ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මානු නිල සංචාරය පිළිබඳව මේ ලියන මොහොත වන විටත් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් වී නොතිබුණි. ජර්මානු ජනාධිපති ෆෑන්ක් වෝල්ටර් ස්ටයින් මියර්ගේ උණුසුම් පිළිගැනීම් හා රාජතාන්ත්‍රික ප්‍රතිචාර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හිමිවූ බව සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රමුඛත්වයක් දී පලකර තිබුණි. එහිදී රාජ්‍ය නායකයන් දෙපළ අතර ඇති කර ගන්නා ලද ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා පිළිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුණි. මේවායේ හොඳට වඩා නරක ගැන නම් ඉදිරි කාලයේදී අපට දැන ගැනීමට හැකි වනු ඇත. ඒවා බොහෝ විට දේශපාලන වශයෙන් අල්ලා ගන්නා ලද අස්කොන් විනා විමර්ශනාත්මක විග්‍රහයන් නොවිය හැකිය. කුමක් වුවත් මෙයට පෙර සිදුවූ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඇති කරගන්නා ලද එකඟතාවන් ගැන වුවද අපට පැහැදිලි අවබෝධයක් ද නැත. කොහොමටත් මෙබඳු කරුණු සම්බන්ධයෙන් ජනතාව වැඩිපුරම සිටින්නේ අඳුරකය.
ජනාධිපති අනුර කුමාරගේ ජර්මානු සංචාරය ආරම්භ වූයේ ද දැඩි සමාජ දේශපාලන කැළඹීම් සහිත වාතාවරණයකය. ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ වංචනික අනීතික හා දූෂිත ක්‍රියාන්විතයක් පිළිබඳ පුවත ඒවා අතර ප්‍රමුඛ මාතෘකාව බවට ද පත්ව තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුවූ දේශපාලන විවේචනවලට වඩා එහිදී ප්‍රමුඛ භූමිකාවක් නිරූපණය කළ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කරන ලද විග්‍රහ අපට නොතකා හැරිය නොහැකිය. අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ වන විට හිටපු වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවේචන හා ඇතැම් චෝදනා ඉතා බරපතළ බව අපට මතකය. දැන් ඔහු මේ සිරකරුවන් වංචනික අයුරින් නිදහස් කිරීම පිළිබඳව ද දැඩි විවේචන නැඟා තිබේ. එපමණක් නොව ඔහු විසින් අධිකරණයට ප්‍රකාශ කරන ලද්දේ එළඹෙන නඩු දිනයේදී අධිකරණය පවා විස්මයට පත් කරවන තොරතුරු ඉදිරිපත් කරන බවයි.
කෙබඳු තත්ත්වයක් යටතේ වුවද රටක කේන්ද්‍රීය ආයතන වන පොලිසිය, බන්ධනාගාරය මෙන් ආගමන විගමන, මෝටර් රථ, ප්‍රවාහන හා රේගුව සම්බන්ධයෙන් මේ වනවිට තිබෙන විවේචන චෝදනා ඉතා බරපතළය. වැඩබලන පොලිස්පතිවරයාව සිටි දේශබන්දු මෙන්ම බන්ධනාගාර අධිපතිවරයා සමග එහි ප්‍රධානීන් කිහිප දෙනෙක්ම රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටිති. විශේෂයෙන් පොලිසියේ හා බන්ධනාගාරයේ සියලුම නිලධාරීහු මේ සිදුවීම් සම්බන්ධයෙන් කෙබඳු ප්‍රතිචාරයක් දක්වත් ද?

