් අයින් කරලා බස් එකේ යවනවා
ත්‍රීවිලර් එකේ යන්නේ නැතිව පයින් යනවා
ගෑස් ළිපේ උයන්නේ නැතිව දර ළිපේ උයනවා
රටේ පවුල්වලින් 91%ක් ගෘහස්ථ වියදමෙන් පීඩා විඳින විට නොමැරී ජීවත්වෙන්න සිදු කරන අරගලය මෙරට පවතින ආර්ථික අර්බුදය ගැන මේ වන විට නොදන්නා කෙනෙක් නැත. 2020 වර්ෂයේදී මෙරට ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතයත් ඉන්ධන අර්බුදයත් විදුලි කප්පාදුවත් සමග ලංකාවේ ආර්ථිකය කඩා වැටුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දැඩි පීඩනයකට ලක් කරමිනි. ඇතැම් කර්මාන්තශාලා වැසී යෑම නිසා විරැකියාව වැඩි විය. බදු බර නිසා ජීවන වියදම ඉහළ ගියේය. සංචාරකයන්ගේ පැමිණීම අඩු විය. මේ සෑම දෙයකින්ම බැටකෑවේ රටේ ජනතාවය. ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව පීඩාවට පත්වන ණයබර, ගෘහස්ථ ආදායම සහ වියදම, විරැකියාව, දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු රැසක් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අනාවරණය කෙරිණි.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ආර්ථික ස්ථායිකරණ, ජාතික ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව එකතුවී “ශ්‍රී ලංකාවේ 2023 වසරේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳව ගෘහස්ථ සමීක්ෂණය” මැයෙන් පවත්වන ලද සමීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයෙන් 91.1%ක් ගෘහස්ථ වියදම වැඩිවීම අත්විඳ තිබේ. ආර්ථික කටයුතුවල නිරත වූවන්ගෙන්15.1%කගේ රැකියා අහිමි වී තිබේ. ශ්‍රී ලංකාවේ නිවාසවලින් 54.9%ක් ණයබරින් පීඩා විඳිති. කුටුම්බවලින් 60.5%කට ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම අඩු වී තිබේ. එවන් වාතාවරණයක සාමාන්‍ය ජනතාව ජීවත්වන්නේ කෙසේදැයි විමසා බැලීම වටී.
පවුල්වලින් 60.5%කගේ මාසික ආදායම අඩුවෙලා
“මම වැඩ කරන තැන ගෙදර ඉඳන් කිලෝමීටර් 2කට කිට්ටු දුරකින් තියෙන්නේ. උදේට දාඩිය දාගෙන යන්න බැරි නිසා මම ඉස්සර වැඩට ගියේ ත්‍රීවිලර් එකේ. ඒත් දැන් වියදම් අඩු කරගන්න ඕනෑ නිසා මම පයින්ම වැඩට යනවා. ගමනක් යනකොට වුණත් වැඩිපුරම යන්නේ කෝච්චියෙන්. බස් වියදමට වඩා කෝච්චියේ ගණන් අඩුයිනේ.” යනුවෙන් සඳහන් කළේ රාගම පදිංචි නිර්මලා දමයන්ති ය. ඈ පුද්ගලික ආයතනයක සේවය කරන තිදරු මවකි. ඇගේ දරුවන් තිදෙනාම පාසල් අධ්‍යාපනය ලබති. ඇගේ සැමියා ස්ථීර රැකියාවක නිරත නොවේ. ජීවත්වීමට ලොකු සටනක් කරන බව ඈ පැවසුවේ එම නිසාය.
මීගමුව උතුරු කදිරානේ පදිංචි ප්‍රදීප් සම්පත් වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි. ඔහු එක් දියණියකගේ පියෙකි. ඔහුගේ බිරිඳ රැකියාවක් නොකරයි. ඔහු ජීවන අරගලයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසකි.
“දැන් අපිට හයර් අඩුයි. ඉස්සර නම් පොඩි දුරටත් කට්ටිය ත්‍රීවිල්වල ගියා. දැන් ඒ අය පයින් යනවා. ටවුන් එකට යන අය බස්වල යනවා. සමහරු ඇප්වලින් ත්‍රීවිලර් දාගෙන යනවා. මම යන්තම් ඔළුව උස්සාගෙන ඉන්නේ ඉස්කෝලේ ළමයින්ගේ හයර් වගයක් කරන නිසා. මම එදා දවසේ වියදම හොයාගන්නවා. දුවගේ වියදම්, ගෙදර වියදම් කොහොමහරි පියවා ගන්නවා. හැබැයි ඉතුරු කිරීමක් ගැන නම් හිතන්නවත් බැහැ. ත්‍රීවිලර් එකේ පොඩි පොඩි දෝෂ නම් හදාගන්න පුළුවන්. ඒත් ලොකු රෙපයාර් එකක් ආවොත් නම් අතමාරුවක් කරගන්න වෙනවා. කාලා ඇඳලා ඉන්නවා. ගමන්බිමන් යෑම්, ගෙදර අමතර වැඩක් මුකුත් කරන්නේ නැහැ.” යනුවෙන් ප්‍රදීප් සම්පත් සඳහන් කළේය.
