මුහුදෙන් බැහැර ලංකාවේ එකම පර්යේෂණාගාරයේ වැඩක්
ලෝකෙ තියෙන කොරල්පර හයදාහෙන් එකසිය අසූවක් ලංකාවේ
මේ ගෙවී යන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ දශකයයි. එම දශකයේ තවත් තීරණාත්මක එක් ජගත් පරිසර දිනයක් පසුගිය පස්වැනිදා නිමාවට පත් විය.
බොහෝ කලක පටන් මිනිසා ලෝකය පුරා කඳු මුදුනේ සිට වනාන්තර තෙත්බිම් ඇතුළු මුහුදු පතුල දක්වා පරිසර පද්ධති සූරාකමින් විනාශය කරා රැගෙන යමින් සිටිති.
ස්වාභාවික පරිසර පද්ධති තුළ ඇති වැදගත්කම මෙන්ම ඒවායේ ජෛව විවිධත්වය සමග මිනිසාට ඇති සැබැඳියාව නැවත නැවතත් සිතා බැලිය යුතු මට්ටමට ලෝකය පත්ව ඇති අතර විනාශ වී යන පරිසර පද්ධතීන් ප්‍රතිෂ්ථාපනය කිරීම ගෝලීය අවශ්‍යතාවයක් බවට පත්වී අවසන්ය.
ලෝකයට මෙන්ම මුළු මහත් සත්වයාටත් පරිසරයටත් විද්‍යාත්මකව සහ ජෛව විද්‍යාත්මකව ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ජීවියෙක් ලෙස කොරල් සැලකේ. තනි ඒකක ලෙස නිර්මාණය වූ කොරල් විශාල ප්‍රමාණයක් ඒකරාශී වීමෙන් වීශාල කොරල් පර සකස් වී ඇත. සාගරයට ආරක්ෂාවක් මෙන්ම අලංකාරයක් ද පාරිසරික, ආර්ථික සහ සමාජීය වශයෙන් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස සැලකෙන මෙම කොරල් වර්ධනය මෙන්ම පැවැත්මට සාගර ජලයේ උෂ්ණත්වය හා ලවණතාවය ඍජුව බලපාන හේතු සාධකයන්වේ. වර්තමානය තුළ සාගරයේ සිදුවන ඇතැම් භෞතික සාධක හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම කොරල්පර විශාල වශයෙන් මියයමින් විනාශය කරා ළඟා වන බව සාගර විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ මෙමගින් මිනිසාට අනාගතයේදී පාරිසරික මෙන්ම සමාජයීය ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. මෙම කොරල්පර ප්‍රතිස්ථාපනය කීරීම කෙරෙහි ලොව පරිසර සංවිධාන වැඩි අවධානයක් යොමු කළත් නොයෙක් ව්‍යාපෘති ආරම්භ කළත් ඒවා භූමිය තුළ යථාර්ථයක් බවට පත් කිරීමට නම් මිනිසා සාමූහිකව එක් විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
මෙවැනි තත්ත්වයක් තුළ විනාශ වී යන කොරල්පර නැවත ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරැකීමට නම් මහත් වෙහෙසකර වූ කාර්ය භාරයක් භූමිය තුළ අපට පැවරී ඇත්තේය.
එවැනි වෙහෙසකර වූ කාර්යභාරයක් යථාර්ථයක්’ බවට පත් කරන්නට වෙර දරන ලංකාවේ මුහුදින් බාහිරව පිහිටි කොරල් පර සංරක්ෂණය හා නැවත රෝපණය කිරීමේ එකම පර්යේෂණ මධ්‍යස්ථානය පිළිබඳ සොයායන්නට දිවයින අපට පසුගියදා හැකි විය.
මෙම ක්‍රියාන්විතය පිටුපස නොපසු බස්නා වීරියෙන් ලොවට තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව නිහඬව ඉටුකරන අපූරු චරිතයක් සිටින්නේය.
ඔහු මහ සාගරයේ මියන කොරල් පර අතුරින් මියැදෙන්නට පණ අදින කොරල්වලට නැවත පණ දෙන මුහුදින් බැහැරව පිහිටි ලංකාවේ එකම කොරල් සංරක්ෂණය කිරීමේ හා නැවත රෝපණය කිරීමේ පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වන මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය රංගික හල්වතුර මහතායි.
මෙම පර්යේෂණාගාරයේ තතු විමසන්නට දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ ගෙවන ඔහුගේ කාලයෙන් පැය කිහිපයක් සොරාගන්නට පසුගිය දිනෙක අපට හැකි විය.
සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඇතුලේ කොරල් සංරක්ෂණය

සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුළ නොයෙක් පර්යේෂණ මධ්‍යයේ එම අංශයේ එක් පසෙකට වන්නට හරි අපූරුවට ඔහු කොරල් සංරක්ෂණය, රෝපණ කිරීම හා පර්යේෂණ කිරීමේ ස්ථානය පවත්වාගෙන යන අයුරු අපට දැක ගතහැකි විය.
ශිෂ්‍යයන් පිරිසක් පිරවරාගෙන කාර්ය බහුලව ගතකළත් සාදරයෙන් පිළිගෙන සිනහ මුසු මුහුණින් අප දෙස බැලූ ඔහු අප කිසිවක් කතා කරන්නට මත්තෙන්ම මාතෘකාවට ප්‍රවිෂ්ට වීය. එය අපට මහත් පහසුවක් විය.
“පුදුම හිතෙනව ද සිවිල් ඉන්ජිනේරු දෙපාර්තමේන්තුවක් ඇතුළේ මොනවද මේ කොරල් එක්ක කරන්නේ කියලා” මේක ඇත්තට ම දිග කතාවක්. අවුරුදු හතකටත් එහා ගිය කතාවක්. එක පටන් ගන්නේ උපාධි පර්යේෂණයක් හැටියට. ඒකෙදි අපිට ඕන වුණා කොරල් වවන ව්‍යුහයක් නිර්මාණය කරන්න. ඇත්තම කතාව ඒ කාලේ වෙනකොට අපි දැනගෙන හිටියේ නෑ මේ කොරල් කියන්නේ මොනවද කියලා. කොරල් කියන්නේ සතෙක් කියන එක අපි දැනගෙන හිටියේ නෑ. අපිට ඕන වුණේ ගල්මල් වවන්න සාර්ථක ව්‍යුහයක් හදන්න. එතැනින් පටන් ගත්ත මේ ගමන මේ අවුරුදු හත ඇතුළත මම හිතන්නේ ලංකාවෙ තියෙන එකම මුහුදින් එළියෙ තියෙන කොරල් පර්යේෂණාගාරය බවට පරිවර්තනය වෙනවා කියන්නේ ඇත්තට ම ඒක ලොකු කතාවක්.
මේක ඇතුළෙ සිද්ධ වෙන කතන්දර ගොඩක් තියෙනවා. අපි උත්සාහ කරන්නේ මුහුදේ මියයන කොරල් පරවලට නැවත ජීවය දෙන්න.
ලෝකෙ තියෙනවා කොරල්පර වර්ග හයදහසක් විතර. ඒ හයදාහෙන් එකසිය අසූවක් විතර ම ලංකාවෙ තියෙනවා. ඒ එකසිය අසූවෙන් අද වෙනකොට ඉතුරු වෙලා තියෙන කොරල් ප්‍රමාණය ඉතාමත්ම සීමිතයි. ඒ වගේම හරිම දුක්ඛිතයි,කොරල් ගැන කතා කරනකොට. ඒකට බලපාන කරුණු කාරණා ගොඩාක් තියෙනවා. විශේෂයෙන්ම මේ කරුණු කාරණාවල උඩින්ම ඉන්නේ මිනිස් ක්‍රියාකාරකම්. මේ ක්‍රියාකාරකම් එක්ක මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම ඒ වගේම මුහුදට කැළිකසළ බැහැර කිරීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු කතුරේ ගුණාත්මක භාවය අඩුවීමත් එක්ක මේ කොරල්පර විනාශ වෙමින් පවතිනවා. ඇත්තම කියනවනම් මේ කොරල් ඉතාමත්ම සංවේදී ජීවියෙක්. මේ සංවේදී ජීවියාගේ මේ පරිසර පද්ධතිය සුළු වශයෙන් වෙනස් කළත් ලස්සනට පිපිලා තියෙන ගල් මල් එක එක එක පාට, එක එක හැඩයට පිපිලා තියෙන ගල් මල් එක පැය ගාණකින් දවස් ගාණකින් සම්පූර්ණයෙන්ම සුදු රෙද්දකට පරිවර්තනය කරන්න අපේ මිනිස්සුන්ට පුළුවන්. මේ කතාව නැවතත් අනිත් පැත්තට හරවන්න ගන්නාවූ ව්‍යායාමයක් තමයි ඔබ මේ දකින්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මුහුදෙන් ගැලවිලා කැඩිලා යන කොරල් කැබලි ගෙනැවිත් අපේ ටැංකිවල වවලා නැවත මුහුදෙ ගිහිල්ල ඉන්දවන එකක. මේක තමයි කෙනෙක් අපි දිහා එක පාරට බැලුවහම දකින්නේ, මුහුදේ කොරල් ඉන්දන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්න පර්යේෂණ කණ්ඩායමක් හැටියට.
