පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල පැමිණ දැන් සති තුනක්ම ගෙවී ගොස් අවසන්ය. පළාත් පාලන ආයතන 151ක පිරිසිදුව තනි පක්ෂයක් ලෙස බලය පිහිටුවීමට ජයග්‍රාහී ජාතික ජනබලවේගයට හැකියාව ලැබුණි. තවත් පළාත් පාලන ආයතන 179 ක බලය පිහිටුවීමට වැඩි වාසි ඇත්තේ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයට වුවත් එය තාමත් අවිනිශ්චිත කාරණාවක්ව ඇත. ලබන දහසය වැනිදා එම පළාත් පාලන ආයතන රැස්කිරීමෙන් අනතුරුව කෙරෙන ඡන්ද විමසීමේදී බොහෝ ආයතනවල ඉරණම විසඳෙනු ඇති බව රහසක් නොවේ.
පසුගිය සතිය පුරාම අප දුටුවේ එම ආයතන 179හි බලය ලබාගැනීම සඳහා දේශපාලන පක්ෂ විසින් ආරම්භ කර ඇති ලොකු කුඩා මෙහෙයුම්ය. එක් පැත්තකින් රජය විපක්ෂයේ කුඩා කණ්ඩායම් හා ස්වාධීන ජයග්‍රාහකයන් ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් සාකච්ඡා පවත්වමින් කතාබහ කරමින් මහන්සි වෙමින් සිටියි. අනිත් පැත්තෙන් විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු වී ස්වාධීන කණ්ඩායම් ද එක්කාසු කරගෙන පැවැත්වෙන සාකච්ඡාවන්ද රාශියකි. මේ වන විට ස්වාධීන ජයග්‍රාහකයෝ බොහෝ දෙනෙක් මේ කණ්ඩායම් දෙකටම බලාපොරොත්තු ලබාදී ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රතිඵල ලාභ කේවල් කරමින් සිටින බව පෙනෙයි. තීරණාත්මක ඔවුන් අවසානයේ රැඳෙන තැන තීරණය වන්නේ ලබන 16වැනිදා එකී පළාත් පාලන ආයතන රැස් කිරීමෙන් පසුව පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමට පසුව ය. විශේෂයෙන්ම කොළඹ මහ නගර සභාවේ තවමත් දක්නට ඇත්තේ මෙකී අවිනිශ්චිත තත්ත්වයයි.
පසුගිය සතිය පුරාමත් විපක්ෂය මේ සම්බන්ධයෙන් එකට එකතු වී සාකච්ඡා කරනු ලැබූ අවස්ථා ගණනාවකි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මුලින්ම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ වූ ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනඟන්නට මුලපිරූ අතර සෙසු සියලු පක්ෂ ඒ සඳහා ලොකු අනුකූලතාවයක් දැක්වූයේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව හා සර්වජන බලය වැනි සංවිධාන තම තමන්ගේ දේශපාලනයේ අනාගතය ගැන සිතා වෙනම ස්ථාවරයක් ගත්හ. ඔවුන් කීවේ ඒකාබද්ධ විපක්ෂයක් වැනි බල කඳවුරකට ගොනුනොවී අවශ්‍ය තැන්වලදී පමණක් විපක්ෂයේ කණ්ඩායමකට බලය පිහිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්නට තම තම පක්ෂවල එකඟතාවක් ඇති බවයි.
එහෙත් එක්සත් ජාතික පක්ෂය උත්සාහය අත්හළේ නැත. කොළඹ මල් පාරේ රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම පසුගිය දිනවල පැවැති අතර ඒ සඳහා රනිල් පක්ෂයේ නවක කණ්ඩායම් වැඩි වැඩියෙන් එක්කර ගන්නට උත්සාහ කළේය. අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නවකයන්ට භාරදීම රනිල්ගේ අභිප්‍රායයි. පක්ෂයේ අනාගත නායකත්වය තරුණ පිරිසක් අතරට යා යුතු බවට ඔහු දැන් කල්පනා කරමින් වැඩකරයි.
විපක්ෂයේ පක්ෂ එක්ව ගමේ බලය අල්ලයිද…
මේ අතර සමගි ජනබලවේගයේ මෙහෙයවීමෙන් පසුගිය සතියේත් පළාත් පාලන ආයතනවල බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මේ සඳහා සාකච්ඡා එකක් නොව, සාකච්ඡා වට ගණනාවක්ම පහුගිය දිනවල පැවැති අතර අවසානයේ ඔවුන්ට බලය බෙදා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කර සකස් කර ගන්නට හැකි වූහ. සාකච්ඡාවට බඳුන් වූ පළාත් පාලන ආයතන ගණන 179කි. මේ අතරින් විපක්ෂයේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් මාලිමාවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාවත් සමාන වන පළාත් පාලන ආයතන ගණනාවක් ද තිබිණි. විපක්ෂයේ පක්ෂවලින් බහුතරයකගේ යෝජනාව ුවූයේ එම ආයතනය මාලිමාවටම ලබාදිය යුතු බවයි. විපක්ෂයේ බලය වැඩිපුර තියන තැන්වල පමණක් සාකච්ඡා කර බලය පිහිටුවීම වඩාත් සුදුසු බව වැඩි දෙනාගේ යෝජනාව වූහ.
