ව්‍යවස්ථාමය සහ නීතිමය හිල් රැසක්
සිරකරුවන් 70 දෙනකු දැනට අනීතිකව නිදහස් කරලා
මෙයාලා බන්ධනාගාර ඇතුළේ රාජධානි හදාගෙන නඩු අහලා සමාව දෙනවා. මේගොල්ලෝ සර්ව බලධාරීන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ සියලු දේවල් සිදුවෙන්නේ මේ සැකකරුගේ නායකත්වයෙන්. මොහුගේ අනුදැනුම නැතුව මේ වගේ වැඩ කරන්න බැහැ. ලක්ෂයක් දඩ ගහපු පස්දෙනෙක් පොදු සමාව ලබන්න සුදුසුකම් ලබලා තිබෙනවා නම් ඔවුන් අතරින් එක්කෙනෙක් මේ ගොල්ලෝ තෝරාගන්නේ කොහොම ද? කියලා මම ප්‍රශ්න කරනවා.
ඒ අයව සම්මුඛ පරීක්ෂණයට භාජන කරනව ද? එහෙම නැත්නම් තමන්ට ලැබෙන වාසියට අනුව නිදහස් කරන පුද්ගලයාව තෝරගන්නව ද? කියලා මම ප්‍රශ්න කරන්න කැමතියි. මෙයාලා නිදහස් කරන පුද්ගලයන් ගැන කවදාවත් අධිකරණ දැනුවත් කරන්නේ නැහැ. මොකද ඒක එයාලට මදිකමක්. එයාලා හිතාගෙන ඉන්නේ එයාලා සියල්ලට උඩින් ඉන්නවා කියලා. ඇත්තට ම වෙසක් දින නිදහස් කළ 388 දෙනා ඇත්තට ම නිදහස ලැබීමට නියමිතව සිටි අය ද කියලත් අපි පරීක්ෂණයක් කරනවා.
මොක ද මේ පුද්ගලයන්ගේ නම් එවන්නේ නෑ. අංක විතරයි එවන්නේ. ඒ නිසා ඒ ගැනත් අපි පරීක්ෂණ කරනවා,
මේ නඩුකරයේ ප්‍රධාන බූවල්ලා ඇතුළේ හිටියට එයාගේ අඬු එළියේ දස අතේ විහිදිලා තිබෙනවා. ඒ නිසා මේ වගේ පුද්ගලයෝ ගැන සැහැල්ලුවෙන් තකන්න බැහැ. ස්වාමීනී අපි විමර්ශන කරලා ඊළඟ සති දෙක තුළ අධිකරණයට හිතාගන්න බැරි මවිතයට පත්කරන තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා,”
යනුවෙන් පසුගිය සතියේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ප්‍රකාශ කළේ, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතාය. ඔහුගේ නාට්‍යරූපී භාෂාව සමඟ ජනාධිපති සමාව අවභාවිත කිරීමේ කතාව පිළිබඳ පොදුජන මතයද හැඩගැසී ඇති බව පෙනේ.
අපගේ උත්සාහය මේ සිදුවීම ගැන එතරම්ම නාට්‍යරූපී නොවන, බුද්ධිමය විමසුමක් කරන්නටය. බලය, අවභාවිතය සහ විසදුම් ගැන සිතන්නටය.
මේ කතාව ලියන මොහොත වන විට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා දැන් ඉන්නේ රිමාන්ඩ් භාරයේය. අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයාද සිටින්නේ බන්ධනාගාරගතවමය. තවත් බන්ධනාගාර අධිකාරීවරුන් කීදෙනෙකුට එම ඉරණම අත්වේදැයි සැක සහිතය. ඒ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු සිරකරුවන් 70කට අනීතිකව සමාව ලබා දී ඇතැයි හෙළිදරව් වී හමාර නිසාය.
දැන් රටේ බන්ධනාගාර 28ටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති බන්ධනාගාර, තරුණ කඳවුරු, වැඩ කඳවුරු සහ එළිමහන් සිර කඳවරුවල අධිකාරීවරුන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ලේඛන පරීක්ෂා කිරීමට ජුනි 12 වැනිදා එලෙස සියලු බන්ධනාගාරවලට ඇතුළු විය.