මුල්ම අදියර කොරල් වගාකරන පසුබිම හැදීම

නමුත් එතැනින් එහාට ලොකු කතාවක් මේක ඇතුළ සිද්ධ වෙනවා. එකක් කොරල් ඉන්දවන එක. අනික අපි මේ කොරල් ඉන්දවන ව්‍යුහයන් නිර්මාණය කරන එක ඒ කියන්නේ මියගිය කොරල් පර ඇතුළේ සිටුවන්න පුළුවන් ඉංජිනේරු තාක්ෂණය ඇතුළේ භාවිත කරන්න පුළුවන් ව්‍යුහයන් සකස් කරන්නෙ කොහොමද කියන එක. ඒවගේම ඒකට අවශ්‍ය කරන මූලද්‍රව්‍යයන් හා අමුද්‍රව්‍යයන් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තව පැත්තකින් සිද්ධ වෙනදෙයක්. ඔබ දන්නවා ඇති මියගිය කොරපරවලින් කැඩිලා ගිය කොරල් කැබලි තමයි ලොකුම බාධාව නැවත ස්වාභාවික කොරල් පරයක් ඉදිවීමට තියෙන. මේ කොරල් කෑලි නැවත හයිය පාදමක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා තව පැත්තකින් පර්යේෂණ සිද්ධ වෙනවා.
ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තුදෙන කොරල්
අපි දන්නවා මිනිස්සු විදිහට අපි හරි ආසයි විනාශ කරන්න. අපි ආසයි මේ පරිසරයේ තියෙන බලය අපිට නතු කරගන්න. නමුත් ඒ බලය අත්පත් කර ගැනීම ඇතුළේ අපට අහිමිවන දේවල් අනන්තයි අප්‍රමාණයි. අපි උත්සාහ කරනවා මේ කතා දෙකම සංකලනයක් විදිහට මේ විනාශ වන පරිසර පද්ධතීන් සහ පරිසරයේ තියෙන මට්ටම්වලට අනුගත වියහැකි කොරල් ජීවියෙක් නිර්මාණය කරන්න. ඒක තමයි අපේ අවසාන ඉලක්කය. අපි මේ කියපු අංශවලින් සෑහෙන ප්‍රගතියක් මේ වෙනකොට අත්පත් කරගෙන තියෙනවා. මම හිතන්නේ අපිට නුදුරේ ම පුළුවන්කම ලැබෙයි ලංකාවේ මියයමින් පවතින එහෙම නැත්නම් සීයට අසූවක් විතර මියගිහින් තියෙන ඉස්සර සුන්දරත්වයෙන් තිබිච්ච කොරල්පර ටික නැවත ප්‍රතිනිර්මාණය කර ගන්න. ඒ වෙනුවෙන් අපිට එක කණ්ඩායමක් හැටියට සහයෝගයෙන් වැඩ කරනවා.
ලෝක පරිසර දිනය පසුගිය පස්වැනිදට යෙදිලා තිබුණා. පරිසරය කියන එක අපේ කොටසක් නෙමෙය,ි අපි පරිසරයේ කොටසක්. අපි කියන එක තේරුම් ගන්න හොඳ දවසක් තමයි පරිසර දිනය කියන්නේ. අපි නිතර සඳහන් කරන්නේ ලෝකෙ තියෙන අධි සංවේදී ඉතා වැදගත් ජීවීන් පද්ධතියක් තමයි මේ විනාශ වෙමින් පවතින්නේ. ඉතින් අපිට මේ මොහොතේ පටන් යම්කිසි විදිහක අධිෂ්ඨානයක් කරගන්න පුළුවන් නම් අපි අතින් විනාශ වුණුදේට නැවත පණ දෙන්න පුළුවන් කියන එක මම හිතන්නේ. ඒක තමයි අපි කළ යුතුම දේ. ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය කියන එකේ වැදගත්කම අපි තේරුම් ගතයුතුයි. ඒ ක්‍රියාවේ පුංචි ම පුංචි කොටසක් තමයි අපි මේ පර්යේෂණ කණ්ඩායමක් හැටියට මේ ඉටුකරන්නේ. මම හිතනවා මේ කොරල් පරයක තියෙන පුංචි මලක් වගේ අපි මේ ගත්ත වෑයම. අනිවාර්යයෙන් මල්ඵල අරගෙන අපිට නැති වෙච්ච අපෙන් උදුරගත්ත පරිසරයේ කොටස නැවත අපිට පරිසරයට දෙන්න ශක්තිය ධෛර්යය ලැබෙයි කියලා.”