ආර්ථික අර්බුදය දෛනික උපයාගැනීම් කරන අයට, පුද්ගලික ආයතනවල සේවකයන්ට වඩා මධ්‍යම පංතියට අයත් රාජ්‍ය සේවකයන්ට බලපාන අයුරු වෙනස් විය හැකිය. ඒ පිළිබඳව රජයේ සේවකයකුගෙන් අදහස් ලබාගැනීමට සිතුවේ එබැවිනි.
රෝගීන්ගෙන් 23.1% ක් ප්‍රතිකාර ක්‍රම වෙනස් කරලා

“මම රජයේ සේවකයෙක්. මගේ බිරියත් ගුරුවරියක්. අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. අපි ගේ හැදුවේ, වාහනය ගත්තේ බැංකු ණය අරන්. ඒ නිසා අපි අරපිරිමැස්මෙන් තමයි වැඩ කරන්නේ. වාහනය තිබුණට වැඩට යන්නෙ එන්නේ පොදු ප්‍රවාහනයේ තමයි. ගෑස් එක පිරිමහගන්න ඕනෑ නිසා දර ළිපේ තමයි වැඩිපුර උයන්නේ. බෙහෙත් ගන්න යන්නේ රජයේ රෝහලට. දොස්තරලා චැනල් කරලා පරීක්ෂණ කරන්න 10,000ක් විතර යනවා කියලා, මගේ බිරිඳ නම් අවුරුදු 3කට ඉස්සෙල්ලා ගත්ත බෙහෙත් තුණ්ඩුවෙන් බෙහෙත් අරං බොනවා. ඉස්පිරිතාලේ සායනයට යන්න කිව්වට යන්නෙත් නැහැ. දතක් නරක් වුණොත් ගලවනවා මිසක් ස්නායු පිරවීම් එහෙම කරන්න හිතන්නෙවත් නැහැ.” යනුවෙන් විස්තර කළේ ආර්. එන්. කරුණානායක ය. රෝගීන්ගෙන් 23.1% කට තම ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය වෙනස් කිරීමට සිදුවී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් කළ සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙන්නේ කරුණානායක මහත්මිය වැනි අය තවත් සිටින නිසා විය යුතුය.
යක්කල ගොරකදෙණියේ පදිංචි ආර්. එන්. කරුණානායක කොළඹ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔහුගේ දියණිය මේ වන විට සරසවි අධ්‍යාපනය ලබයි. දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද ලොකු වියදමක් දරන බව සඳහන් කළ ආර්. එන්. කරුණානායක, “අපි දෙන්නාම රජයේ රැකියා නිසා දුවට මහපොළ හෝ වෙනත් කිසිම ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ නැහැ. හොඳ වෙලාවට දුවට හොස්ටල් හම්බවුණා. නැත්නම් බෝඩිමකටත් 20,000 ක් විතර ගෙවන්න වෙනවානේ.” යනුවෙන් පැවසීය.
දරුවන්ගෙන් 54.9%කගේ අධ්‍යාපනයට බලපෑම්
රාගම පදිංචි නිර්මලා දමයන්ති සඳහන් කළේ කොපමණ දුෂ්කරතා තිබුණත් පාසල් අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා නොපිරිහෙළා වියදම් කරන බවය.
“ඇත්තම කියනවා නම් මම ඇඳුමක් ගන්නේ නත්තලට විතරයි. අයියයි අක්කයි උපන්දිනයකට නත්තලට මට අවශ්‍ය දේවල් තෑගි දෙනවා. ළමයින්ට පංති යන්න සල්ලි විතරක් නෙමෙයි, ඇඳුනුත් ඕනෑ. කොහොමහරි ළමයින්ට උගන්වන්න ඕනෑනේ. ආර්ථික ප්‍රශ්න කියලා ඉගෙනුම කඩන්න බැහැ. මම ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. කෑම බීමට යන වියදම් අඩු කරලා පුළුවන් තරම් පිරිමහලා ළමයින්ගේ වැඩ කරනවා.” යනුවෙන් නිර්මලා දමයන්ති සඳහන් කළාය.