ඒ සම්බන්ධයෙන් අවසානයේ එකඟතාවකට පැමිණියහ. ඒ ඒ පක්ෂ ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාවේ ප්‍රතිශතය ගෙන ඒ අනුව ගණන්බලා පළාත් පාලන ආයතන 80ක සභාපති ධුර බහුතර සමගිජන බලවේගයට ලබා ගැනීමටත් ආයතන 18ක සභාපති ධුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් ආයතන 15ක සභාපතිකම් පුටුවට ලබාදීමටත්, 5ක් එක්සත් ජාතික පක්ෂයට ලබා දීමටත් සෙසු පක්ෂවලටත් ඒ ඒ ප්‍රතිශත අනුව සභාපතිකම් ලබාදීමටත් එකඟතාවක් ඇති විය. පක්ෂ නායකයෝ හා නියෝජිතයෝ සාකච්ඡා වට කිහිපයකින් පසු මෙම තීරණයට එළැඹි අතර, සභාපතිකම් ලබා දෙන්නේ දිස්ත්‍රික්කවලට අනුව මොනවාද, පළාත් පාලන ආයතන ද යන කරුණු පවා සාකච්ඡා කර තීන්දු කරගත්හ. අනතුරුව ඔවුන් සාකච්ඡා කළේ ඒ ඒ පක්ෂවලට ලබාදිය හැකි පළාත් පාලන ආයතන ගැනයි. එය මොනවා දැයි තීරණය කිරීම තරමක් අසීරු කාරණාවක් වුවත් සාකච්ඡාවන්ට සහභාගි වූ නායකයන්ගේ ඉවසීම මත එකඟතාවයකට එන්නට ඔවුන්ට හැකිව තිබිණි.
සමගි ජන බලවේගය වෙනුවෙන් මුල පටන්ම මේ සාකච්ඡාවන්ට සහභාගි වූ අය අතර පක්ෂයේ මහ ලේකම් රංජිත් මන්දුම බණ්ඩාර මෙන්ම තිස්ස අත්තනායක ද කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළහ. එහෙත් ඔවුන්ට අවසාන එකඟතාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තිබිණි.
“පළාත් පාලන ආයතන ගොඩක් විපක්ෂයේ අනෙක් පක්ෂවලටත් දෙන්න අපි තීරණය කළාට දැන් ඒවා මොනවාද කියන එක ආසන මට්ටමෙන් අපේ සංවිධායකයන්ට කියන එක තමයි ප්‍රශ්නේ..”
“අපි මේ ගැන නායකතුමත් එක්කත් සාකච්ඡා කරලා විසඳුමකට එමු …”
ඒ අනුව සජිත් සමග කරන ලද සාකච්ඡාවේදී සජිත් කීවේ හැකි ඉක්මනින්ම ආසන සංවිධායකයන් සියලුම දෙනා සම්බන්ධ කරගෙන සූම් මීටින් එකක් පවත්වා මේ ගැන ඔවුන් දැනුවත් කර ඔවුන්ගේ අදහස් ලබාගන්නා ලෙසයි.
ඒ වන විට සජිත් සිටියේ තරමක් අසනීපයෙනි. ඔහුගේ උගුරේ ආසාදනයක් සෑදී තිබූ බැවින් කතා කිරීම පවා අපහසු වූයේය. වෛද්‍ය උපදෙස් අනුව කතා නොකර විවේකීව සිටීම අවශ්‍ය වුවත් මෙම සූම් සාකච්ඡාව සඳහා තමන්ද සහභාගි වන්නට පැමිණෙන බව සජිත් කීවේය…
සාකච්ඡාව පසුගිය බ්‍රහස්පතින්දා උදය වරුවේ පැවැති අතර රංජිත් මධ්‍යම බණ්ඩාර මහ ලේකම්වරයාද ඊට සහභාගි වූයේ නැත. ඔහුට හදිසියේ විදේශගත වීමක් යෙදී තිබිණි. ඔහු සිටියේ ඒ සඳහා සූදානම් වෙමින් නිසා සාකච්ඡාව මෙහෙයවීමට සිදුවූයේ තිස්ස අත්තනායකටය. කෙසේ වෙතත් සජිත් මේ සාකච්ඡාවට පැමිණ සිටියේය… සාකච්ඡාව ආරම්භ කරමින් සජිත් මුලින්ම කතාකර තමන් අසනීප බව දැනුම් දී අධීක්ෂණ මට්ටමින් සියලු සාකච්ඡාව අසා සිටින බව කීවේය. විපක්ෂයේ පක්ෂ එකතු වී අවසාන වශයෙන් සාකච්ඡා කර එළඹෙන ලද තීන්දු තීරණ කිහිපය තිස්ස අත්තනායක ප්‍රමුඛ නිලධාරීන් විසින් ආසන සංවිධායකයන් දැනුවත් කිරීමට නියමිත බව ඔහු පෙන්වා දී නිහඬ වුණේය.