ඒ වගේම ඔහුත් එක්ක හරි හරියට වැඩ කරන්න පුළුවන් ශිෂ්‍ය පර්යේෂක කණ්ඩායමක් මෙම පර්යේෂණාගාරය තුළ සිටින්නේය. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන පශ්චාත් උපාධි අපේක්ෂක චතුස්ක නාදෙණිය මහතා තමා ගැන සහ මෙහි ක්‍රියාකාරකම් පිළිබඳව අපට පැහැදිලි කළේ මෙසේය.
කැඩුණු කොරල් වලට පණ දෙන හැටි


“මම ධීවර හා සාගර විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ශ්‍රී ලාංකා සාගර විශ්වවිද්‍යාලයෙන් හදාරා මේ වනවිට මොරටුව විශ්වවිද්‍යාලයහි සිවිල් ඉංජිනේරු පීඨයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිනවා. ඒහි progreen පර්යේෂණාගාරයෙහි පර්යේෂකයෙක් විදිහට කටයුතු කරනවා. මොරටුව විශ්වවිද්‍යාලයහි progreen පර්යේෂණාගාරය කියන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයක්. එහි මූලිකවම සිවිල් ඉංජිනේරු විද්‍යාව මූලික කරගෙන පර්යේෂණ සිදුකරනවා. එම මූලධර්මයන් ඉංජිනේරු විද්‍යාවට පමණක් සීමානොවී පරිසරය හා බැඳුණු තිරසාර සංවර්ධනයට පාරිසරික තිරසාරත්වයට ද යොදාගන්නවා වගේම නව නිර්මාණ හා පර්යේෂණ බොහොමයක් සිදුකරනවා. ඒ වගේම මෙහි සුවිශේෂීත්වය තමයි පර්යේෂණ හුදු පොත පතට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව මේ සමජයට එහෙම නැත්නම මේ මහපොළවට ඵලදායී නිර්මාණ ලෙස දායද කිරීමයි. එහි එක් කොටසක් තමා අපේ මේ කොරල් සංරක්ෂණ හා ප්‍රතිස්ථාපන පර්යේෂණ ඒකකය හා මධ්‍යස්ථානය. මේකෙදි සාමාන්‍යයෙන් අපි කරන්නේ සාමාන්‍ය කොරල්පරයක කොරල් කොටස් ස්වාභාවිකව හා මිනිස් ක්‍රියාකරකම් නිසා නිරතුරුවම කැඩීයාම සිදුවෙනවා. මෙම කැඩෙන කොටස් බොහොමයක් වෙරල දෙසට ගසාගෙන එන අතර ඉන් කොටසක් මුහුදු පත්ලේ තැම්පත් වීම සිදුවෙනවා. නමුත් මේ කැඩෙන කොරල් කොටස්වලට යළි ස්ථාවරව වර්ධනය වීමට සුදුසු උපස්තරයක් නොලැබීම සහ වෙරලට ගසා ඒම නිසා මේ කැඩෙන කොරල් කොටස් මියයනු ලැබෙනවා. අපි මෙහිදී ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ මේ කොරල්පරවලින් කැඩෙන කොරල් කොටස් එකතුකර ඒවාහි ජීවී තත්ත්වය සුරක්ෂිතව තබාගනිමින් නිසියාකරව අපගේ පර්යේෂණාගාරය වෙත ගෙන එනු ලබනවා.මෙම ගෙනඑන කොරල් කොටස් ප්‍රථමයෙන්ම අපගේ කොරල් සංරක්ෂණ හා පර්යේෂණ ටැංකි තුළ නිසි තත්ත්ව ලබාදෙමින් නීරෝදායන කාලසීමාවක් තැබීම සිදුකරනවා. ඉන්පසු මෙම කොරල් කොටස් තවත් කුඩා කොරල් කොටස්වලට කැබලිකර එම කොරල් සුදුසු උපස්තරවලට සවිකොට කෘතිමව ජලයේ ගුණාත්මකතාවය, ආලෝකය ආදී පාරිසරික තත්ත්ව මුහුදට හා සමානවා හා වඩාත් නිවැරදිව ලබාදෙමින් හා කොරල් ජීවීන්ට අවශ්‍ය ආහාර හා පෝෂක ලබාදෙමින් මාස 6ක පමණ කාලසීමාවක් වේගයෙන් වර්ධනය කිරීම සිදු කරනවා.”
