වැඩ භාරගත්ත දවසේ ඉඳන් පුරප්පාඩු ගැන කිව්වත් ඒ සඳහා කිසිම පිළියමක් යොදා නැහැ
- ජෝසප් ස්ටාලින්

සෑම දෙමව්පියකුගේම එකම සිහිනය තම දරු පැටියාට හොඳින් උගන්වා රටට වැඩදායක පුරවැසියකු බවට පත් කිරීමයි. දෙමව්පියන් ඒ වෙනුවෙන් නොවිඳිනා දුකක් නැත. නොකරන දෙයක් නැත. අධ්‍යාපනය මුදලට තීන්දු වන කාලවකවානුවක මිල මුදල්වලටවත් හොඳ විධිමත් අධ්‍යාපනයක් ලැබිය නොහැකි තත්ත්වයකට මෙරට පත්වෙමින් පවතී. පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය බය හිතෙන හෙළිදරව්වක් කළාය . ඒ මේ වනවිට රජයේ පාසල්වල ගුරුවරුන් 40000 පුරප්පාඩුවක් පවතින බවයි. ඇය පවසන අන්දමට රටේ අධ්‍යාපනය මේ වනවිට යන්නේ පණ අදිමිනි.
පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 4240ක් සහ දෙමළ මාධ්‍ය ගුරුවරුන් 2827ක් හිඟය. දැන් පෙර පාසල්වල අකුරු උගන්වන්නේ නැත. එම කාර්යය කරන්නේ පාසලෙනි. පෙර පාසලින් පළමු වසරට පා තබන දරුවාට අකුරු හැඩතල කියාදී නිසි මග පෙන්වීමට ගුරු මණ්ඩලයක් නොමැති වුවහොත් ඔහු අකුරු හැඩතල ඉගෙන ගන්නේ වැරදි ආකාරයෙනි. එම වැරැද්ද ඔහුගේ ජීවිත කාලය තුළම නිවැරදි නොවීමට ඇති ඉඩකඩ වැඩිය.
අගමැති හරිනි අමරසූරිය අනාවරණය කරන අන්දමට රජයේ පාසල්වල හය වසරේ සිට එකොළහ වසර දක්වා සිංහල මාධ්‍ය ගුරුවරුන් 11,274ක් හිඟය. දෙමළ මාධ්‍ය ගුරුවරුන් 6121ක් හිඟය. මේ සිසු දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක අවධියයි.
කොළඹට කිරි ගමට කැකිරි
‘කොළඹට කිරි ගමට කැකිරි’ යනුවෙන් කියමනක් තිබේ. අධ්‍යාපනයට සිදුවී ඇත්තේ මේ සන්තෑසියමය. මොන තරම් ගුරු හිඟයක් පැවතියත් නගරයේ ජනප්‍රිය පාසල්වලට මේ ගුරු හිඟය බලපාන්නේ නැත. සමහර විෂයයන්වලට ගම්බද පාසල්වල ගුරුවරුන් නොමැතිව ළතවෙද්දී නාගරික පාසල්වල එකම විෂයයට ගුරුවරුන් දෙතුන් දෙනා පුටුවකට වී කල් මරන්නේ අධ්‍යාපනයේ අති විෂමතාව මොනවට කියාපාමිනි. මේ මොන හෙණගෙඩියත් පාත්වන්නේ ගමේ දුප්පත් පාසල්වලට පමණි.
පසුගිය කාලයේ රට පාලනය කළ නායකයන් සහ රාජ්‍ය නිලධාරීන්ද රට අද පත්ව ඇති තත්ත්වයට වගකිවයුතුය. .පාසල් පද්ධතියේ බිඳවැටීම අනාවරණය වනුයේ තවත් වසර ගණනාවකිනි. ඒ වන විට අස්වයා පැන ගොස් අවසන්ය. පාසලක් වැසීම යනු සිරගෙවල් දහසක් ඇරීමකි. මේ කාලය තුළ ගුරුවරුන්ගේ හිඟකම හේතුවෙන් පාසල් කොපමණ ප්‍රමාණයක් වැසීගොස් තිබේද.