බන්ධනාගාර අධිපතිවරයාගේ දෑත්වලට මාංචු දමා ඔහු සෙසු සැකකරුවන් රැගෙන යන බසයකින්ම තම ආයතන ප්‍රධානියා බන්ධනාගාරයට රැගෙන යෑමට ඒ නිලධාරීන්ට සිදුවීම බරපතළ සිද්ධියකි. රටේ නීතිය ඉදිරියේ නිලබලවලට විශේෂත්වයක් නොතිබීම අගය කළ යුත්තකි. එහෙත් ඒ නිලබල හෑල්ලු වන ආකාරයේ සිදුවීම් නිසා ඒ සමස්ත ආයතන පද්ධතියම බිඳ වැටෙනු වළක්වා ලිය නොහැක. මේ මොහොත වන විට ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීමේ ලිපියක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා විය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් දේශබන්දු තෙන්නකෝන් අරභයා අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු අනුව ඔහු පාතාලයකු වැනි අමනයෙක්ද යන සැකය සාමාන්‍ය ජනයා තුළද ඇති විය. වරදක නොබැඳෙන මිනිස්සු ඉතා විරල වෙති. එහෙත් මේ අයට එල්ල වී තිබෙන චෝදනා මොන තරම් අල්ජ්ජිද? තුච්ඡද? මේ වන විට සිරදඬුවම් විඳින හා චෝදනාවලට ලක්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටින මැති ඇමැතිවරුන් ගැනද ජනතාව දනිති. ඒ එක් අයෙක්වත් සිරගතව සිටීම ගැන කිසිවකුගේ අනුකම්පා මාත්‍රයක්වත් හිමි වන්නේ ද නැත. මන්ද යත් ඔවුන් විසින් කරන ලද වංචා දූෂණ හුදු ධනය ගොඩගැසීම සඳහාම වූ මෙහෙයුම් බව බැලූ බැල්මට පෙනී යන හෙයිනි. ජනතා මුදලින් නඩත්තු වූ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් බොහෝ දෙනකු අන්ත දූෂිතයෝ වෙත් නම් එවන් රටක හෙට දවස කුමක් විය හැකිද? කුමක් වුවත් ජනාධිපති අනුර කුමාර පසුගිය දිනවල සහභාගි වූ බොහෝ උත්සවවලදීත් මේ දූෂිත චෞර වළල්ල ගැන කතා කළේය. තමන් වටකර ගත් දූෂිත වළල්ල ගැන ඔහු තිගැස්සෙන්ට ඇත්තේ ජනාධිපති සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීමේ දූෂිත මෙහෙයුම නිසාම නොවේ. එහෙත් ඒ අනතුරට තමන් ද මැදිවී සිටින බව ඔහු දැන් තේරුම් ගෙන සිටිය යුතු වේ. විධායක ජනාධිපති ක්‍රමයේ විවේචකයකු ලෙස ඉදිරියෙන්ම සිටි ඔහුට ඒවා පිරිපහදු කිරීමටත් ජනතාවාදී පාලනයක් ස්ථාපිත කිරීමටත් විශාල ජනවරමක් ද ලබාදී ඇත. එය කාලයට භාර වූවකි.
ප්‍රධාන විපක්ෂය වන ස.ජ.බ.ය පමණක් නොව එ.ජා.ප.ය., ශ්‍රී ල.නි.ප.ය, පොදුජන පෙරමුණ ඇතුළු විසිරී සිටින සියලු පක්ෂවලට අනුව ජා.ජ.බ.ය රට මුළා කර බොරුවෙන් ජනතාව නොමඟ යවා ඒ බලය ලබාගෙන ඇත. එහිදී මෙරටේ විපක්ෂ ඒ ජනවරමට දායක වූ සියලුම ජනතාව, ගොන් රැළක් බව නොකියා කියන්නෙහිද? ජනතාවට දේශපාලන විඥානයක් නැති බව ද ඔවුහු අඟවත්ද. එහෙත් ඒ තක්සේරුව ඔවුන්ගේ අමන දේශපාලනයේ තරම පිළිබිඹු කරන්නක් විනා අන් දෙයක් නොවේ. දේශපාලනයේ දී බොරු පොරොන්දු දීම මෙරටේ සාමාන්‍ය, එහෙත් අමන ක්‍රියාවක් බව අද බහුතරයක් ජනතාව ද දනී. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ රාජ්‍යය, ධාන්‍ය රාත්තල් අට මෙන්ම ඊට පෙර බණ්ඩාරනායක මැතිනියගේ හඳෙන් හෝ හාල් සේරු දෙක්ක දීමද කාටත් මතක තිබෙන දේශපාලන කඩවුණු පොරොන්දුය. රාජපක්ෂලා චන්ද්‍රිකාලා හා රනිල් ද බලය
ගැන විනා රටක් ගැන කල්පනා නොකළහ. ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුව පිළිබඳව ඔවුන් බොහෝ දෙනකුට ඇත්තේ සිංහල ජනවහරේ එන කිඹුලා කනවා ඉවසිය හැකිය, කොහිල කටු ඇනෙන එක ඉවසිය නොහැකිය වර්ගයේම ආකල්පයකි. තඹුත්තේගම දූවිලි පොළවෙන් පැමිණි, චන්ද්‍රිකා වරක් පැවැසූ පරිදිම බණ්ඩාරනායකගේ සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියෙන් මතුවූ අනුර කුමාර වැනි සාමාන්‍ය පවුල් පසුබිමක තරුණ නායකයකු ඔවුන්ට පිළිගත නොහැකි වීම පුදුමයක් ද නොවේ. ඒ කොල්ලකුගේ කරට ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි අත දැමීම ඔවුන්ට බලා සිටිය හැකිද? ජර්මනියේ හමුදා උත්තමාචාර හිමිවීම ඉවසිය හැකිද? හැබැයි මිහින්තලය වැනි බෞද්ධ ආගමික කේන්ද්‍රයකින් මහා මහේන්ද්‍ර ප්‍රසාදිනී වැනි ගෞරව නාමයක් පිදීම නම් ඒ හැටි ප්‍රශ්නයක් නැත. කුමක් වුවද අද තිබෙන යථාර්ථය වන්නේ මෙරටේ තිබුණු ප්‍රභූ තන්ත්‍රවාදී දේශපාලන කඳවුර පසුගිය මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් ලද බවය.