“අපට සැලකිය යුතු පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය පිහිටුවන්න පුළුවන් වෙනවා විපක්ෂයේ ඉන්න සෙසු පක්ෂ කීපයකගේත් උදව් උපකාර ඇතිව. මන්ත්‍රීවරු හත්සීයක් විතර පිටින් අපිට ඒ සඳහා උදව් කරන්න කැමතියි. හැබැයි අපිට ඔවුන් වෙනුවෙන් යම්කිසි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක සභාපති ධුර ලබා දෙන්න වෙනවා. එතෙන්දි පක්ෂයක් හැටියට අපට ඔබට යම්කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. අපි එම කැපකිරීම කරන්න එකඟතාවය ඇතිව මේ සාකච්ඡාව සඳහා සහභාගි වෙමු..”
අපේ නායකත්වය යටතේ තියෙන පළාත් පාලන ආයතනවල නම් ප්‍රශ්න ආවේ නෑ.. ඒ මොකද අපි පළාත් පාලන ආයතනය ඇතුළේ සාකච්ඡා කරලා සියල්ල සුබදායක විදිහට විසඳගත්තා.” ගයන්ත කරුණාතිලක බෙන්තර පළාත් පාලන ආයතනය ගැන කියමින් කතා කරද්දී කින්ස් නෙල්සන් ද තමන්ට අදාළ පළාත් පාලන ආයතනයක් ගැන කතා කරන්නට ලොකු උත්සාහයක් දැරුවේය.
“ගයන්තලට වගේ එතෙන්දිම කතා කරල මේ ප්‍රශ්න විසඳගන්න තිබුණ නම් හරි හොඳයි. හැබැයි ඉතින් මේ වැඩේ ලේසි නෑ. කින්ස් පොඩ්ඩක් නිහඬ වෙලා අපිට උදව් කරන්න මේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගෙ යෝජනා ගැන කතා කරමු… දැං ඉස්සෙල්ල මේක අහන්නකෝ.”
මුලින්ම පක්ෂයේ නිලධාරියකු විසින් ඒ ඒ පක්ෂ වෙනුවෙන් ලබාදීමට හැකි ආයතන ප්‍රතිශතය දැනුම් දුන්නේය. ඉන් පසුව දිස්ත්‍රික් මට්ටමින් ඒවා මොන මොනවාදැයි පැහැදිලි කරන්නට පටන් ගත්තේය. සභාව තුළින් නොසන්සුන් බවක් පහළ වූයේ සමගි බලවේගයෙන් පිටස්තරට ලබා දෙන පළාත් පාලන ආයතනය නිවේදනය කරද්දීය.
“කරුණාකරල ඕගොල්ලෝ කලබල නොවී මේ විස්තරය අහගන්න… අපට ඕන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගන්න නම් මේ ඉල්ලීම් ටිකට ඉඩ දෙන්නම වෙනවා.” තිස්ස අත්තනායක කීවේය.
“නායකතුමා මේක අහගන්න… අපට මේ තියන තත්ත්වය තේරෙනවා. යම්කිසි ආයතන සංඛ්‍යාවක් අනෙකුත් පක්ෂවලට දෙන්න ඕන විත්තිය දන්නවා. හැබැයි ඉතින් අපට යටින් ඉන්නවා පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ, මේකට එකඟ වෙන්නේ නැහැ.. ඒ මිනිස්සු ඊට පස්සේ වැඩ කරන්නැතුව ඉඳීවි.. ” එසේ කීවේ ආසන සංවිධායකවරයෙකි.
ගමේ බලය බෙදිල්ලට සජබයේ කඹ ඇදිලි
රත්නපුරේදී ප්‍රශ්නයක් ඇතිවූයේ රත්නපුර මහ නගර සභාවේ බලය පොහොට්ටුවට ලබා දෙන්නට ලබාගෙන තිබූ එකඟතාව නිසාය. කුරුවිට ප්‍රාදේශීය සභාවේ බලය දුන්නා පිටට ලබාදෙන්නට ගෙන තිබූ තීන්දුවට ප්‍රශ්න මතුවිය. මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ සිටින සජබයේ ජ්‍යෙෂ්ඨයකු වන ඒ. ඒ. විජේතුංග දැඩිව විරෝධය පළ කළේය.
“ඒ මොන බයිලයක්ද… රත්නපුර මහ නගර සභාව දෙන්න බෑ… අපේ මිනිස්සු අපි වැඩ කරලා වැඩ කරලා මහන්සි වෙලා ලබාගත්ත ජයග්‍රහණයක්. අපි මොකටද ඒවා පිනට කාටවත් දෙන්නෙ..”