අප මෙහි කතා කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයාත් නොදැන, විධායක ජනාධිපති බලතල අවභාවිත වූ ඛේදවාචකයක් ගැනය. බලය දූෂිත බවත්, අධික බලය අධික ලෙස දූෂිත බවත් මනාව ප්‍රත්‍යක්ෂ වන සිදුවීම් පෙළක් ගැනය. මෙම සිදුවීම වඩාත් නාට්‍යරූපී එකක් වුණේ,
මුල් සිදුවීම
අනුරාධපුර බන්ධනාගාරයේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි, අනුරාධපුර මහාධිකරණයේ පැවති එච්සී/69/2018 අංකය දරණ නඩුවේ විත්තිකරු විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නම් වූ සැකකරුවාට ජනාධිපති සමාව ලබා දී ඇතැයි සඳහන් කරමින් අනුරාධපුර මහාධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි. ඔහු රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය පරිහරණය පිළිබඳ දඬුවම් ලබා සිටී. ඔහුට ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මගින් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර ඇත.
එහෙත්, ඔහුට ඒ වෙද්දී දඬුවම ක්‍රියාත්මක වී තිබුණේ නැත. එයට හේතුව ඔහුට තිබුණේ දඩය නොගෙව්වහොත් මාස හයක සිර දඬුවමක් වුව ජුනි 05 වැනිදා ඔහු දඩය ගෙවනවාද, නැත්නම් තමන්ට හිමි සිර දඬුවම විඳිනවාද යන්න ප්‍රකාහ කිරීම සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගත පුද්ගලයෙකු ලෙස එන විටත් ඔහුව සිර දඬුවමින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබුණි. මෙය විශාල ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ පාර්ලිමේන්තුව්දී පවා සිදුවීම ප්‍රශ්න කෙරුණු නිසාය.
මේ සිදුවීම අවසන් වූ විගස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පසුගිය සිකුරාදා (ජූනි 06) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෙසක් පොහොය දිනය වෙනුවෙන් පොදු සමාව පිරිනැමීම යටතේ අදාළ පුද්ගලයා නිදහස් කළ බව ය.
එහෙත් ඊට පසු දින ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේ අදාළ ජනාධිපති සමාව ලබා දීම, පොදු සමාව පිරිනැමීම යටතේ ජනාධිපතිවරයා විසින් අත්සන් කර අනුමැතිය ලබාදුන් නම් ලැයිස්තුව යටතේ සිදු නොවූ බවය. මේ පිළිබඳ ජුනි 06 දිනැතිව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම කේ. ප්‍රසන්න චන්දිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් මෙම සිදුවීම ගැන විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා සිටින ලදී.
අනුරාධපුර අධිකාරී
සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා වන එම්. එස්. මොහාන් කරුණාරත්න අත්අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහෙස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කළේ ඒ පසුබිමේය. එකී ක්‍රියාවලියට ආධාර අනුබල දෙමින් හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත නිදහස් කළ අතුල තිලකරන්ත යන සැකකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බවට ජුනි 06 දිනැතිව ඉදිරිපත් කළ ලේඛනය අසත්‍ය ලේඛනයක් ලෙස පෙන්වාදෙමින් ඔහුට විරුද්ධව කරුණු ඉදිරිපත් කර තිබේ. අතුලට අමතරව තවත් සැකකරුවකු නිදහස් කිරීම ගැනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයේදී කරුණු අනාවරණය විය.
අපරාධ විමර්ශනය
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැමිණිල්ල මත ජුනි 07 වැනිදා ප්‍රසන්න චන්දිත් කුමාරගේ පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සටහන් කරගන්නා ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති විශේෂ පොදු සමාව යටතේ නිදහස් කිරීම සඳහා වන ඉල්ලීම් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා විසින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කරයි. එසේ ඉදිරිපත් කරන ඉල්ලීම් අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශ සහිතව ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නියමිත කොන්දේසි සපුරා ඇති ලේඛනයේ ඇතුළත් සිරකරුවන් සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ජනාධිපති විශේෂ පොදු සමාව ලබාගැනීමට අනුමැතිය ලබාදීමෙන් එකී අනුමැතිය ලබාදුන් පිරිස බන්ධනාගාර වෙතින් පොදු සමාව ලබාදෙයි.
