2022 වසරේ දී අප මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම විදේශ විනිමය අර්බුදය හමුවේ විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය කරුණකි. මේ අර්බුදය හමුවේ විශේෂයෙන් 2022 සහ 2023 වසර දෙකේ දී මෙරට ජනයා බොහෝ පීඩාවට පත් වූ බව රහසක් නොවේ. උග්‍ර විදේශ විනිමය හිඟය හමුවේ රටට අවශ්‍ය ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍ය කලට වෙලාවට මෙරටට ගෙන්වාගත නොහැකි විය. ජනතාවට ඉන්ධන ටිකක් ගැනීමට, ගෑස් සිලින්ඩරයක් ගැනීමට පෝලිම්වල සිටිමින් දවස් ගණන් බොහෝ දුක් විඳීමට සිදුවිය. මේ වන විට කිසියම් දුරකට ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට සමත්වීම හමුවේ එවැනි තත්ත්වයක් නැතත් ජනයාගේ ආර්ථික පීඩනය තවමත් සමනය වී නැත. එම කාලයේ සියයට 70 ද ඉක්මවමින් කිහිප වටයකින් වැඩි වූ උද්ධමනය මේ වන විට අඩු වී ඇතත් (එනම් ඒ වැඩි වූ බඩු මිල ගණන් තවදුරටත් වැඩිවීම පාලනය වී ඇතත්) ඒ වැඩි වූ බඩු මිල ගණන්වලට සාපේක්ෂව තවමත් ජනයාගේ ආදායම් මට්ටම් වැඩි වී නැත. මේ නිසා රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගනිමින් ආර්ථික වර්ධනය වේගවත් කරගැනීම අත්‍යවශ්‍ය දෙයක් වී ඇත. ඒ හරහා රටේ ජනයාගේ ආදායම් මට්ටම් ද ක්‍රමයෙන් වර්ධනය වනු ඇත.
මේ ආකාරයට දේශීය ආර්ථිකයේ ප්‍රගතිය ඇති කර ගන්නා අතරම ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් කර ගැනීම ද අත්‍යවශ්‍ය දෙයකි. 2022 වසරේ දී රටට ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වූයේ වූයේ ගත් විදේශ ණය වාරික හා පොලී කලට වෙලාවට ගෙවීමට රට සතුව පැවති විදේශ සංචිත ප්‍රමාණවත් නොවීම නිසාය. මේ නිසා රටකට විදේශ විනිමය ඉපයුම් ඉතාමත් වැදගත් වන අතර රටේ විදේශ ණය ගෙවීම ඇතුළු ආනයන වියදම් දැරීමට අත්‍යවශ්‍ය විදේශ විනිමය රට සතු නොමැති වුවහොත් වනු ඇත්තේ රටේ විදේශ විනිමය අර්බුදයක් ඇති වීමයි. මේ නිසා අපගේ විනිමය අර්බුදය හමුවේ ඩොලර් ආදායම් (විදේශ විනිමය) ඉපයීම් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. මේ ගැන පසුගිය කාලයේ රටේ පුළුල් කතිකාවක් ද ඇති විය. එහෙත් මේ වන විට එම අවධානය කිසියම් දුරකට අඩුවී ඇති බවක් ද පෙනෙන්නට තිබේ. එසේ එම අවධානය අඩු නොකර විදේශ විනිමය ඉපයුම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩව උත්සාහ ගැනීම ඉතාමත් වැදගත් වේ. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ග කිහිපයක් වන්නේ අපනයන ආදායම, විදේශ විනිමය ප්‍රේෂණ, සංචාරක ඉපැයුම් සහ සෘජු විදේශ ආයෝජනයි. මේ අතරින් අපනයන ආදායමේ පසුගිය ප්‍රගතිය අපි විමසා බලමු.