වියදම් අඩු කරගැනීමේ අරමුණින් දරුවන් උපකාරක පංති යැවීමේදී කණ්ඩායම් පංතිවලට නොයවා ලොකු පංතිවලට යැව් බව සඳහන් කළේ යක්කල ආර්. එන්. කරුණානායක ය. වයස අවුරුදු 3 සිට වයස අවුරුදු 21 දක්වා දරුවන්ගෙන් 54.9%කගේ අධ්‍යාපනයට මෙරට පවතින ආර්ථික අර්බුදය බලපෑම් කර ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අනාවරණය කර තිබේ. එය පාසල් පොත්, උපකරණ මිල දී ගැනීමේ, පාසල් ඇඳුම් සපත්තු මිල දී ගැනීමේ සිට උපකාරක පංති යැවීමේ හැකියාව අඩුවීම දක්වා විහිදේ.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති නවතම (2025 මාර්තු මාසයේ) දරිද්‍රතා රේඛා සටහනට අනුව මෙරට එක් පුද්ගලයකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදලේ ජාතික අගය රු. 16,302.00කි. එය 2024 මාර්තු මාසයේ රුපියල් 16,619.00 කි. 2023 මාර්තු මාසයේ එය රුපියල් 16,207.00ක් ලෙස දැක්වේ. මෙය ලංකාවේ දිස්ත්‍රික් අනුව වෙනස් අගයන් ගනු ලබන්නේ නාගරික, ග්‍රාමීය, වතු ප්‍රජාව ජීවත්වන පරිසර සාධක වෙනස්වන නිසාය.

මෙම සටහනට අනුව සිය අවම මූලික අවශ්‍යතා සපුරාගැනීමට වැඩිම පිරිවැයක් දරන්නට සිදුවී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයන්ටය. අඩුම පිරිවැයක් දරන්නේ මොනරාගල ජනතාව ය. මේ අනුව නාගරික ජනතාවගේත් ග්‍රාමීය ජනතාවගේත් මූලික අවශ්‍යතා සපුරාගැනීම යම් වෙනස්කම් තිබිය හැකිය. ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වන ගෘහණියකගෙන් තොරතුරු විමසුවේ එබැවිනි.
නාවලපිටිය පුස්සෙමංකඩ පදිංචි ආර්. නිලූෂිකා තිදරු මවකි. ඇගේ සැමියා පුද්ගලික ආයතනයක රැකියාවක නිරත වී සිටියි. අවුරුදු 16, 07, සහ 05 යන වයස්වල පසුවන දරුවන් රැකබලාගෙන සිටින නිලූෂිකා ගෘහණියකි.
“මගේ මහත්තයාගේ පඩියෙන් තමයි මම ගෙදර වියදම කරන්නේ. අපේ වත්තේ පොල්, කොස්, දෙල් තියෙනවා. වත්තේ මැල්ලුම්වලට කඩාගන්න පලා ජාති ඕනෑ තරම් තියෙනවා. පේර, ජම්බු, ජම්බෝල, ලාවුළු, අඹ වගේ පලතුරු ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා මට හැමදේම කඩෙන් ගන්න වෙන්නේ නැහැ. මේ පැත්තෙ මාළු එනවා අඩුයි. කරවල, හාල්මැස්සො, බිත්තර, කුකුළු මස් තමයි නිතර හදන්නේ. ටවුමට ගියදාට මාළු ගේනවා. දරුවන්ගේ පෝෂණය ගැන හිතන්න ඕනෑනේ. රටේ ආර්ථික ප්‍රශ්න එක්ක මමත් පිරිමැස්මෙන් තමයි වැඩ කරන්නේ. ගෑස් එකෙන් උයන එක අඩු කරලා දරවලින් උයනවා. දවසට තුන් වතාවක් ගහපු රයිස් කුකර් එක දැන් ගහන්නේ එක වතාවයි. දවස ගානේ ඇඳුම් ඉස්තිරික්ක කරන්නේ නැතිව සතියට එක දවසක සේරම ඇඳුම් මදිනවා. ලොකු පුතා ඉස්කෝලේ ගියේ වෑන් එකේ. එයාව වෑන් එකෙන් අයින් කරලා සීසන් එකක් අරං දීලා බස් එකේ යවනවා. දෙවෙනියා නම් තවම බස් එකේ යවන්න පොඩි වැඩියිනේ. ඒ නිසා එයාව ත්‍රීවිලර් එකක යවනවා. චූටි එක්කෙනාව මම මොන්ටිසෝරියට එක්කන් යනවා. හැම විදිහකින්ම වියදම් අඩු කරගෙන තමයි ජීවත් වෙන්නේ. මොකද වියදම් වැඩි වුණාට මහත්තයාගේ පඩිය වැඩි වෙන්නේ නැහැනේ.” යනුවෙන් නිලූෂිකා විස්තර කළාය.