ගුරුවරුන් විශ්‍රාම යෑම
අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ සේම අධ්‍යාපන ක්ෂේත්‍රයේද සෑම වසරකම අති විශාල පිරිසක් විශ්‍රාම යනු ලැබේ. එය සාමාන්‍ය සිදුවීමකි. කෙනෙකු වයසට යෑම කිසි කෙනෙකුට නැවැත්විය නොහැක. නමුත් අප පියවර ගත යුත්තේ එලෙස විශ්‍රාම යන පිරිසගේ අඩුව පිරවීමටය. එක පැත්තකින් ගුරුවරුන් රට යන අතර තවත් පැත්තකින් ගුරුවරුන් විශ්‍රාම යයි. අවසානයේ මේ සියල්ලේ පාඩුව සිදුවන්නේ රටේ අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුරට ය.
පවත්නා ගුරු හිඟය පිළිබඳ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දැක්වූ අදහස් සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ මෙවැනි කතාවකි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු පුරප්පාඩු 40000ක් පවතින බව අධ්‍යාපන ඇමැති ධුරය භාර ගත් දා සිටම ඇය කියනවා. නමුත් එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකසා නැහැ. ගුරු පුරප්පාඩු නොපිරවීම තුළ කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ළමයින්ට ගුරුවරු නොමැතිව ඉගෙන ගැනීමට සිදුවීම. දෙවැනි කාරණය තමයි ගුරු කුරප්පාඩු නොපිරවීම තුළ දුෂ්කර පළාත්වල සේවය කරන ගුරුවරුන්ට ස්ථාන මාරු සිදුකර ගැනීමට නොහැකිවීම. ස්ථාන මාරු සිදුකිරීමට නම් අනුප්‍රාප්තිකයෙකු පත් කළ යුතුයි. නමුත් අනුප්‍රාප්තිකයන් ලෙස පත් කිරීමට ගුරුවරුන් නැහැ.
අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බඳවා ගැනීම ක්‍රම දෙකකට සිදුවෙනවා. එකක් තමයි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලින් එන ගුරුවරු බඳවා ගැනීම. එතුළින් වර්ෂයකට පිටවන්නේ 5000 කට ආසන්න සංඛ්‍යාවක්. අනෙක් ක්‍රමය තමයි උපාධිධාරීන් බඳවා ගැනීම. ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව අවුරුදු 35ට අඩු අය තරග විභාගයකින් පසු බඳවා ගන්නවා. ඒ සඳහා තවමත් වැඩපිළිවෙළක් සකස් කර නැහැ.
වර්ෂයකට විද්‍යා පීඨවලින් 5000ක් ආවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත වලට අනුව වාර්ෂිකව ගුරුවරුන් 7500ක් විශ්‍රාම ගන්නවා. එම ප්‍රමාණයත් මෙම පුරප්පාඩු සංඛ්‍යාවට එකතු වෙනවා. ආණ්ඩුව රාජ්‍ය සේවයට 30000 බඳවා ගැනීමට අනුමත කර තිබුණත් ගුරුවරුන්ගේ පමණක් 40000 පුරප්පාඩු පවතිනවා.
වැඩිපුරම ගුරු හිඟයක් පවතින්නේ ප්‍රාථමික ශ්‍රේණි සඳහා. ඊට අමතරව විද්‍යා, ගණිත, තොරතුරු තාක්ෂණ වැනි විෂයයන් සඳහා පුරප්පාඩු පවතිනවා. ඒ වගේම තමයි පසුගිය කාලයේ සිදු වූ කාරණයක් වන්නේ බඳවාගත් ගුරුවරුන් නිසි පරිදි ස්ථානගත නොකිරීම. මෙවරත් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලින් පිට වූ ගුරුවරුන් ස්ථානගත කර ඇත්තේ පුරප්පාඩු පවතින තැන්වලට නොවේ. බස්නාහිර වැනි පළාත් වලටයි.
පවතින උග්‍ර ගුරු හිඟයත් සමග බොහෝ පාසල්වල එක ගුරුවරයෙකුට විෂයයන් තුන හතරක්ම ආවරණය කිරීමට සිදුව ඇත. සිංහල, බුද්ධ ධර්මය, ඉතිහාසය, කෘෂිකර්මය, චිත්‍ර එක ගුරුවරයකුට ඉගැන්වීමට සිදුව ඇත. තවත් සමහර පාසල්වල ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව, තාක්ෂණවේදය ආදිය උගන්වන්නේ එකම ගුරුවරයාය. තවත් සමහර පාසල් වල මේ විෂය කරුණු සියල්ලම එක ගුරුවරයෙක් හෝ දෙදෙනකු ආවරණය කරයි. සිංහල ගුරුවරයාට බුද්ධ ධර්මය ඉතිහාසය පිළිබඳව වැටහීමක් තිබෙන්නට පුළුවන. නමුත් ඔහු ප්‍රගුණ කර ඇත්තේ සිංහල විෂය යි. ඔහු වඩාත් දක්ෂ ඒ කෙරෙහි ය. ඔහුගෙන් අනිත් විෂයන්ට සියයට සියයක සාධාරණයක් ඉෂ්ඨ නොවේ. මේ පාඩු සිදු වන්නේ ළමයින්ටය.