මේ වසරේ (2025) පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ස්ථාවර ප්‍රගතියක් දැක්විය හැකි ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරන ලද බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. ඒ අනුව මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5523.85 ක් ලෙස වාර්තා වී ඇත. එය ගිය වසරේ (2024) එම කාලසීමාවට සාපේක්ෂව සියයට 6.9ක වර්ධනයකි. 2024 වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5167.23 ක් විය. මේ මුළු අපනයන ආදායම සමන්විත වන්නේ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් සහ සේවා අපනයනයෙනි. ඒ අනුව මේ වසරේ (2025) පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4334.22 ක් දක්වා සියයට 6.86 කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2024) පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 4056.06 ක් විය. එසේම මේ වසරේ (2025) පළමු මාස හතරේ දී ශ්‍රී ලංකාවේ මුළු සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1189.63 ක් දක්වා සියයට 7.06 කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2024) පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ මුළු සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1111.17 ක් විය. මේ අනුව මේ වසරේ මුල් මාස හතරේ දී මුළු අපනයන ආදායම සියයට 6.9 කින් වර්ධනය වී ඇත්තේ සේවා අපනයනය සහ වෙළෙඳ භාණ්ඩ අපනයනය යන දෙකේම එකතුවෙනි. සේවා අපනයන අංශය මුළු අපනයන වර්ධනයට වැදගත් දායකත්වයක් ලබාදී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ දැනුම පදනම් කරගත් ආර්ථිකය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ජාතික අපනයන ආදායමට එය කරන දායකත්වයත් පැහැදිලිව පෙන්වයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT), ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන සහ සැපයුම් (Transport & Logistics ) යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය ශ්‍රී ලංකාවේ අපනයන ව්‍යාප්තිය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කරනු ලබයි. මෙසේ සේවා අපනයන පමණක් නොව පොදුවේ අපනයන ආදායම විවිධාංගීකරණය කර ගැනීම, නව ලෝක ආර්ථික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් ද වනු ඇත. පොදුවේ මෙම අපනයන ඉහළ යෑම වර්ධනය වන ගෝලීය වෙළඳ පරිසරයට අප අනුකූල වීමේ හැකියාවත් පිළිබිඹු කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.
2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1292.63ක් ලෙස සටහන් වී ඇත. මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 8.74 ක වාර්ෂික වර්ධනයකි. 2024 අප්‍රේල් මාසයේ මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් 1188.72 ක් විය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ තාවකාලික දත්තවලට අනුව, 2025 අප්‍රේල් මාසයේදී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 983.33 ක් දක්වා සියයට 12.05 කින් වර්ධනය වී තිබේ. මෙයට මැණික් සහ ස්වර්ණාභරණ සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සඳහා වූ දත්ත ද ඇතුළත් වේ. ඒ අනුව 2024 වසරේ අප්‍රේල් මාසයේදී මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 877.58 ක් වී ඇත. මේ අතර සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 309.30 දක්වා සියයට 0.59 කින් අඩු වී ඇත. එනම් ගිය වසරේ (2024) අප්‍රේල් මාසයේ සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 311.14 ක් වී ඇත.
අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ පැවසුවේය.
“මෙම ශක්තිමත් වර්ධනය මගින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අප ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බවයි. අප අපනයනකරුවන් ඔවුන්ගේ හැකියාව හා දැනුම භාවිතයෙන් ගෝලීය වෙළඳ පරිසරයේ වෙනස්කම්වලට හැඩගැසීමට හැකි බව ද පෙන්වා දී ඇත.”
මෙසේ අපනයන ආදායම් වර්ධනය වී ඇති නමුත්, ඒ සමගම ආනයන වියදම් ද වර්ධනය වී වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ද වර්ධනය වී ඇති බව ද සැලකිය යුතු වේ. ආනයන වියදම් වර්ධන වීම සඳහා වාහන ආනයන සීමා ලිහිල් කිරීම ද හේතුවක් වනු ඇත. මේ නිසා අපනයන ආදායම් ඇතුළු වෙනත් විදේශ විනිමය ආදායම් වර්ධනය කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. එහෙත් මේ සඳහා අපගේ අපනයන ව්‍යුහයේ කලක් තිස්සේම දුර්වලතා පවතී. එනම් සීමිත අපනයන ගමනාන්ත (රටවල්) කිහිපයක් මත අපේ අපනයන ආදායම් සංකේන්ද්‍රණය වී තිබීම එකකි. එසේම අපනයන භාණ්ඩ කිහිපයක් මත අපගේ අපනයන ආදායම දැඩිව රඳා පැවතීම ද අනිත් ප්‍රධාන දුර්වලතාවයි. මේ කලක් තිස්සේම පවතින අප මෙතෙක් ප්‍රමාණවත් ලෙස නිවැරදි කර නොගත් දුර්වලතාවල වඩා වැඩි අවදානමකට මුහුණ දීමට ඉදිරියේ දී අපට සිදුවනු ඇත. එයට හේතුව වෙනස් වී ඇති නව ලෝක ආර්ථික තත්ත්වයයි. මේ වන විට ඇමෙරිකානු නව තීරු බදු වෙනස්කම් හමුවේ අප මුහුණ දෙන එම අවදානම වඩාත් තීව්‍ර වී ඇති බව ද කිව යුතු වේ. මේ ගැන පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම ආර්ථික විවරණ වාර්තාවේ (2024) ‘ගෝලීය ආර්ථික පරිසරය සහ ඉදිරි දැක්ම’ මැයෙන් මෙසේ සඳහන් වේ.
