ත්‍රිකුණාමලයේදී මානවහිමිකම් කොමසාරිස්ට ලබා දුන් ලිපියේ සඳහන් වූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි. මෙය කෙලින්ම කොටි හිතවාදීන්ගේ වුවමනාව මිස සාමන්‍ය දෙමළ ජනතාවගේ වුවමනාව නොවේ. නමුත් දැන් නව ආණ්ඩුවේ නිහඬ ක්‍රියාකලාපය නිසා කොටි හිතවාදී බලවේග වඩාත් සක්‍රීය වී තිබේ.
එම ලිපියේ මෙවැනි කරුණු ද අඩංගු වී තිබිණි.
2016 වසරේ පෙබරවාරි 06 වැනිදා සයිඩ් රාද් අල්-හුසේන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවට පැමිණියේ වසර 9කට පසුව ය. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට අප්‍රසන්න ඉතිහාසයක් තිබුණ ද, මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක්ගේ සිව්දින සංචාරය රජය සමඟ කිසිදු බරපතළ ගැටුමකින් තොරව සිදු විය. ඔහුගේ පූර්වගාමීන් කිහිපදෙනෙකුගේ සංචාර මෙන් නොව වඩා සුහද වූ බව පෙනේ. පසුගිය සඳුදා මෙරටට පැමිණි ටර්ක් මහතාට, චෙම්මනි සමූහ මිනීවළට යෑම ඇතුළු රැස්වීම් සහ ස්ථාන දෙකටම බාධාවකින් තොරව ප්‍රවේශ විය හැකි විය. යාපනයේ සහ ත්‍රිකුණාමලයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ගොදුරු වූවන්ගේ පවුලේ සාමාජිකයන් හමුවූ අතර වසර 30 කට පෙර සැමියා අතුරුදන් වූ කාන්තාවකගෙන් ද තොරතුරු ලැබුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි හරිනි අමරසූරිය, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ සිට රජයේ සහ විපක්ෂයේ නීති සම්පාදකයින් දක්වා මෙන්ම අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහානායක හිමිවරුන් සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ඇතුළු සියලුම ආගම්වල නායකයින් මෙන්ම හින්දු සහ ආගමික මුස්ලිම් නායකයින් ද ඔහු හමුවිය. ඔහු අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්, ජාතික මානවහිමිකම් කොමිසමේ නිලධාරීන්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාලයේ නිලධාරීන් ද හමුවිය.
පසුගිය බ්‍රහස්පතින්දා සවස ජනාධිපතිවරයා ටර්ක් මහතා හමුවීමෙන් පසු ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ ප්‍රකාශය අනුව, සංචාරයේ ප්‍රතිඵලය පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය සෑහීමකට පත්ව ඇති බව පෙනෙන්නට තිබුණි. ජනාධිපති දිසානායක මහතාගේ නායකත්වය යටතේ ජාතික සමගිය ශක්තිමත් කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ මානවහිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන ප්‍රතිපත්ති සඳහා ශ්‍රී ලංකාව ටර්ක් මහතාගේ පූර්ණ සහයෝගය ලැබෙන බව ජනපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන්ව තිබිණි. අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ටර්ක් මහතාට පවසා තිබුණේ “අතුරුදන් වූවන්ගේ අත්දැකීම්වලට සෘජුවම මුහුණ දුන් දේශපාලන ව්‍යාපාරයක් ලෙස, තම පරිපාලනයට වින්දිතයින්ගේ වේදනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත” යනුවෙනි.