රටේ පවතින උග්‍ර ගුරු හිඟය පිළිබඳ පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනියක් ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
“අපේ පාසල 06 වසරේ සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙනවා. අපේ පාසලේ ප්‍රාථමික අංශය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පසුගිය කාලයේ විද්‍යාපීඨ ගුරු පත්වීම් කිහිපයක් මේ ප්‍රදේශවලට ලබාදුන්නත් එම ගුරුවරුන් පාසලට පැමිණෙන්නත් පෙර ඉහළ නිලධාරීන්ගේ හෝ දේශපාලනඥයන්ගේ අනුහසින් එම පත්වීම් නැවත ප්‍රධාන පාසල් වලට හදාගෙන යනවා. අපේ පාසලේ විද්‍යාව විෂයයෙන් උසස් පෙළ හදාරන දරුවන්ට භෞතික විද්‍යාව උගන්වන්න වසර තුනක සිට ගුරුවරයෙක් නෑ.
කලාප කාර්යාලයට පැවසුවහම ඔවුන් පවසන්නේ පොළොන්නරුව නගරයේ ප්‍රධාන පාසලකට ළමයින්ව අනුයුක්ත කළ හැකි බවයි. නමුත් දෙමාපියන් පවසන්නේ එතරම් දුර පාසලකට තම ළමයින් ඇතුළත් කර ඉගැන්වීමට තරම් වත්කමක් නොමැති බවයි. වසර ගණනකින් චිත්‍ර ගුරුවරයෙක් මේ පාසලට නෑ. චිත්‍ර විෂය උගන්වන්නේ කෘෂිකර්ම ගුරුවරයා. දුෂ්කර ප්‍රදේශවල පාසල් වලට එන ගුරුවරු කොහොමහරි ඉක්මනින්ම මාරුවක් හදාගෙන යනවා.
ගුරු හිඟයට පිළියම්
දැනට පවතින ගුරු හිඟයට පිළියමක් වශයෙන් කඩිනමින් ගුරුවරුන් බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ගුරුවරුන් බඳවාගැනීම ප්‍රමාද වී ඇත්තේ නඩු කටයුත්තක් පවතින නිසා බවත් පැවසූ අගමැතිනිය එම ගැටලු කඩිනමින් විසඳාගන්නා තුරු උපාධිධාරීන් බඳවා ගැනීමට යෝජනා කර ඇති බව සඳහන් කර ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා බඳවාගැනීම් සිදු කිරීමේදී විභාගයක් නොමැතිව බඳවාගැනීම් සිදු නොකරන ලෙස රාජ්‍ය සේවා කොමිසම නිර්දේශයක් නිකුත් කොට ඇතැයිද අගමැතිනිය වැඩිදුරටත් පවසා ඇත.
රාජ්‍ය සේවයට අලුතින් 15000 ක් බඳවා ගැනීමට නියමිතය. ඒ අතරින් 6000 ක් ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වෙන් කර ඇත. පහළොස් දහසෙන් හයදහසක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම ඉතාමත් හොඳ දෙයකි. නමුත් මෙම 6000 පිර වූ පසුත් තවත් ගුරු පුරප්පාඩු 34000 පවතී. එම 34000 ට මේ වසර අවසන් වන විට විශ්‍රාම යන ගුරුවරුන් 7000 ත් එකතු වන බව ආණ්ඩුව තරයේ සිතට ගත යුතුය. එවිට යළි ගුරු හිඟය 41000ක් වනු ඇත.
ආණ්ඩුව හිතාමතාම මෙරට අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අරමුණින් පාසල් අධ්‍යාපනය කඩා වැටෙන්නට සලස්වනවාද යන සැකය මේ වන විට හටගෙන තිබේ. එසේ වුවහොත් සිදුවන්නේ ඇති හැකි එකා ඉගෙන ගනිද්දී නැති බැරි කෙනා සමාජයට තවත් බරක් වීම පමණි.
සමීර කන්නන්ගර