“ඉස්සෙල්ල මේ යෝජනා ටික අහගෙන ඉන්න. ඊට පස්සෙ ඕගොල්ලන්ගේ විරෝධතා තියෙනවා නම් ඉදිරිපත් කරන්න….”
ගම්පොළ ආසනයේ උඩ පළාත ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන්ද ලොකු ගැටලුවක් මතු කළේ ගම්පොළ සංවිධායක අසේල මහතාය… මෙය නොකඩවා දිනපු ප්‍රාදේශීය සභාවකි. එම නිසා අසේල දැඩි කලකිරීමෙන් යුතුව උඩ පළාත ප්‍රාදේශීය සභාව ගැන අදහස් පළ කළේය…
“ අසේල මම ඔයා ගැන දන්නවා… ඔයා අපිට ඉතා හොඳින් වැඩ කරන දක්ෂ සංවිධායකයෙක්. මේ වෙලාවෙ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එකඟතාවයකට එන්න ඕන. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරමු…” සජිත් කීවේය. සජිත් ගේ උත්තරය නිසා අසේල නම් නිහඬ විය. එහෙත් පෑලියගොඩ ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ටෙනිසන් පෙරේරා ප්‍රශ්න මතු කළේය. රක්වාන, ගොඩකවල ආසනය සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතුවිය. හෙක්ටර් අප්පුහාමි තම විරෝධය පළ කළේ පුත්තලම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා කීපයක් ගැනය. නලින් බණ්ඩාරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා ගණනාවක් පිළිබඳ ගැටලු මතු වී තිබුණු බැවින් ඔහුද විරෝධය පළ කරමින් කතා කරන්නට ගත්තේය. මිල්ලනිය ප්‍රාදේශීය සභාව ගැන කතා කරන විට ආසන සංවිධායක නයනක රන්වැල්ල දැඩි ඉල්ලීමක් කළේය…
“මිල්ලනිය කියන්නේ අපි කොට්ඨාස ගණනාවක් දිනපු ප්‍රාදේශීය සභාවක්. අපේ අය හොඳට වැඩ කරලා දිනාගත් තැනක්. අපේ අය කලකිරෙන්න බැරි නෑ. ඒක හින්දා අපට බැරිද මිල්ලනිය වෙනුවට දිස්ත්‍රික්කයේ වෙනත් පළාත් පාලන ආයතනයක් දීල මේක බේරගන්න…” නයනක නායකයා ඉලක්ක කරමින් කීවේය.
“කරුණාකරලා රත්නපුර ප්‍රශ්නය විසඳලා දෙන්න. රත්නපුර දුන්නොත් මම නම් ආයෙ වැඩ කරන්නේ නෑ… මම යනවා යන්න කොහේ හරි. මට දැන් මේ දේශපාලනය තිත්ත වෙලා. කරුණාකරලා මේ ගැන තීන්දුවක් අරගෙන ඉන්න…” ඒ. ඒ. විජේතුංග දැඩි ලෙස කියා සිටියේය.
ඒ. ඒ. විජයතුංග පසුගිය දිනවල පසු වූයේ දැඩි මානසික ආතතියකින්ය. ඊට හේතු වී තිබුණේ ඔහුගේ පුත්‍රයා මීට සති කිහිපයකට පෙර රිය අනතුරක් නිසා මියගොස් සිටීමයි. එම කාරණාව සජිත් ඇතුළු පක්ෂයේ සියලුම දෙනා දැන සිටි බැවින් ඔහු සමග මේ ගැන තර්ක කරන්නට කිසිවකුත් ගියේ නැත.
“සභා කීපයක ප්‍රශ්න තියෙන බව මට වැටහෙනවා. හැබැයි ඉතින් මේවා විසඳගන්නකම් වෙන වෙන විකල්ප නැති විත්තිය මතක තියාගන්න. දේශපාලනයේ දී අපට මේ වගේ කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. එහෙම නම් මෙම කරුණු සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ එකඟතාවය තියෙනවා. එකඟතාවයක් ඇති කරගන්න බැරි ප්‍රාදේශීය සභා කීපය ගැන තවදුරටත් අපි ඉදිරියේදී සාකච්ඡා කළ තීරණයක් ගමු. අපි මේ ගැන පක්ෂ නායකයිනුත් එක්කත් සාකච්ඡා කරලා බලන්නම් වෙනස් කරගන්න පුළුවන්ද කියලා.
මේ අතර වෙනත් තැන්වලින් කීපදෙනෙක්ම එකවර කෑගහමින් විරෝධය පළ කරන්නට පටන්ගත් නිසා තිස්ස අත්තනායක නැවත කතා කළේය.