සංචාරය අවසානයේ මානවහිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් මෙලෙස පවසා තිබිණි. චෙම්මනි හි මෑතකදී නැවත විවෘත කරන ලද සමූහ මිනීවළ වෙත මා කළ සංචාරය, අතීතය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතවල හොල්මන් කරන බව පෙන්වන බලගතු මතක් කිරීමක් විය. එයට පිවිසීමට ලබාදුන් ප්‍රවේශය ගැන මම ඉතා කෘතඥ වෙනවා. එම ස්ථානයේදී, තවමත් ආදරණීයයෙකු සොයමින් සහ තවමත් ශෝකයෙන් සිටින පවුලක් හමුවීමට මට අවස්ථාවක් ලැබුණා; මේ සියලු වසර ගණනාවකට පසුව පවා ඔහුගේ දේහය එහි ගොඩ ගත හැකි යැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. යාපනයේදී මා දුටු පරිදි – වින්දිතයින් අනුස්මරණය කිරීම සඳහා පැහැදිලි ඉඩක් ලබා දී ඇති බව පෙනීම ගැන සතුටු වෙනවා”
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණියේ කුමක් සඳහා ද යන්න එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කාර්යාලය මීට පෙර පැහැදිලි කර තිබිණි. ඒ අනුව, ඔහු සිය සංචාරයේදී මානවහිමිකම් උල්ලංඝණයන්ට ගොදුරු වූවන් සඳහා වගවීම සහ ඵලදායී පිළියම් මෙන් ම ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් ඇතුළු පුළුල් පරාසයක මානවහිමිකම් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබිණි. එහෙත් 2009 අවසන් වූ යුද්ධය ගැන තවමත් ටර්ක් උනන්දු වන්නේ ඇයි? ගාසාවේ දිනපතා සිය ගණන් කෑම පෝලිමේදී පවා ඝාතනය වෙද්දී මානව හිමිකම් කොමසාරිස්වරයා චෙම්මනි වන්දනාවක යෙදෙයි. අවසානයේදී සිදුවන්නේ සංහිඳියාව වෙනුවෙන් යැයි කියමින් ලංකා සමාජය භේද භින්න කිරීමක් නොවන්නේද? සුව වූ තුවාල නැවත හෑරීමට අවශ්‍ය වන්නේ කාටද? සුව වූ තුවාල හාරා කකුල් කපන්නට, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය සැරසෙන්නේද යන්න අපට ප්‍රශ්නයක් මතුවේ.
ඊශ්‍රායල යුද්ධය අතරතුර ගාසා තීරයේ මන්දපෝෂණයෙන් අවම වශයෙන් ළමුන් 66 දෙනෙකු මිය ගොස් ඇති බව යුනිසෙෆ් සංවිධානය පසුගියදා තහවුරු කර තිබිණි. ඊශ්‍රායලය විසින් ගාසා තීරයට කිරි, පෝෂණ අතිරේක සහ අනෙකුත් ආහාර ආධාර ඇතුළුවීම වළක්වමින් දැඩි මර්දනයක් ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වී තිබේ. ගාසා තීරයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව භයානක අනුපාතයකින් ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය නිවේදනය කර ඇති අතර මැයි මාසයේදී පමණක් උග්‍ර මන්දපෝෂණය සඳහා ප්‍රතිකාර සඳහා මාස 6 ත් අවුරුදු 5 ත් අතර ළමුන් 5,119 ක් ඇතුළත් කර ඇති බවයි. මේ සියල්ල ගැන මානව හිමිකම් කොමසාරිස් නිහඬය. ඇමරිකාවේ සහය ලබන පාර්ශව යුද වදින විට මානව හිමිකම් ගැන කතා කරන්නට ජිනීවා කොමිසම උන්නදු වන්නේ නැත. එය මහත් විහිළුවකි. ඔහුට අවශ්‍ය චෙම්මනි සිට නන්දිකඩාල් කලපුවේ යුද අපරාධ සොයන්නටය. කවර හෝ ශ්‍රී ලංකා හමුදා ඉහළ නිලධාරියෙකුට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කර මේ ආණ්ඩුව හිරේ දැම්මොත් වඩා සතුටුවන්නේ කොමසාරිස් වොල්කර් ටර්ක් බව පැහැදිලිය.
ඇත්තෙන්ම ටර්ක් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වී පැය 24 කටත් අඩු කාලයකට පසු, ශ්‍රී ලංකාව ඇතුළුව ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීමේ කටයුතු සිදු කරන වැඩසටහන් කිහිපයක් සඳහා ඇමරිකානු අරමුදල් අවසන් කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර ඇති බව නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතියට මුදල් නොලැබී යෑම හොඳ දෙයකි. මෙයින් සිදුවන්නේ තිබෙන සංහිඳියාව විනාශ වී යෑම පමණකි. ජනපති ට්‍රම්ප් නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සතපහකට ගණන් ගන්නේ නැත. මෙම වසරේ පෙබරවාරි මාසයේදී මානවහිමිකම් කොමිසමෙන් ඉවත් වූ ඇමරිකාව මෙම ආයතනයට අරමුදල් සැපයීම ද නැවැත්වීය.
