ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුතින් එක් කරන ලද එයාර් බස් A330-200 ගුවන් යානය ජුනි 04 වැනිදා පෝට් සිටි සිට පානදුර දක්වා ජනතාවට පෙනෙන ආකාරයෙන් ගමන් කළ අතර, එය දැකබලා ගැනීමට පැමිණෙන්නැයි ආරාධනා කරන බවත් මාධ්‍යවලින් ප්‍රචාරය වුණේ ජුනි 03 වැනිදාය.
ඒ මොහොතේ සිට විශාල සංවාද, විවාද, උසුළු විසුළු සහ දේශපාලන උපහාසයන් දක්වා දෑ එයාර්බස් ගුවන් යානය අලලා සමාජ මාධ්‍යවල හුවමාරු වෙන්නට පටන් ගැනුණි. ගුවන් යානය පෝට් සිටි ආසන්නයෙන් උදෑසන පහළ ගුවන් මට්ටමකින් පියාසර කිරීමට පටන් ගත්තේය. පානදුර දක්වා එලෙස ගමන් කළ ගුවන් යානය කටුනායක දක්වා ගමන් කරන ලදී. පසුදින පාර්ලිමේන්තුවත් උණුසුම් කිරීමට එම ගුවන් යානයට හැකි විය.
අප මෙහිදී අවධානය යොමු කරන්නේ ශ්‍රී ලන්කන් සමාගම අලුතින් ගත් ගුවන් යානයත්, ශ්‍රී ලංකන් ඉදිරි සැලසුම් ගැනත්, අදටත් යුක්තිය ඉටු වී නොමැති කුප්‍රකට එයාර්බස් ගනුදෙනුවත් ගැනය.
ගත්තේ කුලියට
ජුනි 04 වැනිදා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මෙසේ පැවසීය.
‘ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඊයේ ප්ලේන් එකක් ආවා. අපි දුටුවා ලංකාවේ මිනිස්සු කොච්චර නම් ගුවන් සේවයට ආදරේද කියලා. ජීවිතේට ගුවන් සේවයක ගියෙ නැති මිනිස්සු පවා කොච්චර අගය කරනවාද කියලා. මේක අරගෙන තියෙන්නේ ලීස් කරලා. මාසෙකට ඩොලර් 275,000ක් වගේ තමයි ගෙවන්න තියෙන්නේ. ගුවන් යානයක ආදායම එක්ක ගන්නකොට ඒක විශාල ප්‍රමාණයක් නෙවෙයි. අපට බොහෝ උපදෙස් දෙන රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා පාලනවලදී හොරකම් කළා. එයාර්බස් ගනුදෙනුවේ දෙපැත්තටම හොරකමක් වුණා. එයාර්බස් ගන්න රාජපක්ෂලා හොරකම් කළා. ඒ ගිවිසුම කැන්සල් කරන්න රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ලොක්කෝ හොරකම් කළා.
අපි මාසෙට ගෙවන ලීස් එක 275,000ක්. ගෙනාපු නැති හොරකමට සම්බන්ධ ගුවන් යානා වෙනුවෙන් මාසෙට ඩොලර් ලක්ෂ අටක් ගෙවනවා. ඒ නිසා ලංකාවේ මිනිස්සු ගැන ආඩම්බරයක් ඇති වුණා. ජීවිත කාලයේම ප්ලේන් එකේ නොයන අය පවා ප්ලේන් එක යනකොට අපි දැක්කා. ලංකාව හැදෙනවා කියන විශ්වාසය ප්ලේන් එක එක්ක ආවා.
ඒ අනුව රජය මෙලෙස ගුවන් යානය ගෙන ඒම මෙන්ම එය ඉහළින් සැමරීම ගැන ආඩම්බර වෙන බව පෙනුණි. ඇත්තෙන්ම ශ්‍රී ලන්කන් සමාගමේ ඉතිහාසය හා බැලූ කල එලෙස ආඩම්බර වීමේ හැකියාව තිබුණි.
බිස්නස් පංතියේ ආසන 18ක් සහ ඉකොනොමි පංතියේ ආසන 242ක් සහිත මෙම ගුවන් යානය ජුනි 04 වැනිදා උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. මෙය වසර 07කට පසු ලබාගත් පුළුල් බඳ සහිත පළමු ගුවන් යානයයි. යානය ලියාපදිංචිව සිට ඇත්තේ 4 ආර්-ඒඑල්ටී අංකය යටතේයි.