මේ සියල්ල ජනාධිපති අනුර කුමාරට ලැබුණේ මේ රටෙන්ය. රටේ පොදු ජනතාවගෙන්ය. ඒ ජනතාවගේ අවම වුවමනාවන් කිහිපය හෝ තවම ඉටු වී නැත. දේශපාලන පුනරුදය වැනි අපේක්ෂා වෙනම තිබේ. එහෙත් ඊට පෙර ඉටු කළ යුතු දේවල් ඉටු නොවීම නිසා ජනතාව අතරද ඔවුන්ට විවේචනයක් ගොඩනැඟී තිබේ. විපක්ෂය කතාකරන ලුණු පොල්කට්ට හිස් වීම ගැන ආණ්ඩුවක් මීට වඩා සංවේදී විය යුතුව තිබුණි. ලුණු සුවිශේෂ භාණ්ඩයක් හෝ දරාගත නොහැකි විදේශ විනිමයක් වැය කළ යුතු දෙයක් ද නොවේ. එහෙත් මේ පාලකයන් නිසා ජනතාවට ලුණු කැඳ ඩිංගක්වත් බීමට නොහැකි වී ඇති බව විපක්ෂය පවසන්නේ උජාරුවකින්ය. ඇත්තටම මෙරටේ වෙළෙඳ මාෆියාව ඉතා ප්‍රබලය. ඒවා විවිධ අයුරින් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන් ද එක් කරන අපැහැදිලි දේවල්ය. සියලු නිලධාරීහු හොරු නොවෙති. එහෙත් මේ වනවිට බොහෝ ආයතනවල ඉහළම නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා බරපතළය. විස්තර විශ්ලේෂණ අනවශ්‍ය වුවත් ආගමන විගමන, මෝටර් රථ ප්‍රවාහන, රේගුව වැනි ප්‍රබල ආයතන කළු මකරුන්ගේ රාජධානි බවට පත්ව ඇතැයි ජනාධිපති අනුර කුමාරම අවස්ථා කීපයකදී පවසා තිබේ. රාජ්‍ය යාන්ත්‍රණය දූෂිත කළු එකක් නම් ඒ රටේ ඉදිරි ගමන ගැන කිව හැක්කේ කුමක්ද? එහෙත් ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවේ ප්‍රමුඛයන්ට ද මේ දූෂණ වළල්ල වෙනස් කළ යුතුය යන අධිෂ්ඨානය තිබෙන බව ද පැහැදිලිය. ඒ අතරම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තිබෙන විවේචන ද සුළුවෙන් තැකිය නොහැකිය. ඒ බොහෝ විවේචනවල හරය වී ඇත්තේ කළ පුරුද්ද හා පලපුරුද්ද නැති පිරිසක් අතට බලය ලැබීම අද රටට තිබෙන අනතුර බවය. එහෙත් මේ බොහෝ පළපුරුදු හා කළ පුරුදු සමහර ඇත්තන්ගේ ක්‍රියාකාරකම් හෙළිදරව් වෙමින් ද තිබේ. ඒවා නීතියට හා අධිකරණයට භාර වූ දේවල්ය.