පණ දුන් කොරල් නැවත මුහුදට
එම කාලසීමාවෙන් පසු මෙම කොරල් කොටස් නැවතත් ස්වාභාවික පරිසරයේ ප්‍රතිස්ථාපනය කිරීමට සුදුසු ලෙස කලාසීමවක් සූදානම් කිරීමෙන් අනතුරුව අපගේ මුහුදේ ස්ථාපනය කර තිබෙන කොරල් ප්‍රතිස්ථාපන වගාවන් තුළට එහෙම නැත්නම් මියදෙන කොරල්පරවල අප විසින් නිර්මාණය කර තිබෙන සුදුසු උපස්තරවල සවිකිරීම, රෝපණය කිරීම සිදුකරනවා පමණක් නොවේ, නිරතුරුව ම ඒවා නිරීක්ෂණය, නඩත්තු කිරීම හා ඒ ආශ්‍රිත පර්යේෂණ දියත්කිරීම සිදුකරනවා. මේ ඒකකයහි වැඩකටයුතු කරගෙන යන්න ශ්‍රී ලාංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ජාත්‍යන්තර ආයතනවල සහය සහ තවත් බොහෝ පිරිසකගේ හා ප්‍රජාවගේ සහයෝගය මත සිදුවන්නක්.
මේ අතරින් ජෝන් කීල්ස් සමූහයේ ක්‍සබබ්පදබ යදඑැකි ්බා රුිදරඑි අමතක කරන්නට බෑ. ඒ පමණක් නොවේ, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තවත් රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල මේ කර්තව්‍යය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.
මෙම විශ්වවිද්‍යාලවල සිසුන්ට පමණක් නොවේ, අප සමග ඕනම විශ්වවිද්‍යාලයක සිසුන්ට අධ්‍යාපනය ලබන්නට දැනුම ලාබාගන්නට පර්යේෂණ සිදුකරන්නට පමණක් නොවේ, පාසල් දරුවන්ටත් ප්‍රජාවටත් දැනුම ලබාගන්නව විවෘතයි.
කොරල් සංරක්ෂණය තනිව කළ නොහැකියි

ඉතින් මේ කොරල් සංරක්ෂණය තනිව කළ හැකි කාර්යයක් නොවේ. ඒ ආශිත ජනතාව හා ප්‍රජාව සමග ඔවුන්ගේ සහයෝගයෙන් කළයුතු කර්තව්‍යයක්. ඉතින් අප ප්‍රධාන වශයෙන් ප්‍රජාවත් සමග සම්බන්ධව ඔවුන්ට හා දුවාදරුවන්ට මෙම සංරක්ෂණය ව්‍යාපෘති කේන්ද්‍ර කොටගෙන දැනුම හා අධ්‍යාපනය ලබාදෙමින් කොරල් හා පරිසර පද්ධති සංරක්ෂණයෙහි වටිනාකම කියාදෙමින් ඔවුන්ගේ සහයෝගය ද ඇතුව සිදුකරනු ලබනවා. යැයි ඔහු පැවසීය.
කොරල් යනු ලෝකයට සම්පතකි. මිලියන සංඛ්‍යාත ජනයාට ආහාර හා ජීවනෝපායන් සපයන පරිසර පද්ධතියකි. පාරිසරික වශයෙන් කාබන් තිරකිරීම හා විවිධ දේශගුණික සංසිද්ධිවලට එරෙහිව ස්වාරක්ෂක යාන්ත්‍රණයක් වශයෙන් ක්‍රියාත්මක වන අපූරු ජීවියෙකි. මෙතරම් සම්පතක් අපට උරුම කරන මෙම අපූරු ජීවියාට ඇති තර්ජනයත් ඔබ, අපමය. ඔබ මා ඇතුළු සැමගේ සිතුවිලි මේ මොහොතේ පටන් කොරල් පර සුරැකීම පිළිබඳව අවධානය යොමු වන්නේ නම් තවත් වසර ගණනාවකට මේ සුන්දරත්වය අපට දැක ගතහැකිවන බව නොඅනුමානයි.
හොරණ – නයනදුල සෙන්දනායක