එයාර්ෆ්ලීට්ස් වෙබ් අඩවිය අනුව මෙම යානය මීට පෙර ගුවන් සමාගම් දෙකක සේවයේ යොදවා තිබුණි. පීකේ- ජීපීඑන් ලියාපදිංචි අංකය යටතේ 2011 නොවැම්බර් 11 වැනිදා සිට මෙය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් පාවිච්චි කර තිබුණි. එම සමාගමත් යානය ලබාගෙන තිබුණේ කල්බදු ක්‍රමයටය. 2020 දී කොවිඩ් වසංගතය හේතුවෙන් යානය සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි. නැවත 2021 ජුනි මාසයේදී යානය එම සමාගමට භාර දී තිබුණි. එයින් පසු යානය ෆ්ලයි ගැන්ග්වෝන් ගුවන් සේවයට එකතු කර තිබුණේ 2023 මැයි 19 වැනිදාය. දකුණු කොරියානු සමාගමක් වන එම සමාගම එච්එල්8512 අංකය යටතේ සේවයේ යොදවා තිබුණි.
ගුවන් යානය කුලියට ගත්තේ යැයි උසුලු විසුළු කරනු ලැබුවත්, සැබෑ ලෙසම මේ වෙද්දී ලෝකයේ ගුවන් සමාගම් බොහොමයක් ගුවන් යානා ලබා ගන්නේ ලීසිං පදනමෙන්ය. එයට හේතු කිහිපයක් තිබේ. මේ වන විට ලෝකයේ ගුවන් සමාගම් බෙහොමයක් වෙළෙඳපොළ අවශ්‍යතා මත ලෙහෙසියෙන් සිය ගුවන් යානා ඇණිය අඩු වැඩි කිරීමට කැමැත්තක් දක්වයි. කොවිඩ් වසංගතය පමණක් නොව, එයින් පසු ඇති වූ ආර්ථිකමය තත්ත්වය මෙන්ම මේ වන විට පවතින වෙළෙඳ යුද්ධය සහ සංචාරක තහනම් මෙන්ම යුදමය තත්ත්වයන් පවා ලෝකය වෙනස් කර තිබේ. දශක ගණන් එක සේ ගලා යන ගුවන් ගමන් ඉල්ලුමක් වෙනුවට, වේගයෙන් වරින් වර වෙනස් වන ආකාරයේ ඉල්ලුමක් ගුවන් ගමන්වලට ඇතිව තිබේ. එම නිසා එක්වර ගුවන් ගමන් ඉල්ලුම වැඩි වීමත්, එක්වර ගුවන් ගමන් ඉල්ලුම අඩු වීමත් දක්නට ලැබේ. එමෙන්ම මේ වෙද්දී බෝයිං සහ එයාර්බස් යන සමාගම් දෙකේම නිෂ්පාදන ධාරිතාව ඉක්මවූ ඉල්ලුමක් තිබේ. එක් පැත්තකින් නිෂ්පාදනය සඳහා සේවකයන් ප්‍රමාණවත් නොවීම මෙන්ම ඇණවුම් විශාල ප්‍රමාණයක් පැවතීම නිසා ගුවන් යානා මිලදී ගැනීමත් අසීරු වී තිබේ. එවැනි පසුබිමක ගුවන් යානයක් වසර කිහිපයක් සඳහා කුලියට ලබා ගැනීම ගුවන් යානා සමාගමකට සමාන්‍ය සහ බුද්ධිමත් තීරණයකි. ඉදිරියේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පුළුල් බඳ සහිත ගුවන් යානා කිහිපයක් ලබාගැනීමටත් බලාපොරොත්තු වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමගමේ 2024 වාර්ෂික වාර්තාව අනුව එම සමාගම සතුව ගුවන් යානා 21ක් පවතී. පුළුල් බඳ සහිත ගුවන් යානා 9ක් සහ පටු බඳ සහිත ගුවන් යානා 12ක් ලෙසය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා අවශ්‍යතා තක්සේරු අනුව බැලූ කල ගුවන්යානා 27ක් පමණ අවශ්‍ය වේ.
ශ්‍රී ලන්කන්
මේ වෙද්දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ලාභ නොලබන සමාගමක් ලෙස හඳුනාගනී. එයට ප්‍රධාන හේතුව සමාගමේ ජංගම වත්කම් ඉක්මවා ජංගම වගකීම් පැවතීමය. සරලම බසින් කීවොත් සමාගම සතුව දැනටමත් තියෙන දේවල්වලට වඩා සමාගම ණයවෙලා තියෙන දේවල් වැඩිය. එයට හේතුව දීර්ඝකාලීන වැරදි වේ.