“මේක හොඳට අහගන්න… නායකතුමත් අහගෙනනේ ඉන්නේ… මේ විදියට කලබල වෙලා අපි පළාත් පාලන ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරගන්නවා නම් මම හිතන්නේ අපි මෙවර පළාත් පාලන ඡන්දයේදී ආයතන ලබාගන්න අවශ්‍ය නෑ. එහෙම නම් ඉතිං ඔක්කෝම අත ඇරලා අපි යමු විපක්ෂයට. මාලිමාවට කැමැති විදියට පළාත් පාලන ආයතන කරගෙන යන්න දෙමු. වෙන විකල්පයක් නෑනෙ.”
“ඒක මාලිමාවට සහාය දීමක් නේද…”
“අපිට කරගෙන යන්න එකඟතාවක් ඇතිකරගන්න ඉඩක් දෙන්නේ නැත්නම් අපි වෙන මොනවා කරන්නද… හැබැයි එක දෙයක් මතක තියාගන්න. අපි කොතනකවත් මාලිමාවට සහය දෙන්නේ නෑ. කවුරු හරි මාලිමාවට සහය දෙන අය ඉන්නව නම් ඒගොල්ලන්ට විරුද්ධව අපි පක්ෂය හැටියට විනයක් ක්‍රියාමාර්ග ගන්නවා.”
ඒ වෙලාවේත් සභාවෙන් යම් යම් අදහස් පළවද්දී තිස්ස නැවතත් කතා කළේය.
“ඕගොල්ලො මේක හිතන්නකෝ. පිටස්තර අනෙකුත් පක්ෂවලට මන්ත්‍රීවරු හත්සීයක් ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ඉල්ලන්නෙ දහයට එකේ අනුපාතයක්. අපි පළාත් පාලන ආයතන නවයක් ගනිද්දි ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒකයි. ඒ තරම් සාධාරණව එයාල කටයුතු කරනවා නං අපි ඇයි මෙතෙන්දි මස් රාත්තලම ඉල්ලන ස්ථාවරයක ඉන්න හදන්නේ…”
තිස්ස මෙසේ කතාකරද්දි ආසන සංවිධායකවරු පවසන්නට ගත්තේ තම තමන්ගේ ආසනවල ඇතිවන ගැටලු ගැනයි.
“මටත් ආසන සංවිධායක ප්‍රශ්න මතු කරලා තියෙනවා කෑගල්ල සම්බන්ධයෙන්… සමහර ආසන සංවිධායකයෝ කියනවා අපේ පළාතේ ආයතන පිටට දෙන්න මමත් එකඟ වෙලා ඉන්නවා කියලා. දැන් ඒ මිනිස්සු මාත් එක්ක තරහයි…” කබීර් හෂීම් පෙන්වා දුන්නේය.
“දිස්ත්‍රික් නායකයෝ ඉන්නවා. ඒගොල්ලෝ එක එක තීන්දු ගන්නවා. නමට විතරක් තීන්දු ගන්න ඉන්නවා. නමුත් පළාතේ වැඩ කරන්න ඕන අපි” විජේතුංග නැවතත් කෑ ගැසුවේය.
“තිස්ස… මේ ගැන අපි නැවත වතාවක් විපක්ෂයේ කමිටු රැස්වීමක් කැඳවලා සාකච්ඡා කරමු… කරුණාකරලා හැමෝම නම්‍යතාවයකින් යුතුව මේ ගැන බලලා අපට මේ ප්‍රශ්නෙ විසඳගන්න උදව් කරන්න. මට කතා කරන්න හොඳ නෑ. ඒත් මේ වෙලාවේ ඕගොල්ලන්ගේ මේ විදියේ ප්‍රශ්න නිසා කතා කරන්න වෙනවා” සජිත් අවසානයේ තීන්දුවක් ගෙන එදිනට සාකච්ඡාව අවසන් කළේය.
ජනපතිගේ මුහුණටම හාමුදුරුවෝ කියන කතා…
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් රටපුරා ඇවිදිමින් විවිධ සංස්කෘතීන් හා මුසු වන්නට උත්සහ දරමින් සිටී. ඔහු පසුගියදා අනුරාධපුරයේ කාගම සිරිනන්ද හාමුදුරුවන් විසින්ම අලුතෙන් ඉදිකරන ලද විහාරස්ථානයක විවෘත කිරීම් කිහිපයකට සහභාගි වුණේ වසන්ත සමරසිංහ ඇමැතිවරයා ද සමගය.
සාමාන්‍යයෙන් කාගම සිරිනන්ද හිමියෝ ජනප්‍රිය විචිත්‍ර ධර්ම කථිකයකු වී ඇත්තේ පැත්ත ගියත් ඇත්ත කතා කරන ස්වාමීන් වහන්සේ කෙනෙකු හැටියටයි. උන්වහන්සේ පසුගිය අවුරුද්දකට වැඩි කාලයක සිට මහජනතාව හමුවේ කරන ලද ධර්ම දේශනාවලදී හිටපු පාලකයන් හා හිටපු පාලන තන්ත්‍රයන් දැඩි ලෙස විවේචනයට ලක් කළා අපට මතකය. යූ ටියුබ් නාලිකා ඔස්සේ ද දේශපාලන කරුණු රැගත් ධර්ම දේශනා කරමින් උන්වහන්සේ විසින්ම කරන ලද මෙහෙවරින් ඉතා විශාල ප්‍රයෝජනයක් ජාතික ජන බලවේගයට ද ලැබුණු බව රහසක් නොවේ. උන්වහන්සේ විවේචනය කළේ ද ජාතික ජන බලවේගයේ විරුද්ධවාදීන් ම නිසා පසුගිය දිනවල උන්වහන්සේ කැපී පෙනුණේ මාලිමාවේ භික්ෂුවක් ලෙසයි.