මේ සියල්ල අතරේ ආණ්ඩුව ආර්ථික හා දේශපාලන අභියෝග දෙකකට ද මැදි වී සිටියි. එකක් මේ වනවිට සියයට 15න් ඉහළ දමා තිබෙන විදුලි බිලය. අනෙක පළාත් පාලනවල බලය අල්ලා ගැනීමට විපක්ෂ කණ්ඩායම් විසින් අරඹන ලද මෙහෙයුම්ය. විදුලි බිල අඩු කිරීමට මේ ආණ්ඩුව ප්‍රබල ප්‍රතිඥාවක් ද ලබා දී තිබේ. එය දේශපාලන වේදිකාවල නිරන්තරවම ඇසුණු කතාබහකි. විදුලිබිල හා ඉන්ධන මිල සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ දේශපාලන පසමිතුරන් විසින් සිදු කරනු ලබන විවේචන ද බොහෝය. විපක්ෂයේ සිටින සජබය මෙන්ම ආණ්ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කළ ඇතැම් වෘත්තීය සංවිධාන ද මේ විදුලි බිල ඉහළ යෑම සම්බන්ධයෙන් දැඩි විවේචන සිදු කරති. ඒවා පදනම් විරහිත හෝ අතාර්කික යැයි ද පැවසීමට ද අපි ඉක්මන් නොවෙමු.
කෙසේ හෝ වේවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබුණේ මෙම ගාස්තු වැඩි කිරීම ජනවරම පාගා දැමීමක් බවය. ඔහු අවධාරණය කරන තවත් කරුණක් ද වේ. එනම් ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභිමතය අනුව ඔවුන්ගේ කොන්දේසි ඉටු කිරීමට සිදුව ඇති බවය. විස්තීරණ ණය පහසුකම් ලබාදීමට නම් විදුලිබිල ඉහළ දැමිය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇතැයි ද විපක්ෂ නායක පවසයි.
කවුරුන් කෙසේ කීවත් ආණ්ඩුවේ ආර්ථික ගමනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් නොතකා හැරිය නොහැක. විදුලි බිල වැඩි කිරීම ආණ්ඩුව කැමැත්තකින් කරන දෙයක් ද නොවේ. ජනමාධ්‍ය ඇමැතිවරයා මේ මිල ඉහළ යෑම සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය ද ව්‍යාජයක් නොවේ. ඇත්තටම පසුගිය පාලන යුගවල සිදුකරන ලද ආර්ථික විනාශකාරී වැඩ, දූෂණ, වංචා ආදි සියලුම මගඩිවලට වන්දි ගෙවීමට ජනතාවට සිදුව තිබේ. දේශපාලන හිතවතුන්ට ලබාදුන් ණය බොහොමයක් බොල් ණය සේ කපා හැර තිබීමත් සුරාබදු වැනි ක්ෂේත්‍රවල සිදුවූ බදු ගෙවීම් පැහැර හැරීමත්, ස්වල්ප දේවල් නොවේ. ජනතා මුදලින් ගොඩනැඟූ රාජ්‍ය බැංකුවකින් සාමාන්‍ය ගනුදෙනුකරුවකුට දක්වන ප්‍රතිචාරය බොහෝවිට රළු හිත් පිත් නැති එකකි. එහෙත් දේශපාලන ගනුදෙනුකරුවකුට එබඳු තත්ත්වයක් උදා වන්නේ නැත. පසුගිය කාලවල ඒ ඇතැම් ගනුදෙනු පිළිබඳව ද අනාවරණයන් ඇසුණි. එහෙත් ඒ මුදල් යළි රජයට ලබාගත හැකි ද යන්න ගැන අපට අවබෝධයක් ද නැත. මහා පරිමාණයේ බැංකු වංචා ලෙස මහ බැංකු මංකොල්ලය ගැන ආණ්ඩුව උනන්දු වුවත් මේ මහා පරිමාණ බැංකු පොලුකාරයෝ නම් අදත් සුවපහසු ජීවිත ගෙවති.

දැන් මේ ආණ්ඩුවත් විපක්ෂ කණ්ඩායම් සියල්ලත් මැදි වී සිටින පළාත් පාලන බල පොරය වෙත යොමුවෙමු. ඉහත සඳහන් කළ පරිදිම මේ පළාත් පාලන බලය අහිමි වුවත් ආණ්ඩුවේ පැවැත්මට ප්‍රශ්නයක් නැත. එහෙත් ඒවා විවිධ අයුරින් අර්ථකථනය කර සමාජගත කිරීමෙන් නම් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිරූපයට හානි සිදුවිය හැකිය. දැනටමත් ජාජබය ඉදිරියෙන් සිටි ඇතැම් සභාවක බලය සජබයට හෝ විපක්ෂ කණ්ඩායමකට ලබාගැනීමට හැකි වී තිබේ. ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂවලට මෙයින් කිසියම් උත්තේජනයක් ලැබීමට ද හැකිය. එයින් ආණ්ඩුවේ අනුගාමිකයන් හා සමීපතමයන් තුළ කිසියම් මානසික කඩාවැටීමක් ඇති වීමට ද හැකිය.