“වෙළඳ ප්‍රතිපත්ති වෙනස් වීම සහ උත්සන්න වන භූ දේශපාලනික අර්බුද හේතුවෙන් භූ ආර්ථික බෙදීම් වැඩි වන අතර, ඒ හේතුවෙන් ගෝලීය වර්ධන අපේක්ෂා, මූල්‍ය තත්ත්ව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය මත බලපෑම් ඇති වන බැවින් ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉහළ මට්ටමක පවතී. 2025 වසරේ ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක ආර්ථික ඉදිරි දැක්මෙහි (World Economic Outlook) යාවත්කාලීනය අනුව, 2023 වසරේ සියයට දී 3.3 ක් වූ ගෝලීය වර්ධනය, 2024 වසරේ දී සියයට 3.2 ක් දක්වා අඩු වනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර, මෙතෙක් වාර්තා වූ (2000—–2019) ආර්ථික වර්ධනයේ සාමාන්‍යය වන සියයට 3.7 කට වඩා අඩු මට්ටමක, එනම් සියයට 3.3 ක අගයක, 2025 සහ 2026 යන වසර දෙකෙහි ම ආර්ථික වර්ධනය පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, එතැන් සිට මේ දක්වා ගෝලීය දේශපාලනික හා ආර්ථික පසුබිම සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති අතර, ඉදිරි කාල පරිච්ඡේදය තුළ දී මෙම පුරෝකථන සඳහා සංශෝධන එක් වීමට හැකියාවක් පවතියි. තවමත් පවතින අවිනිශ්චිතතාවට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ එක්සත් ජනපද රජය වේගවත්ව සහ විශාල වශයෙන් සිදු කරන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග වෙනස්කිරීම් සහ එයට ප්‍රතිචාර ලෙස අන් රටවල් ගනු ලබන ප්‍රතිපියවරයන්ය.
එමෙන්ම, එක්සත් ජනපද පරිපාලනය ඔවුන්ගේ නිෂ්පාදනය ඉහළ නැවීම සහ රටේ වෙළඳ හිඟය අඩු කිරීම අරමුණු කරගෙන ආනයන සඳහා ආදේශන හඳුන්වා දෙන ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, විදේශ ආධාර ලබා දීම, දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනයට අදාළ ඇතැම් ජාත්‍යන්තර වගකීම් කිහිපයකින් ඉවත් වීමට ද සැලසුම් කර ඇත.
දැනට සිදු වෙමින් පවතින ගෝලීය ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් මතු වන වෙළඳ අවිනිශ්චිතතා, සැපයුම් දාම උද්ධමනකාරී පීඩන සහ විදේශ ආධාර බෙදී යෑමේ හා ප්‍රාග්ධන ප්‍රවාහවල වෙනස්කම් නිසා ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම නැවත සකස් වනු ඇත. එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තිමය වෙනස්කම් හරහා නුදුරු කාලයේ දී ඇති වන ප්‍රතිඵලවලින් එකක් ලෙස වෙළඳ අවිනිශ්චිතතා ඉහළ යනු ඇති අතර, එමගින් ගෝලීය වටිනාකම් දාම අවහිර වී ගෝලීය වෙළඳ ප්‍රවාහවල දැඩි වෙනසක් ඇති විය හැක.”
මේ වෙනස් වී ඇති සහ අවිනිශ්චිත ලෝක ආර්ථික වාතාවරණය ගැන මහ බැංකු නවතම වාර්තාව තවදුරටත් කරුණු විස්තර කර ඇත. මේ නිසාම මේ වසර (2025) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලින් පුරෝකථනය කළ ලෝක ආර්ථික වර්ධනය ද සියයට 3.3 සිට සියයට 2.8 ක් දක්වා සියයට 0.5 කින් අඩුවනු ඇති බවට ද මූල්‍ය අරමුදල විසින් අලුතින් පුරෝකථනය කර ඇත. මේ ලෝක ආර්ථිකයේ මන්දගාමී වීම හමුවේ අපට ද වඩාත් අභියෝගාත්මක වාතාවරණයකට මුහුණ දීමට සිදුවෙනු ඇති අතර ඒ සඳහා පෙර සූදානමක් ඇති කර ගැනීම සඳහා ආණ්ඩුව විසින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඇමෙරිකානු වෙළෙඳ බලධාරීන් සමග සාකච්ඡා ක්‍රියාවලියකට ද මුල පුරා ඇත. එහෙත් අප නම් සිතන්නේ යම් වෙනස්කම් සහිතව හෝ ඇමෙරිකානු නව තීරු බදු ප්‍රතිපත්තිය අදාළ දින 90 කාලයෙන් පසුව ක්‍රියාත්මක වෙනු ඇති බැවින් මීට මුහුණ දීම සඳහා අපට රටක් වශයෙන් මීට වඩා වැඩි අවධානයක් යොමුකර පියවර ගැනීම (නව සැලසුම් හා උපායමාර්ග වෙත යොමුවීම) අවශ්‍ය වනු ඇති බවයි. එනම් මේ අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමේ ශක්තිමත් පෙර සූදානමක් ඇතිකරගත යුතු බවයි.
● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]