ඒ අනුව අප්‍රේල් 28 දිනැතිව බන්ධනාගාරගත කළ සිරදඬුවම් විඳින රැඳෙවියන් 338ක් මැයි 12 දිනට යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් නිදහස් කිරීම සඳහා වන ඉල්ලීමකට අනුව මැයි 09 දිනැති ලිපියක් මගින් ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් අනුමැතිය ලබා දී ඇත. මෙකී අනුමැතිය ලබාදීමේදී කාණ්ඩ හතරක් යටතේ අනුමැතිය ඉල්ලුම් කර තිබේ.
පළවැනි කාණ්ඩය මැයි 12 වන විට
බන්ධනාගාරගතව සිටින සියලුම සිරකරුවන් ගෙවන ලද වසරකට හෝ ඉන් දින කොටසකට සතියක සමාවක් ලබා දීමය. දෙවන ක්‍රමවේදය වන්නේ වෙසක් දින වන විට දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින සියලුම සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීමය.
තුන්වැනි ක්‍රමවේදය වන්නේ වෙසක් දින වන විට නියම කර ඇති සිර දඬුවමින් අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සැකකරුවන්ගේ දඬුවමේ ඉතිරි ශේෂය අවසන් කිරීමය.
සිව්වැනි ක්‍රමවේදය වන්නේ වෙසක් දිනය වන විට වසර 30ක් හෝ ඊට වැඩි දඩුවමක් නියම කර, එම දඬුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයේ සිර දඬුවම් නියම කළ දින සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීමට ද වන ලෙසයි.
මෙසේ ඉදිරිපත් කර ඇති ඉල්ලීම්වලට අදාළව අධිකරණ අමාත්‍යාංශය මගින්ද ඔවුන්ගේ නිර්දේශ ලබාදීමේදී ඉහත කාණ්ඩයන්ට අදාළ සිරකරුවන් දණ්ඩ නීති සංග්‍රහයේ හා වෙනත් අණපනත් කිහිපයක සඳහන් වැරදි සිදුකරන ලද සිරකරුවන් මෙකී විශේෂ පොදු සමාවට ඇතුළත් නොකළ යුතු බව සඳහන් කර ඇත.
ඒ අනුව මෙසේ ජනාධිපති සමාව සඳහා ඉදිරිපත් කරනු ලබන සිරකරුවන්ගේ නම, වරදේ ස්වභාවය, දඬුවම ලබාදුන් දිනය, බන්ධනාගාරගත කළ දිනය, සිර අංක, නඩු අංකය යන කරුණු ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් ලබාගැනීමෙන් අනතුරුව එකී වාර්තාව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අමාත්‍යවරයාගේ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා පරිශීලනනය කර ජනාධිපති ලේකම්වරයා විසින් ජනධිපතිතුමා වෙත යොමු කර ලබාගනු ලබන අනුමැතියට අනුව මෙසේ අනුමැතිය ලත් සිරකරුවන් පමණක් නිදහස් කිරීමට ගරු ජනාධිපති ලේකම් හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත යොමු කරයි.
ඒ අනුව දිවයින පුරා බන්ධනාගාර 28ක් මගින් ජනාධිපති සමාව ලැබී ඇති ලේඛනයේ ඇතුළත් සිරකරුවන් මුදා හැරීම සිදු කරයි. එහෙත් මේ පැමිණිල්ලට අදාළ විමර්ශනයේදී තහවුරු වී තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අනුමැතිය ලත් ලේඛනයේ ඇතුළත් නොවූ සිරකරුවන්ද බන්ධනාගාර වෙතින් ජනාධිපති සමාව ලැබූ බවට ව්‍යාජ ලෙස සටහන් යොදමින් නිදහස් කර ඇති බවය.
කෙසේ වෙතත් අප පෙර සඳහන් කළ අනුරාධපුරයේ රැඳෙවියන් දෙදෙනා සහ ඊට අමතරව 2024 නත්තල් දිනය වෙනුවෙන් අනුමැතිය නොලැබූ සැකකරුවන් 57කට අධික ප්‍රමාණයක් නිදහස් කර ඇත. 2025 නිදහස් දිනයේදී සිරකරුවන් 11 දෙනකු අනුමැතිය නොලබා නිදහස් කර ඇත. ඒ මෙරට බන්ධනාගාර 28 දීය.
කෙසේ වෙතත් මේ දැනට වාර්තා වන සංඛ්‍යාව පමණි. සිරකරුවන් 70 දෙනෙකුට මෙලෙස නිදහස් ලැබී ඇති අතර, ඉදිරියේදී තවත් තොරතුරු හෙළිදරව් වනු ඇත.