මෙම පළාත් පාලන බල අරගලයේ ආණ්ඩුවත් – විපක්ෂවල ප්‍රධානීන් හා දැනට විසිරී සිටින දේශපාලන පක්ෂත් අතර මුහුණට මුහුණ සටනක් සිදුවන්නේ කොළඹ මහ නගර සභාවට බව නිසැකය. සජබයේ මුජිබර් රහමන් මේ සඳහා සේනා සංවිධානය කරමින් සිටියත්
තවමත් සජබයේ ක්‍රියාකාරකම් ගැන ඒ පක්ෂයේම හවුල්කාරයන්ගෙන් ද විවේචන ඇසෙයි. සජිත් හා මුස්ලිම් කොංග්‍රසයේ රවුෆ් හකීම් අතර විශේෂ හමුවක් සිදුවන බව වාර්තා වුවත් එහි කිසිදු තොරතුරක් මේ ලියන අවස්ථාව දක්වා ද නොලැබුණි. කුමක් වුවත් එයින් පෙනී යන්නේ සජබය මෙහිදී අසමත් බවය. සජබයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ අයට ඔහු තරග කළ කොට්ඨාසයවත් දිනාගත නොහැකි විය. එහෙත් මේ පරාජිතයා යළි ගෙන ඒමේ මෙහෙයුමක් ගැන ද වාර්තා විය. එය අසාර්ථක වෙද්දී තවත් නමක් ද යෝජනා විය. ඒ නම පිළිබඳව ද ඒකමිතික බවක් නොපෙනුණි.
මේ අතර සජබයේ තිස්ස අත්තනායක එජාපයේ තලතා අතුකෝරළ පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් හා ශ්‍රීලනිපයේ ලසන්ත අලගියවන්න යන අයගේ නායකත්වයෙන් මාධ්‍ය හමුවක් ද පවත්වා කොළඹ පුරපති සටනේ ප්‍රගතිය ගැන කරුණු කියනු ඇසුණි. සජබ තිස්සට අනුව මේ ඒකාබද්ධ විපක්ෂයක සන්ධානයක් හෝ එක් වීමකි. එහෙත් මෙහිදී මාධ්‍යවේදීන් විසින් නඟන ලද ඇතැම් ප්‍රශ්නවලට ඔවුන්ට නිශ්චිත පිළිතුරු නොවූ බව ද පෙනුණි. පොදු විපක්ෂයක් ලෙස ඔවුන් එක්ව සිටින්නේ කවර ප්‍රතිපත්තියක් හෝ මූලික එකඟතාවක් හෝ අනුව නොවන බව ද එයින් හැඟී යයි. එහෙත් පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් පැවසුවේ මාලිමාවේ බලයට එරෙහි කණ්ඩායම් ලෙස මේ පිරිස් එක්ව සිටින බවකි. සජබයේ කොළඹ සටනේ භාරකාරත්වය දරන මුජිබර් රහමන් ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියේ ද නැත. මුජිබර්ට අනුව නම් කොළඹ බලය පිළිබඳ ඔවුන්ට ගැටලුවක් නැත.
ආණ්ඩු පාර්ශ්වය පවසන්නේ ද තම නගරාධිපති අපේක්ෂිකාව වන බ්‍රායි බල්තසාර් ස්ථිවරම ජයග්‍රහණය කරන බවකි. පසුගියදා නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල සමග ඇය නගර චාරිකාවකට එක්ව පැවසුවේ තමන් දැනටමත් කොළඹ නගර සභාවේ කටයුතු ආරම්භ කර තිබෙන බවකි. සජබයේ මුජිබර්ට නම් එය විහිළුවක් විය. කුමක් වුවත් මේ කඳවුරු දෙකම තවම කරන්නේ මාධ්‍ය සන්දර්ශන පැවැත්වීමට වඩා වැඩි දෙයක් නොවේ. අප තේරුම්ගත් ආකාරයට නම් ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබාගන්නා අයට මෙහිදී වාසිදායක තත්ත්වයක් තිබේ. එහෙත් තවමත් ස්ථිරව අදහසක් ප්‍රකාශ කළ නොහැකිය. මෙම 16 වැනිදා එනම් හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී කොළඹ බලය තීන්දු වන බව නම් දැනට අපට කිව හැකිය.