දෙවියන් ගැන සාහිත්‍ය
මේ දෙවියන්ට කියන නමින්ම වැටහෙන කාරණය තමයි, මේ ප්‍රාදේශීය දෙවිකෙනකු බව. ඌව බින්තැන්න ප්‍රදේශයේ අතීතයේ තිබුණා කොස්ගම කියලා ගමක්. කොස්ගම රාළහාමි මියගියාට පසුව කොස්ගම දෙවියන් බවට පත්වුණ කතාව සිංහල දේව පුරාණයේ සඳහන්වී තිබෙනවා. කොස්ගම දෙවියන් පිළිබඳ අපූරු සටහනක් තබා තිබෙනවා 1813 දී රචනා කළ දිය සැවුල් අස්නේ. තල්පේ පත්තුවේ හිරිගල් දේවාලයට අයත් විහාරයේ වැඩ විසූ තල්අරඹේ ධම්මක්ඛන්ධ හිමියන් තමයි සැවුල් අස්නේ කර්තෘතුමා. රුහුණු කතරගම දේවාල භූමියේ කොස්ගම දෙවියන්ගෙ දේවාලයක් තිබුණු බව මේ දියසැවුල් අස්නේ සඳහන් වෙනවා.
දොළහ දෙවියන් අතර ප්‍රධාන දෙවි කෙනකු හැටියට තමයි කොටගම වාචිස්සර හිමියන්- කොස්ගම දෙවියන් ගැන හඳුන්වා දෙන්නෙ.
මේ කොස්ගම රාළහාමි ගමේ ප්‍රධානියෙක්. ගෙදර දොරේ, ගමේ රටේ කාටවත් මුහුණ දෙන්න බැරි තරමටම ඔහුගේ කුෂ්ඨ රෝගය දරුණු අතට හැරුණා. කොපමණ වෙදකම් කළත් සුව වුණේ නෑ. කවදාවත් සුව නොවන නිසා ගමේ කවුරුත් කිව්වෙ ‘පරංගි’ (මේ ලෙඩේට) කියලා.
ඉතින් කොස්ගම රාළහාමි මොකද කළේ, සියලු දේ අතහැර දාලා ඔහුට අයිති හේනක පැළක් අටවාගෙන තනියම ජීවත් වුණා. මෙහෙම කාලයක් ඉන්න කොට දුර පළාතක ගමනක් යන්න ආව පුද්ගලයෙක් – හොඳටම රෑ බෝ වුණ නිසා රාත්‍රිය ගත කරන්න රාළහාමිගෙ පැළට ආවා. දැන් ඉතින් අමුත්තාට ආගන්තුක සත්කාර දැක්වූ රාළහාමි ඔහුට නිදාගැනීමට පහසුකම් සලස්වලා දුන්නා. මදුරුවන්ගෙන් බේරීමට ගිනි මැලයකුත් දල්වා තැබුවා. මධ්‍යම රාත්‍රිය පසුවෙද්දී රාළහාමිට දැනුණා ලොකු ගිනි රස්නයක්. ඔහු හනිකට අවදිවෙලා බැලුවා. මළහත් ඉලව්වයි පැළට ගිනි ඇවිලිලා. රාළහාමි ගින්න නිවාදාන්න උත්සාහ කළත් වැඩේ හරි ගියේ නෑ. ඒ වන විටත් අර ආගන්තුක අමුත්තා දැවිලා මිය පරලොව ගිහිල්ලා. ඒ මදිවට ගිනි නිවන්න දඟලපු රාළහාමිගෙ ඇඳිවතටත් ගිනි ඇවිලිලා. පාන්දර ජාමේ කුකුළා හඬලන්නත් කලියෙං රාළහාමි කැලේට පැන ගත්තා. කොළ අතු ඇඳගෙන හිටියා, වටින් ගොඩින් එළිය වැටුනට පස්සෙ ගමේ ගොඩේ උදවිය ඒවගේම රාළහාමිගෙ පවුලේ උදවිය ඇවිත් බැලුවා සිද්ධ වෙච්ච වින්නැහිය. රාළහාමි තමයි මේ පිච්චිලා මැරිලා තියෙන්නෙ, එහෙම හිතපු ගමේ උදවිය ඥාතීන් සමග එකතුවෙලා අඬලා, දොඩලා වැලපිලා අවසන් කටයුතු සිද්ධ කළා. අඳින්න වස්තරයක් නැති රාළහාමි, නිරුවතින් ඉන්න බැරි නිසානෙ කැලේ පැන්නෙ. ඒ වුණත් දවස් ගණන් මෙහෙම ඉන්න බැහැනෙ. එක දවසක් රෑ කොළ අතු පිටින්ම ගෙදර ගිය රාළහාමි අඳින්න වස්තරයක් ඉල්ලුවා. මේ ගෙදර උදවිය හිතුවා මියගිය ප්‍රාණකාරයා තමයි මේ ඇවිල්ලා ඉන්නෙ. ගෙදර ඇත්තන් බයේ කෑ ගහන්න පටන් ගත්තා. දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ – දැං ඉතින් මොකක්ද කරන්නෙ. ප්‍රශ්නය බැරෑරුම් බව තේරුම් ගත්ත රාළහාමිට හොඳ උපායක් කල්පනා වුණා. “වතුපිටි, හරකාබාන, වස්තුව, දූ දරුවන් රැක ගන්නට උඹලාට ඕන නං, ‘කොස්ගම රාළහාමි’ දෙවියන්ට දොළපිදේනි දීපියව්.” එහෙම කියලා ආපහු කැලේටම ගිහිල්ලා සැඟවුණා. අන්න එදා ඉඳලා ගමේ මිනිස්සු බත් භෝජන, කැවිලි පෙවිලි, කැලේට අරං ගිහිල්ලා ගසක් උඩින් තියලා කණ්නලව් කරලා එනවා. රාළහාමි මිය යනතුරුම බඩවියත රැක ගන්නට මේ වැඩේ කළා. මේ භෝජන සංග්‍රහවලට ආශාවෙන් මිය ගිහිල්ලා රුක් දෙවියෙක් (රුක්‍ෂදේවතා) බවට පත් වුණාය කියලා ජනප්‍රවාදයේ කැයැවෙනවා. කොස්ගම බණ්ඩාර දෙවියන් ගැන සෙලිග්මාන්වරුන්ගේ වාර්තාවේ පැහැදිලි විස්තරයක් දී තිබෙනවා.
18 වන සියවසේ හෝ ඊට පෙර සිටි මොහු රජුට දැකුම් ගෙවීම ප්‍රතික්‍ෂේප කළ නිසා ගසකට තබා බැඳ ඊයකින් විද මරණයට පත්කළ බවයි එහි දැක්වෙන්නේ.
කොස්ගම රාළහාමිට ‘කුඩා යකා’ නමින් හඳුන්වන බවත් සඳහන්ය. කොස්ගම දෙවි කෝල්මුර කවි,
කොස්ගම රාළගෙ නිති අත පත්තූ
දුර එනවා දැක ළංකර ගත්තූ
රහස් පොලේදී මැදි කර ගත්තූ
දැන් වැඩියලු කොස්ගම අදි පත්තූ

නිමල් කුඩාතිහි
කතරගම