එහෙත්, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මෙහෙයුම්වලින් ලාභ ලැබිය හැකි සමාගමකි. ගුවන් සමාගමත් ශ්‍රී ලංකාව වාගේමය. ණය කන්දක සිර කළත්, ගොඩ ගන්නවා නම් බැරිකමක් නැත. සමාගමේ 2025 මූල්‍ය වසරේ පළමු කාර්තුවේ පාඩුව රුපියල් බිලියන 12.9ක් විය. එම නිසාම 2025 අයවැයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙනුවෙන් මුදල් වෙන් කිරීමටත් සිදු විය. ශ්‍රී ලන්කන් සමාගමේ සේවකයන් 5935ක් සේවයේ යෙදෙයි. ඒ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් 259ක් සහ කැබින් කාර්ය මණ්ඩල 975ක් ඇතුළත්වය. ගුවන් යානා ඉංජිනේරුවන් 975ක් ශ්‍රී ලන්කන්හි සේවයේ යෙදෙයි.
2024 වසරේ ශ්‍රී ලන්කන් සමාගමේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 22කි. වාර්ෂික ලාභය රුපියල් බිලියන 3කි. සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 194කි. ශ්‍රී ලන්කන් සමූහය රුපියල් බිලියන 339ක ආදායමක් 2024 දී උපයා තිබුණි.
එමිරේට්ස් සමාගම ශ්‍රී ලන්කන් සමාගමේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන විට එම සමාගම සතුව ඒ320 ගුවන්යානා 05ක්, ඒ 330-200 වර්ගයේ ගුවන්යානා 04ක් සහ ඒ 340-300 ගුවන්යානා 05ක් ලෙස මුළු ගුවන්යානා 14කින් සමන්විත විය. ශ්‍රී ලන්කන් සමාගම 2011 දී ගුවන්යානා ප්‍රතිස්ථාපන වැඩසටහනක් හඳුන්වා දී තිබුණේ, රාජපක්ෂ ආණ්ඩුව සමයේදීය.
2030 දී ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වේ. ඒ ඉලක්කය සමග ශ්‍රී ලන්කන් සමාගමත් ගැටගැසී ඇත. වත්මන් ආණ්ඩුව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පත් කරන ලදී. ශ්‍රී ලන්කන් ඉදිරි වසර කිහිපය ඇතුළත, එනම් 2030 පමණ වන විට ගුවන් යානා සංඛ්‍යාව 50ක පමණ සංඛ්‍යාවක් දක්වා වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන බවත් කියැවෙයි.
ශ්‍රී ලන්කන් සමාගම 1979 දී ආරම්භ කළ අතර, මේ දක්වාම විශාල ආන්දෝලනයන්ට තුඩු දීමට හේතුව වුණේ ගුවන් යානයක් දෑසින්වත් නොදුටු ජනතාව මෙය පවත්වාගෙන යෑම වෙනුවෙන් බදු ගෙවීමේ තර්කයයි. එහෙත්, ගුවන් සමාගමක් ලාභ ලැබිය හැකි නිසාම වත්මන් ආණ්ඩුව ශ්‍රී ලන්කන් පෞද්ගලිකකරණය කිරීමට ඇති යෝජනාව වෙනුවට සමාගම ඉදිරියට ගෙනයෑමට තීන්දු කර තිබේ. එය සැබැවින්ම ආණ්ඩුවට අභියෝගයකි.
මීට කලින් ගන්න හැදූ හැටි

අප පෙර සඳහන් කළ ගුවන්යානා ප්‍රතිස්ථාපන වැඩසටහන අනුව ඒ330-300 වර්ගයේ ගුවන්යානා 06ක් සහ අලුතින් හඳුන්වාදුන් ඒ350-900 වර්ගයේ ගුවන්යානා 04ක් මෙහෙයුම් කල්බදු පදනම මත ලබාගැනීමටත්, එම වර්ගයේ ගුවන් යානා 04ක් මිලට ගෙන නැවත විකුණා මෙහෙයුම් කල්බදු පදනමින් ලබාගැනීමටත් තීන්දු කර තිබුණි.
එයින් පසු ඒ350-900 වර්ගයේ ගුවන් යානා 04ක් මිලදී ගැනීමට 2013 ජුනි 28 වැනිදා ගිවිසුමකට එළැඹී තිබුණි. ඒ වර්ගයේම තවත් ගුවන් යානා 04ක් මෙහෙයුම් කල්බදු පදනම මත ලබා ගැනීමට 2013 සැප්තැම්බර් 27 දින සහ 2014 නොවැම්බර් 12 දින ගිවිසුම්වලට එළැඹී තිබුණි.