විධායකය සහ එහි බලය

මේ කතාවේ ඉතිරිය කීමට පෙර ඉතා පැහැදිලිව යමක් කිව යුතුය. ඒ ව්‍යවස්ථාවේ සන්දර්භය සහ ජනාධිපතිවරයාට පැවරී ඇති අධික බලයයි.
සිරකරුවන්ට පොදු සමාව දීමේ අවශ්‍යතාවක් ඇතැයි බන්ධනාගාර පිළිබඳ උනන්දුවන ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණකි.
විගණකාධිති දෙපාර්තමේන්තුවට අනුව වැලිකඩ බන්ධනාගාරයේ ධාරිතාව ඇත්තේ සිරකරුවන් 1422කටය. එහෙත් සිරකරුවන් 2490ක් සිටී. රිමාන්ඩ් බන්ධනාගාරයේ ධාරිතාව 423කි. එහෙත් සිරකරුවන් 1676ක් සිටී. මැගසින් බන්ධනාගාරයේ ධාරිතාව 493කි. එහෙත් සිරකරුවන් 1282ක් සිටී. මහර බන්ධනාගාරයේ සිරකරුවන් 1000ක ධරිතාවකි. එහෙත් සිරකරුවන් 2907ක් සිටී. මෙයාකාරයෙන් බන්ධනාගාර ගණනාවක ධාරිතාව ඉක්මවා අතිවිශාල ලෙස සිරකරුවන් රඳවා සිටින්නේ අමානුෂික ලෙසය. එසේම යම් යම් වැරදිවලට දඬුවම් ලැබූ බොහෝ දෙනකු යහපත් කල්ක්‍රියාව මෙන්ම වරද අවබෝධ කරගනිමින් වෙනත් පුද්ගලයෙකු බවට පත් වූ අවස්ථාද ඕනෑ තරම්ය. කොහොම වෙතත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණ විය යුත්තේම පුද්ගලයන් එලෙස යහපත් තත්ත්වයට යොමු කිරීමය.
එහෙත්, ලංකාවේ බන්ධනාගාර පද්ධතිය ප්‍රකටව ඇත්තේ අපරාධකරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදී උපාධි සහතික ලබාදෙන විශ්වවිද්‍යාල ලෙසය. කුඩා මංකොල්ලයකට, ගැටුමකට රිමාන්ඩ් බන්ධනාගාරගත වන වඩාත් ආවේගශීලී තරුණයන් බන්ධනාගාරවලින් පාතාලයන් දක්වා උපාධි ලබයි. කුඩු සළිඳු නමින් ප්‍රකට සළිඳු මලිෂ්ක පවා එබඳුය. ආවේගශීලී තරුණයෙකුට ආවේග පාලනය කරන්නට සහයෝගයක් බන්ධනාගාරවල නැතිද? යහපත් පුරවැසියෙකු වීමට පාර කපන ක්‍රමවේද බන්ධනාගාරයේ නැතිද?
එවැනි පසුබිමකය පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලියක් අවශ්‍ය විය යුත්තේ. එහෙත්, එවැනි වරදකදී සමාව ලබාදීමේ බලය තිබිය යුත්තේ කා අතද? විධායකය අතද? විධායක ජනාධිපති ක්‍රමය තුළින් රාජකීය බලයක් ජනාධිපතිවරයාට ලබා දී ඇත. ඇත්තෙන්ම ජනාධිපති සමාව කියන්නේ රාජාණ්ඩු ක්‍රමයෙන් පැනනැගි ක්‍රමවේදයකි. රාජාණ්ඩු යුගයේදී’විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වුණේ රජුය. එහෙත්, නූතන ක්‍රමයෙහි අධිකරණය ස්වාධීන ආයතනයකි. එහි බලය පැනනගින්නේ ව්‍යවස්ථාදායකයෙනි.
බන්ධනාගාර පාලනය කරනු ලබන්නේ 1877 අංක 16 දරන බන්ධනාගාර ආඥාපනත මගින්ය. කෙසේ වෙතත්, සිරගත වන සිරකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ විශාල බලයක් ඇත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටය.