පවුල්වලින් 91.1%ක් අත්විඳින මාසික වියදම් වැඩිවීම

එහෙත් මාසයේ වැටුප ලබා ගත් දවසට දරුවන්ට කඩයෙන් රයිස් හෝ කොත්තු වැනි විශේෂ ආහාරයක් රැගෙන දීමටද ඈ අමතක නොකරන්නීය. ඒ දරුවන් කැමති කෑමක් රැගෙන දී දරුවන් සතුටු කළ යුතු නිසාය. මීගමුව උතුරු කදිරානේ පදිංචි ප්‍රදීප් සම්පත් නම් නිවසේ කෑම පිළියෙල කළද කඩෙන් කෑම මිලදී ගෙන යන්නේ සිය එකම දියණියගේ පෙරැත්තය නිසාය. යක්කල ගොරකදෙණියේ පදිංචි ආර්. එන්. කරුණානායක සඳහන් කළේ බොහෝවිට නිවසේ පිළියෙල කරන කෑම ඔවුන් ආහාරයට ගන්නා අතර දරුවන් ද කඩේ කෑම ඉල්ලන්නේ නැති බවකි.
“සමහර දවස්වලට ළමයින්ට කොත්තු, රයිස් වගේ කෑම අරන් දුන්නා. ඒත් මම ඒකත් නවත්තලා දැම්මා. ඒ වියදමත් දරන්න අමාරුයි. මහත්තයා නම් ළමයි කන්න ආසයි කියලා එයාට මුදල් ලැබුණාම කඩෙන් කෑම ගෙනත් දෙනවා.” යනුවෙන් පැවසුවේ රාගම පදිංචි නිර්මලා දමයන්ති ය. යක්කල පදිංචි ආර්. එන්. කරුණානායක සඳහන් කළේ මාසයකට විවාහ මංගල්‍යය 2ක්, පිංකමක් යෙදුනොත් මාසය හාන්සි වීමට සිදුවන බවයි.
ජීවන වියදම ඉහළ යනවිට බොහෝ දෙනා සිය වියදම් පත්‍ර පාලනය කරගෙන ජීවිත ගැට ගසා ගන්නා ආකාරය අප සමග කතාබහ කළ අයගේ අදහස්වලින් පැහැදිලි වේ. ඔවුන්ගේ ජීවිත තුළ තිබෙන්නේ කෑමබීම, දරුවන්ට ඉගැන්වීම පමණි. අසනීප වූ විට රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගනිති. විනෝදාස්වාදය ඔවුන්ගේ ජීවිතවලින් පලා ගොස් තිබේ.
වැටුණු වළෙන් ගොඩ එන්නට සමහරු ණය ලබා ගනිති. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සමීක්ෂණයට අනුව පවුල්වලින් 22%ක් ණයබරින් පීඩා විඳින බව අනාවරණය කර තිබේ. ණයබරින් වැඩිම ප්‍රතිශතයක් ගෙන තිබෙන්නේ උකස් කටයුතුවලිනි. එය 31%කි. 21.9%කගේ ණයබර තිබෙන්නේ බැංකු ණයයි. මුදල් ණයට ලබාදෙන අයගෙන් ණය ගත් පිරිස 9.7%කි. ක්ෂූද්‍ර මූල්‍ය ණය ආයතනවලින් ණය ලබා ගත් අයගේ ප්‍රතිශතය 8.7%කි.
උකස් කටයුතුවලට, ණය ලබාදීමට ආයතන සැදී පැහැදී සිටින ආකාරය අපට රූපවාහිනි දැන්වීම්වලින් පෙනෙන්නේ අපූරුවටය. එහෙත් ජීවන වියදම අහස උසට නගිද්දී ණය ගෙවා ගැනීමේ හැකියාව අඩු වන බව අප තේරුම්ගත යුතුය. ණයබර නිසාම පුද්ගලයන් සියදිවි හානි කරගත් අවස්ථා කොපමණද? ජීවන වියදම ඉහළ යෑමෙන් තැලී පෑගී පොඩිවී හප වන ජීවිත කොපමණදැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකළ සමීක්ෂණයෙන් පැහැදිලි වේ. ඒ අතරේදි ජනතා මුදලින් සුරසැප භුක්ති විඳින පිරිසක් ද අපේ රටේ සිටින බව අප අමතක නොකළ යුතුය.
හර්ෂා සුගතදාස