එහෙත්, 2015 දී සමාගම් ප්‍රතිව්‍යුහගතකරණ සැලසුමක් නව ආණ්ඩුව සකස් කළේය. ඒ අනුව ගිවිසුම්වලට එළැඹුණු ගුවන් යානා 08 ලබා නොගැනීමට තීන්දු කර තිබුණි.
ගිවිසුම් අවලංගු කිරීමට උපදේශන සමාගම්වල සහයෝගය ලබාගෙන තිබුණි. අවසානයේ ඇමෙරිකන් ඩොලර් මිලියන 171.77ක් ගිවිසුම් අවලංගු කිරීමේ වන්දිය ලෙස ගෙවීමට එකඟ වී තිබුණි.
2024 වාර්ෂික වාර්තාවට අනුව රුපියල් බිලියන 11ක් ගිවිසුම් කඩ කිරීම නිසා වන්දි ලෙස ගෙවීමට සිදු වී තිබුණි.
එහෙත්, පසුව හෙළි වුණේ කුමක්ද? මෙම යානා මිලදී ගැනීමේදී දැවැන්ත අල්ලස් ලබාගැනීමක් සිදුව ඇති බවය.
එයාර්බස් සමාගම සිය අතරමැදියන් යොදවමින් ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය හා ඝානා යන රටවල් සමග ගනුදෙනු කිරීමේදී අල්ලස් ලබාදීම ගැන චෝදනා එල්ල වී තිබුණේ යුරෝපයේදීය. එම චෝදනා පිළිබඳව බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ඉහළම වංචා විමර්ශන ආයතනවලින් පරීක්ෂණ මෙහෙයවා තිබුණු අතර ලන්ඩන්හි සවුත්වෝක් රාජකීය අධිකරණයේදී එම පරීක්ෂණවලට අදාළ නඩු විභාගයේ තීන්දුව දී තිබුණි. මෙය ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත වැදගත්කමක් ගත් තීන්දුවක් විය.
එම අධිකරණයේදී ශ්‍රී ලංකාවේ නිලධාරියකුගේ බිරිඳක් හරහා ගනුදෙනුව කතා කිරීම හා අල්ලස් ගෙවීම ගැන කරුණුත් හෙළිවී තිබුණි.
මෙම තොරතුරු හෙළිදරව් වීමෙන් පසු මෙම ගනුදෙනුවලට සම්බන්ධ ශ්‍රී ලංකාවේ හිටපු නිලධාරියා වන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක බව හෙළිදරව් වී තිබුණි. ඉන් පසුව නීතිපතිවරයා සීඅයිඩීය කර ඇති විමර්ශනයක ප්‍රතිඵලයක් අනුව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීමක් අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඔවුන් අත්අඩංගුවට පවා ගනු ලැබීය.
ලන්ඩන් අධිකරණයේදී සහ ශ්‍රී ලංකාවේ සීඅයිඩීය හෙළි කරගත් කරුණු අනුව ඔවුන් කර ඇති අපරාධය පැහැදිළිව හෙළිදරව් වී ඇත. බී 14363/19 අංකය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළ කරුණු ඉදිරිපත් කර තිබුණි.
හෙළිවූ කරුණු අනුව 2011 ජූලි සිට 2015 ජුනි දක්වා කාලය ඇතුළත ප්‍රියංකා නියෝමාලිට එයාර්බස් ගුවන්යානා ගනුදෙනුවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලසක් ලබා දීමට එයාර්බස් සමාගම කැමති කරවාගෙන තිබේ. ඒ330 ගුවන්යානා හයක් හා ඒ350 ගුවන්යානා 4ක් මිලදී ගැනීමට එහිදී කතාකර තිබේ. ඊට අමතරව තවත් ඒ350 ගුවන්යානා හතරක් බදු දීමට එකඟ වී ඇත. ප්‍රියංකා නියෝමාලි ලවා එයාර්බස් ගනුදෙනුවට කැමති කරවාගෙන තිබුණත් ඇය ගුවන්යානා පිළිබඳ කිසිදු දැනුමක් ඇති කාන්තාවක් නොවේ.
එම මුදල ගෙවීම වෙනුවෙන් බෲනායි රාජ්‍යයෙහි ව්‍යාජ සමාගමක් ලියාපදිංචි කර ඇත. බිස් සොලියුෂන්ස් නැමැති සමාගම ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තිය නමින් ලියාපදිංචි වී ඇති අතර ඇය එම සමාගමේ එකම අධ්‍යක්ෂිකාවය.