2023 ජුලි 17 වැනිදා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ආඥාපනත දැන් පවතින අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් නොවන බවය. එබැවින් නව බන්ධනාගාර පරිපාලන පනතක් හඳුන්වාදීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ගෙන ඇත. බන්ධනාගාර කොමසාරිස් මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවත් විධායකයේ කොටසකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි ව්‍යවස්ථාව, බන්ධනාගාර ආඥාපනතට එකතු කරන ලද සංශෝධන සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාව පත් කිරීමේ ක්‍රමවේද සැකසී ඇත. තුෂාර උපුල්දෙණිය පත් කරන ලද්දේත් විධායකය විසිනි. 2025 ජුනි 09 වැනිදා කැබිනට් මණ්ඩලය ඔහුගේ වැඩ තහනම් කිරීමටත්, වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙක් පත් කිරීමටත් තීන්දු කළේය. එයිනුදු බන්ධනාගාරය විධායකයේ කොටසක් විය.
සමාව දෙන හැටි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව අනුව අධිකරණයකදී වරදකරුවකු කරන ලද කවර වූ හෝ වරදකරුවෙකුට සමාව දීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇත. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා විසින් එම බලය පාවිච්චි කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය නිශ්චිත කර දක්වා නැත.
ශ්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට, සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට, නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනාධිපතිවරයා කල්පනා කරන කාලසීමාවක් හෝ ඇතිව හෝ කල් තැබීමට, ඒ වරකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවමක් මුළුමනින් නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද, එකී වරදකරු කළ වරද හේතුකොටගෙන ඔහුගෙන් රජයට අය විය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුළුමින් ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කෙටසක් අඩු කිරීමට ද, එකී වරදකරු කිරීම හේතුකොටගෙන ඔහුට අයත් වස්තුවක් රාජ්‍ය සන්තක විය යුත්තේ නම්, එසේ රාජ්‍ය සන්තක විය යුත්තා වූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම මුළුමනින්ම අත්හිටුවීමට, ජනාධිපතිවරයාට බලය ඇත්තේය.’ යනුවෙන් ව්‍යවස්ථාවේ සඳහන් වේ.
මෙම බලයට ඇති එකම සීමාව මෙසේය. ‘එසේ වුවද, එසෙ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමග එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය.’ යනුවෙන් ව්‍යවස්ථාවේ 34 (1) ව්‍යවස්ථාවේ සඳහන් වේ.
ඒ අනුව ව්‍යවතිරේඛයක් ඇත්තේ මරණ දඬුවම ලැබූ කෙනෙකුට ජනාධිපති සමාව දුන් අවස්ථාවකදී පමණි. මෑත කාලයේදී රෝයල් පාක් මිනීමැරුමට අදාළව ජූඩ් ශ්‍යාමන්තට ලබාදුන් ජනාධිපති සමාව, මිරුසුවිල් සමූහ ඝාතනයට අදාළව සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව සහ භාරත ලක්ෂ්මන් ඝාතකයට අදාළව දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළේත්, ඓතිහාසික නඩු තීන්දු ලැබුණේත් ඒ කියන ව්‍යවතිරේඛය අනුගමනය නොකළ නිසාය.