පසුගිය දිනවල ජනාධිපතිවරයා දිගින් දිගටම ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකුගේ උත්සව සඳහා සහභාගී වන්නට ගිය ගමන් කැපී පෙනුණි. ඒ අයුරින් කාගම සිරිනන්ද හිමියන්ගේ ආශ්‍රමයට යෑමට පෙර ජනාධිපතිවරයා ඇඹිලිපිටියේ ඕමල්පේ සෝභිත හිමියන්ගේ උත්සවයකටත් සහභාගි වන්නට ගියා අපට මතකය.
උන්වහන්සේ එසේ කළ කීපයක් කටයුතුවල ද වාසිය ලැබුණේ පසු කාලයකදී ජාතික ජන බලවේගයට බව රහසක් නොවේ. එබැවින් උන්වහන්සේගේ ආරාධනය පිළිගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක ඇඹිලිපිටියේ උත්සවයට ගොස් සිටියේය.
කාගම සිරිනන්ද හිමියෝ එම උත්සවයේදී ජනාධිපතිවරයාත් වසන්ත සමරසිංහ ඇමැතිවරයාත් ළඟ තබාගෙන කරන ලද විශේෂ කතාව පසුගිය සතියේ අපේ සමාජය පුරා රැව් පිළිරැව් දෙන්නට පටන් ගත්තේ සමාජ මාධ්‍යවලින් ඊට ඉතා ඉහළ ගණයේ ප්‍රචාරයක් ලබා දී තිබුණු නිසාය.
ඒ අතරේ උන්වහන්සේ තවත් වැදගත් කාරණාවක් මතු කළේ අද මේ රට විනාශ කළ සමාජ බලවේග පහක් හඳුන්වා දෙමිනි.
“මේ රට විනාශ කරපු බලවේග පහක් ඉන්නවා හාමුදුරුවනේ. එකගොල්ලක් ආගමික නායකයෝ. අනිත් ගොල්ල රටේ පාලකයෝ. තුන්වෙනි අය නිලධාරියෝ. ඊළඟ කට්ටිය මාධ්‍ය. අවසාන කට්ටිය තමයි ඔය ඉස්සරහ ඉන්න මේ රටේ කාන්තාවෝ. මෙන්න මේ අය තමයි ජනාධිපතිතුමනි මේ රට විනාශ කළේ.” එසේ කී උන්වහන්සේ ඔවුන්ට එසේ පවසන්නේ ඇයි දැයි වටහා දුන්හ.
එසේ කියමින් ජනාධිපතිවරයා මෙය වෙනස් කළ යුතු යැයි පැවසූහ. ජනාධිපතිවරයා මේ ක්‍රමය වෙනස් නොකළහොත් ජනතාව ඔහුට විරුද්ධව ඔහු පුටුවෙන් බිමට ඇද දමන බව පෙන්වා දුන්නේ ද නන්දා මාලනිය ගායනා කරන ගීතයක් ද තාලයට ගයමිනි.
ඒත් සමගම ජනාධිපතිවරයාට කාගම හිමියෝ දැඩි අවවාදයක් දුන්නේ ජනාධිපතිවරයා වටේ සිටින අනෙකුත් මැතිඇමැති පිරිවර ගැන ද හොඳ පණිවිඩයක් ලබාදෙමිනි.
“ඔබතුමා වටේ ඉන්නවා සිංහ හම පොරව ගත්ත නරි ටිකක්. ගමනක් යන්න පිරිවර ඕන නිසා ඒගොල්ලා එක්ක ගියාට කමක් නෑ. හැබැයි උන්ට කට අරින්න දෙන්න එපා. මොකද කට ඇරිය ගමන් මිනිස්සු දැනගන්නවා මේ ඉන්නෙ සිංහයා නෙවෙයි නරියා කියලා. පාරේ යන ඇම්බැට්ටයෝ කතා කරනවා වගේම රටක් ජාතියක් අමතන්න මේ නරින්ට ඉඩ දෙන්න එපා. පඩි ගන්නේ නෑ කිව්වට පාර්ලිමේන්තුවේ කෑම එකට සල්ලි ගෙවලා කෑවට ඩීසල් වියදම ආපහු දුන්නට සැප වාහන එපා කීවාට වැඩක් නෑ ජනාධිපතිතුමා හරියට කරන වැඩේ කරන්නේ නැත්නම්.”