යාපනයේ චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීම ගැන සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස හා යුද්ධයෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු නැගෙනහිර අතුරුදන් වූවන්ගේ සංගමය හා උතුරු පළාතේ සිවිල් සංවිධාන රැසක් පසුගිය සතියේ සඳුදා චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ විරෝධතාවක් ආරම්භ කර තිබිණි. මානවහිමිකම් කොමසාරිස්වරයා මෙරටට පැමිණෙන විටම කොටි හිතවාදීන්ගේ අඬබෙරය වාදනය වෙමින් පවතින බව පසක් විය. මෙම විරෝධතාවය ජූනි 23 වැනිදා සිට ජුනි 25 දක්වා පැවැත්වීමට නියමිත බව උතුරු නැගෙනහිර අතුරුදන්වූවන්ගේ සංගමයේ සභාපති යෝගරාජා කනගරංජනි පවසා තිබිණි. පසුගිය බදාදා ගුවන් හමුදා හෙලිකොප්ටරයෙන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට ගොඩ බැසි මානව හිමිකම් මහකොමසාරිස් චෙම්මනි බලා ගියේය. එවිට චෙම්මනි අවට උද්ඝෝෂණ නාට්‍යය නියමාකාරයෙන් ප්‍රදර්ශනය වෙමින් පැවතිනි. අඟහරුවාදා දිනයේ ටර්ක් මහතා ත්‍රිකුණාමලයේ සංචාරය කරන විට නැගෙනහිර බෞද්ධ පුදබිම් වලට එරෙහිවද බැනර ඔසවාගෙන සිටින අතුරුදන්වූවන්ගේ මවුපියන් දක්නට ලැබිණි. මේ කවරක්ද? මෙය පැහැදිලිව වෙනම කුමන්ත්‍රණයකි. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව මේවා දෙස සිනහසෙමින් බලා සිටී. නැගෙනහිර උරුමය කෙසේ වෙතත් ඔවුනට අවශ්‍ය නැගෙනහිර ඡන්ද පමණකි.
ත්‍රිකුණාමලයේදී මානවහිමිකම් කොමසාරිස්ට ලබා දුන් ලිපියේ සඳහන් වූයේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීමට කටයුතු කරන ලෙසයි. මෙය කෙලින්ම කොටි හිතවාදීන්ගේ උවමනාව මිස සාමන්‍ය දෙමළ ජනතාවගේ උවමනාව නොවේ. නමුත් දැන් නව ආණ්ඩුවේ නිහඬ ක්‍රියාකලාපය නිසා කොටි හිතවාදී බලවේග වඩාත් සක්‍රීය වී තිබේ. එම ලිපියේ මෙවැනි කරුණු ද අඩංගු වී තිබිණි.
ජන සංහාරය ඇතුළු ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ජාත්‍යන්තර අපරාධ යුක්ති යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම; ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට යොමු කිරීම; චෙම්මනි සහ මන්නාරම වැනි ස්ථානවල සමූහ මිනී වළවල් විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වය; දෙමළ නිජබිමෙහි ඉඩම් අත්පත් කර
ගැනීම් සහ රාජ්‍ය අනුග්‍රහය ලත් සිංහලකරණය අවසන් කිරීම; අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා යුක්තිය සහ පිළිතුරු; ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත අවලංගු කිරීම; ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ දේශීය සංරචක දෙකම සහිත දෙමුහුන් යාන්ත්‍රණයක්; දිවයිනේ දිග්ගැස්සුණු ජනවාර්ගික ගැටුමට කල්පවතින දේශපාලන විසඳුමක් සඳහා කඩිනම් පියවර ගැනීම යන කරුණු එහි විය. මේවා ඉදිරිපත් කෙරෙන්නේ මියගිය කොටි සතුටු කිරීම පිණිසම පමණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යන්නේ කවරෙකුද? එය හිටපු පිලිපීන ජනපති ඩුටරේ ගෙනගිය ආකාරයේ වැඩක් ද? කවරක් නමුත් ත්‍රස්තවාදය පරාජය කළ යුද දේශපාලන නායකයින් කිසිවිටෙක පවා දිය යුතු නැත.
චතුර පමුණුව