දැන් සිදුව ඇත්තේ අනෙකකි. ජනාධිපතිවරයාගේ අත්සනත් නැති නම් ජනාධිපති සමාව ලැබූ ලෙස කියමින් අඩු තරමේ 70 දෙනකුට සමාව ලබාදීමකි. සරලව කීවොත් ජනාධිපතිත් නොදැන ජනාධිපති සමාව අවභාවිත කිරීමකි. මේ වරද පසුපස නිලධාරීන් සිටින බව හැබෑවකි. එහෙත්, නිලධාරීන්ට අමතරව ව්‍යවස්ථාමය සහ නීතිමය හිල් ද රැසක් පවතින බව කිව යුතුමය. කෙසේ වෙතත්, මේ වෙද්දී මෙලෙස ජනාධිපති සමාව අවභාවිත කිරීමට එරෙහිව අධිකරණයට යෑමට කටයුතු කරන බව නීතිඥ සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
චක්‍රලේඛයක්
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙන්ම, අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව ඉදිරිපත් කළ අවස්ථාවේදීද ඔවුන්ගේ නීතිඥයන් අධිකරණයට කී කරුණක් ඇත. ඒ ම සේවාදායකයන් පියවර ගත්තේ බන්ධනාගාර චක්‍රලේඛයකට අනුව බවය. ඔවුන් කියන විදියට අනුමැතිය සඳහා ජනාධිපතිවරයාට නම යැවීමෙන් පසු යමෙකු සුදුසුකම් ලැබුවහොත් එවැනි අයව ඇතුළත් කිරීමට බලය ලැබී ඇති බවය. එහෙත්, සැබෑ ලෙසම එවැනි කිසිම චක්‍රලේඛයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු බලය වෙනත් කෙනෙකුට පැවරිය නොහැක. මේ බව තුෂාර උපුල්දෙණිය පිළිබඳ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මෙන්ම අනුරාධපුර අධිකාරිවරයා පිළිබඳ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්ද පෙන්වා දුන්නේය. එහෙත්, ලියුම්කරු කල්පනා කරන්නේ මෙවැනි ක්‍රමවේද දිගින් දිගටම සිදුව ඇති නිසා ඇතැම් විට, මෙලෙස හැත්තෑවකට ජනාධිපති සමාව දුන් පුද්ගලයන්ට තමන්ට එවැනි බලයක් ඇතැයි මිථ්‍යාවක ගිලී සිටියා වන්නට පුළුවන. විධායක බලයේ ආනුභාවය ලත් කීදෙනකු ඒ අධික බලය අවභාවිත කර තිබෙන්නේද?
පොදු සමාව
ඇත්තෙන්ම අප පෙර කී පරිදි පොදු සමාව ලබා දීම අවශ්‍ය තත්ත්වයකි. මිනිසුන්ගෙන් බන්ධනාගාර පුරවා දැමීමෙන් සමාජයට අත්වන සෙතක් නැත. එහෙත්, යමෙකුට දඬුවමක් නියම කිරීමේ බලය මෙන්ම එම දඬුවම ඉවත් කිරීමේ බලයත් තිබිය යුත්තේ අධිකරණයටමය. අධිකරණ විනිසුරුවරුන් දීර්ඝ කාලයක් නඩු ඇසීමෙන් පසු අවසානයේ එම අපරාධකරුවන් වංචනික ලෙස නිදහස්ව ඇත්නම් ඒ අවනඩුව කාට කියන්නද? රෝයල් පාක්, දුමින්ද සිල්වා සහ අනෙකුත් තීන්දුවලදී ජනාධිපතිවරයා එය සචේතනිකව කළත් මේ කියන සිදුවීමේදී අචේතනිකව සිදුවුණත් අවභාවිත වුණේ විධායකය සතු බලයම නොවේද?
එම නිසා පොදු සමාව ලබා දීමේ බලය අධිකරණය සතු වීමත්, එම බලය ක්‍රියාත්මක කිරීමට විධිමත් පනතක් සහ නීති රාමුවක් හඳුන්වාදීමත් කාලීන අවශ්‍යතාවක් බව කිව යුතුය. තවත් කරුණක් ඇත. දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය අනුව ‘දණ්ඩන නියමයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ විට, එය ක්‍රියාත්මක කළ නිලධරයා විසින් ඒ දණ්ඩන නියමය ක්‍රියාත්මක කරනු ලැබූ ආකාරය සහතික කරමින් එම අත්සන යටතේ වූ පිටසනක් බලපත්‍රයෙහි යොදා, ඒ බලපත්‍රය එය නිකුත් කළ අධිකරණය වෙත ආපසු එවිය යුතුය.’
එහෙත්, ඇත්තෙන්ම මේ නීති ක්‍රියාත්මක නොවේ. බන්ධනාගාරයකට යන රැඳෙවියන් පිළිබඳ සම්පූර්ණ බලය පාවිච්චි කරමින් ඉන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවයි.
මේ සියල්ල මැද අප ඍජුව කියා සිටින්නේ දඬුවම් නියම කිරීම මෙන්ම සමාව දීමත් අධිකරණමය බලයක් නිසා, වහා නීති සංශෝධනය කොට, ව්‍යවස්ථාවද සංශෝධනය කොට එම බලය අධිකරණයටම ලබා දිය යුතු බවය. ඒ සඳහා පනතක් සහ විධිමත් කමිටුවක් ඇතුළු ක්‍රමවේදයක් සැකසිය යුතු බවය. බන්ධනාගාර පනත සංශෝධනය කොට දූෂණයට තිත තැබිය යුතු බවය.
තරිඳු උඩුවරගෙදර