මේ කතාව මතුපිටින් පෙනෙන්නටම තිබුණේ ජනාධිපතිවරයාට ආවඩමින් කරන කතාවක් බවයි. එහෙත් ඒ කතාවේ අභ්‍යන්තරය තුළ ඉතා සියුම්ව ලබා දී ඇති පණිවිඩය අතිශයින් වැදගත්ය. වසන්ත සමරසිංහ ද ඒ කතාව සිනා සිසී අසා සිටියාට එමඟින් ඔහුගේ මුහුණින් පෙන්නුම් කළේ ඒ කතාවේ බැරෑරුම් බව ඔහු ද වටහා ගත් බවයි.
වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය පනස් නවයක බහුතරයක් සිටින බව සැබෑය. එහෙත් පාර්ලිමේන්තු විවාදවලදී වර්තමානයේ විපක්ෂයේ සිටින මන්ත්‍රීවරු කීපදෙනෙක් ආණ්ඩු පක්ෂයේ කථිකයන්ට වඩා කැපී පෙනෙන බව මේ දිනවල පාර්ලිමේන්තුව ගැන උනන්දු කොයිකාටත් රහසක් නොවේ. විශේෂයෙන්ම දයාසිරි ජයසේකර, චාමර සම්පත්, ඩී. වී. චානක, නාමල් රාජපක්ෂ, නලින් බණ්ඩාර, දිලිත් ජයවීර, චමින්ද විජේසිරි, අර්චුනා ඇතුළු කීපදෙනෙක්ම මේ දිනවල කැපී පෙනේ. ඔවුන් බොහෝ විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හා ඇමැතිවරුන්ට හිසරදයක් වන අවස්ථා මේ දිනවල බොහෝය.
එහෙත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැති ඇමැතිවරු මේ කථිකයින් සම්බන්ධයෙන් විවිධ තැන්වල පළ කරන ලද අදහස් ගෙන බලන විට ඒවා තරමක් දුරට අනතුරු ඇඟවීමය. විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම හිරගෙදර කරන්නට සූදානම් වෙන්නැයි කියමින් ඇතැම් අය තර්ජනය කළ අවස්ථා ද ඇත්තේ නැතුවාම නොවේ.
ඒ අතර දයාසිරි ජයසේකරට පසුගිය දිනවල ආණ්ඩු පක්ෂයේ දැඩි විවේචනයකට මුහුණ දෙන්නට සිදු වූයේ ඔහු මීට පෙර සතියක ආණ්ඩුව සම්බන්ධයෙන් කරන ලද විවේචනයක තිබූ සාවද්‍ය තොරතුරු කීපයක් නිසාය. ඔහු උතුරු මැද පළාතේ වාහන වෙන්දේසියක් ගැන තොරතුරු කීපයක් අනාවරණය කරමින් ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළේය. එනමුත් එහිදී ඔහු ඉදිරිපත් කරන ලද තොරතුරුවල යම් යම් වැරදි කීපයක් තිබිණි. කවුදෝ ලබාදුන් වැරදි තොරතුරු මත පදනම්ව දයාසිරි කරන ලද විවේචනයට එතැන් සිට ආණ්ඩු පක්ෂයෙන් ප්‍රබල විරෝධයක් මතුවන්නට විය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු එසේ විවේචනයෙන් පමණක් සෑහීමට පත් වූයේ නැත. රජය අපහසුතාවයට පත්වන ලෙස ජනතාවට වැරදි තොරතුරු සපයමින් නොමග යැවීම සම්බන්ධයෙන් දයාසිරිට විරුද්ධව සී අයි ඩියේ පැමිණිල්ලක් ද ගොනුකරනු ලැබීය. මේ නිසා පසුගිය බදාදා ඔහුට රහස් පොලිසියේ කටඋත්තරයක් ලබාදීමට සිදුවිය.
පහුගිය බදාදා පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද පැවැති දිනයකි. විශේෂයෙන්ම චාමර සම්පත් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අපූරු තර්ක කීපයක් ඉදිරිපත් කළේය.
“අර මහින්දානන්දල නලින්ලා රජයේ මුදල් අවභාවිතා කළාය කියන චෝදනාවේ වටිනාකම මිලියන පනස් පහයි. හැබැයි ඔය ආණ්ඩුවෙ වඳුරු ඇමැති වඳුරු සංගණනයක් කරනවයි කියලා වියදම් කරපු මුදලේ වටිනාකම ඊට වැඩියි. තවම ඒ මුදල ගණනය කරලත් නෑ, කරපු වැඩේ ප්‍රතිඵලය ඉදිරිපත් කරලත් නෑ. වඳුරෙකුට රිළවෙකුට එක අඹ ගෙඩියක් ආප්පයක් අරන් දීලත් නෑ. හැබැයි අයට වඩා විශාල මුදලක් වියදම් කරලා ඉවරයි. ප්‍රතිඵල නෑ. මිලියන 55ට අවුරුදු 20ක් 25ක් හිරේ නියම වුණා නං ඔය වඳුරු ඇමැතිට දෙන්න ඕන දඬුවම කොච්චරද කියල හිතා ගන්න.”