මිලදී ගන්නා සෑම ඒ330 ගුවන් යානයක් සඳහාම ඩොලර් මිලියන 1ක් බැගින්ද, බදු ගන්නා සෑම ඒ350 ගුවන් යානයක් සඳහාම ඩොලර් මිලියන 1.16 ක් බැගින්ද අල්ලස් ගෙවීමට එකඟ වී ඇත. 2015 ඔක්තෝබර් 30 වන දිනට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තරගකාරී ගුවන් සමාගමකින් (බෝයිං වැනි) ගුවන් යානා මිල දී නොගන්නේ නම් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ගෙවීමට එයාර්බස් සමාගම එකඟ වී තිබුණි.
බ්‍රිතාන්‍ය අධිකරණයේදී හෙළිවූ කරුණු අනුව සම්පූර්ණ අල්ලස ඩොලර් මිලියන 16 ඉක්මවා තිබුණි. එහෙත් එකඟ වූ ආකාරයට ගනුදෙනු සිදු නොවූ නිසා ගෙවා තිබුණේ අල්ලසෙන් ඩොලර් මිලියන 2ක් පමණි.
ශ්‍රී ලංකාවේ සීඅයිඩීය වාර්තා කර තිබුණේ 2013.12.27 වෙනි දින ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක් ඊ.ඒ.ඩී.එස්. එච්කිව් / එස්එස්සී ෆ්‍රාන්ස් නැමැති ප්‍රංශ සමාගමක් විසින් ඒවා ඇති බවය. ඊ.ඒ.ඩී.එස්. යනු යුරෝපීයන් එරෝස්පේස් ඇන්ඩ් ඩිෆෙන්ස් කම්පැණි නම් සමාගමය. එය එයාර්බස් සමාගමේ මව් සමාගම වේ. එයින් ලැබුණු මුදල ඔස්ටේ්‍රලියානු කොමන්වෙල්ත් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමකට මාරු කර තිබිණි.
මෙලෙස බිස් සොලියුෂන්ස් නම් ව්‍යාජ සමාගමකට මුදල් ගෙවා තිබුණේ, එයාර්බස් සමාගම එම මුදල් බ්‍රිතාන්‍යයේ මූල්‍ය ආයතනයකින් ලබාගත් ණය මුදලක් මත ගෙවූ නිසාය. උක්ත නඩුව සඳහා මුල්වී තිබුණේද එලෙස ලබාගත් ණය මුදල් අවභාවිත කිරීම ගැන චෝදනාවකි. එලෙස ණය ලබාගත් මූල්‍යායතනයට ශ්‍රී ලංකාවේ මුදල් ලබාගත් පාර්ශ්වයේ නම සහ ස්ත්‍රී පුරුෂභාවය ඇතුළු අනන්‍යතාව පිළිබඳ තොරතුරු සඟවා තිබුණි. මෙලෙස මුදල් ගෙවීම සඳහා ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ගිණුමක් පාවිච්චි කර තිබුණි. ව්‍යාජ සමාගමේ ගිණුම 2015.11.25 වෙනි දින වසා දමා ඇත. ඒ වන විට එහි කිසිදු මුදලක් තිබී නොමැත. එහෙත්, අද වනතුරු එයාර්බස් ගනුදෙනුවේ වංචාවට දඬුවම් ලැබී නැති බවත් සිහිතබා ගත යුතුය. අප ශ්‍රී ලන්කන් ගැන කතා කරන්නේ ඔය පසුබිමේය.
සංචාරක කර්මාන්තයට, විදේශ ශ්‍රමිකයන්ට විශාල බරක් තැබූ දූපත් රාජ්‍යයක් ජාතික ගුවන් සේවයක් පවත්වාගෙන යෑම අපරාධයක්ද? නැත. එය විශාල ලාභ ඉපැයිය හැකි ආයෝජනයක්ද? ඔව්. ඇතැම් පුද්ගලයන් ශ්‍රී ලන්කන් විකුණා දැමීමේ අවශ්‍යතාව වෙනුවෙන් මෙතරම්ම පෙනී සිටින්නේ එයින් ලාභ ලැබීමට ඇති හැකියාව නිසාමය. එහෙත්, ගැටලුව ඇත්තේ තවත් එක් බූදලයක් විදියට එය පාවිච්චි කිරීමට ගන්නා උත්සහයන්ය. එමෙන්ම විශාල මුදලක් වාර්ෂිකව එවැනි ක්‍රියාවලට යට කිරීමට සිදුවීමයි.
තරිඳු උඩුවරගෙදර