ඒත් සමගම අධිකරණ ඇමැති හර්ෂණටත් ඔහු අභියෝගයක් එල්ල කළේ ඔහු ද අධිකරණයට අපහාස කර තිබේ යැයි පෙන්වා දෙමිනි. අනාගතයේ ඔබ කළ අපහාසය වෙනුවෙන් ඔහුටත් ජම්පරයක් ඇන්දවිය හැකි බව චාමර අභියෝගයක්ම කර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එහෙත් මේ විවේචන පාර්ලිමේන්තුවේ සිදුවන අවස්ථාවේ දයාසිරි ජයසේකර ද ඒ අවට ගැවසෙමින් සිටියත් කිසිදු විවේචනයකට සම්බන්ධ වූයේ නැත. දයාසිරි ගැන ආණ්ඩු පක්ෂයෙන් විවිධ විවේචන මතු විය. එහෙත් දයාසිරි ඒවාට පැටලෙන්නට ගියේ නැත.
පාර්ලිමේන්තු ලෝබියේ දී මේ ගැන කතාබහක් ඇති විය. දයාසිරි තම මිතුරන්ට කීවේ එදින හවස රහස් පොලිසියේ පවතින පරීක්ෂණයකට පෙනී සිටීමට තමන්ට සිදුව තිබෙන බවකි.
මාධ්‍යවේදීන් පිරිසක් උදය ගම්මන්පිලගෙන් ප්‍රශ්න කළේ ඔහුට ද රහස් පොලිසිය වෙත කැඳවීමක් ලබාදී නැද්දැයි අසමිනි.
“නෑ නෑ මට එන්න කියලා දිනයක් දීලා නෑ…, හැබැයි ඒගොල්ලෝ මගෙන් ඇවිල්ල කටඋත්තරයක් දෙන්න පුළුවන් දිනය මොකක්ද කියලා විමසලා තියෙනවා… ඒ අනුව මම ලබන සතිය දවසක සීඅයිඩියට ගිහිල්ලා කට උත්තරයක් දෙන්න හිතාගෙන ඉන්නවා.”
“මොකක් ගැනද අහන්න හදන්නේ… අර රේගුවෙන් පරීක්ෂණ නැතුව පිට කරපු කන්ටේනර් ටික ගැනද…?”
“ඔව් වෙන්න ඇති…”
“ඔබතුමා කිව්වේ ඒවා ඇතුලේ අවි ආයුධ තිබුණා කියලා නේද…”
“අනේ මම එහෙම කියන්නේ නෑ… මම කියන්නේ ඒ සම්බන්ධයෙන් එක්ස්පර්ට්ලා පළ කරපු අදහසක් උපුටලා දක්වලා කියපු කාරණාවක් විතරයි. ඒවා ඇතුලේ අවි ආයුධ තිබිය හැකියි. මත්ද්‍රව්‍ය තිබිය හැකියි කියලා මම නෙවෙයි කියන්නේ. ඒක කියන්නෙ රේගු වෘත්තීය සමිති සන්ධානය. ඔය දයාසිරි වගේ කවදාවත් කඩදාසි නැතුව මම කතා කරන්නේ නෑ. මගේ ළඟ ඔවුන්ගේ ඒ වාර්තාව තියෙනවා. ඒ වාර්තාව තුළ රේගු කටයුතු පිළිබඳ එක්ස්පර්ට්ස්ලා කියනවා අනතුරුදායකයි කියලා සැක සහිතයි කියලා රතු නිවේදන යටතේ එවන කන්ටේනර්වල අඩංගු ද්‍රව්‍ය විශ්ලේෂණය කරලා බලන කොට ඒවයි ආයුධ, මත්ද්‍රව්‍ය වගේ අන්තරායකාරී ද්‍රව්‍ය ඇතුළත් වීමේ සම්භාවිතාව 60%ක් තියෙනවා කියලා. අන්න ඒ තොරතුරු ටික තමයි මම සීඅයිඩීයට දෙන්නේ.”
“රේගුවේ ඉන්න එක්ස්පර්ට්ල එහෙම කියනව නම් කිසිම විමර්ශනයක් නැතුව ඒ කන්ටේනර් තුන්සිය විසිතුන නිදහස් කරන්න කියලා ආණ්ඩුවේ බලධාරීන් රේගුවට කියන්නේ කොහොමද…”
“එතකොට ඔබතුමා ඒ තොරතුරු අරගෙන ගිහිල්ල සීඅයිඩියට දෙනවා.”
“ඔව් මම ලබන සඳුදා ගිහිල්ලා ඒක භාර දෙන්න බලාපොරොත්තු වෙනවා…” උදය ගම්මන්පිල ඒ මාධ්‍යවේදියාට කීවේ එසේය.
බුලිත ප්‍රදීප් කුමාර