සසුනඹරට පහන්ටැඹක් වූ දෙස් විදෙස් සුපතල
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ අද (26) 75 වැනි වියට එළඹෙති. මේ ලිපිය ඒ නිමිත්තෙනි-
ඕමල්පේ නම් වූ ගමෙහි 1950.05.26 වැනිදා ජන්මාභිෂේක ලත්, පිංවත් කුල කුමරු මවුපිය සෙනෙහසේ රැකවරණ සීමාවේ ර`ඳා හිඳින ලද්දේ දශකයකටත් මදක් වැඩි කාලයකි. සසර පුරුද්දට අවනත වෙමින් පුරුදු සුපුරුදු සදහම් වඩවනු රිසියෙන් මවුපිය ඇකයෙන් බැස සසර ගමන කෙටි කරගත හැකි කෙටිම මග වන බුදු මඟට පිය නගනුයේ 1960 පොසොන් මස 22 වැනිදා බුද්ධ පුත්‍රයකු ලෙසිනි.
ලාල්පේ සිරිවංශ නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් පැවිදි බිමට පත් ඕමල්පේ ජන්ම ලාභය ලද කුලපුත්‍ර තෙම එදා පටන් ඕමල්පේ සෝභිත හිමි නමින් ප්‍රකට විය. වසර එකොළහකින් පැවිදි බිමට පැමිණි සෝභිත හිමියෝ තවත් වසර එකොළහකින් උපසම්පදාව ලැබූහ. අපරිමාන ප්‍රතිභාවකින් යුක්ත අප හිමියන්ගේ නවෝදයේ නව හැරවුමක් සිදු වනුයේ පොතේවෙල ජිනරාජ පිරිවෙනෙහිදීය.
උන්වහන්සේ විසින් තනාගන්නා ලද ඉලක්කය මල්ඵල ගැන්වූ අවස්ථාවක් වශයෙන් උන්වහන්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබීම හැ`ඳින්විය හැකිය.
ඕමල්පේ සෝභිත මාහිමිපාණන් වහන්සේගේ විභාග අවස්ථාවකදී තම ගුරු නායක හිමියන්ගේ අපවත්වීම සිදු වූයෙන් උන්වහන්සේ විභාගය අතහැර නායක හිමියන්ගේ කටයතු සඳහා දායක වූයේ උතුම් මානව පුරුෂාර්ථයක් සහ කෘතවේදී බවද ප්‍රකට කරමිනි.
උන්වහන්සේ සිල්වත්ය. ගුණවත්ය. නැණවත්ය. පරිත්‍යාගශීලීය. තැනට ඔබින නුවණින් හෙබිය. ජනතාවට ධර්මය පිළිබඳව කරුණු පහදා දීමේදී උන්වහන්සේ දක්වන කුසලතාව පිළිබඳ මෙරට ගිහි පැවිදි දෙපාර්ශ්වයම දක්වනු ලබන්නේ පුදුමාකාර කැමැත්තෙකි. අර්ථ රසයෙන් ද, ශබ්ද රසයෙන් ද, ධර්ම රසයෙන් ද පෝෂිත ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ දේශනාවන් සිංහල, පාලි ඉංග්‍රීසි භාෂාවන් තුළින් සුපෝෂිතය. නාහිමිපාණන් වහන්සේට දෙස් විදෙස් ලොකු කුඩා දෙපක්ෂයම දක්වන්නේ ඉමහත් රුචියෙකි. ව්‍යයක්ත විනීත විශාරදභාවයෙන් යුතු නිසා කාගේත් ගෞරවයට හා ආදරයට උන්වහන්සේ පත්ව ඇත.
පැවිදි හිමි නමක් වශයෙන් පැවිදි භූමිකාව රකිමින් බෝසත් ගුණය ද විහිදුවමින් විශ්වවිද්‍යාල ජීවිතය තුළ කටයුතු කළ අතර විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ මහා භික්ෂු සංගමය පිහිටුවීම, බෞද්ධ සහෝදර සංගමය පිහිටුවීම, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු සංගමය පිහිටුවීම ආදී වූ ආරාධනයෙන් මහරගම ශ්‍රී වජිරඤාණ ධර්මායතනයේ ධර්මාචාර්ය හිමි නමක් ලෙස අප නාහිමියෝ කටයුතු කළහ. ගුරු සේවයට පත් වුණු අප නාහිමියෝ 1970 දී උන්වහන්සේගේ ජීවිතයේ නව හැරවුමක් සනිටුහන් කරගන්නා ලදී.
සොබා දහමේ ඕනෑකමට ජනිත වන මිනිසා සොබා දහමේ ඕනෑ එපාකම් ඉටු කරන න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කළ යුත්තෙකි. එසේ ක්‍රියා කරන කලට සොබා දහම එබඳු මිනිසුන්ට යුක්තිය ඉටු කරන බවට කදිම නිදසුනක් වශයෙන් 1981 දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය මඟින් ප්‍රධානය කරන ලද “රාජකීය තායිලන්ත ශිෂ්‍යත්වය” සෝභිත නාහිමිපාණන් වහන්සේට හිමි වූයේ භාග්යකිනි.
1983 වසරේ දී ආචාර්ය උපාධිය ලබා ගැනීමේ සිතුවිලි අප නාහිමියන් තුළ ජනිත වන්නේ උන්වහන්සේ බැබළීමට නොව සමාජ හා ශාසනික සේවාවකට වටිනාකමක් එක් කිරීමක් වශයෙනි. බහුවිධ ශක්තීන් ඇති මිනිසා ශක්තීන් නිසි අයුරින් භාවිත කරන කල වටිනාකම් එකතු වන බව දිල්ලි විශ්වවිද්‍යාලයේ උන්වහන්සේ ලද ආචාර්ය උපාධිය තුළින් පසක් කරගත හැකිය. හෙල බසින් ලොව බස ආක්‍රමණය කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ “ඕල් ඉන්දියා රේඩියෝ” හි භාෂා පරිවර්තකයකු වීමත් සමගමය.
ගමින් රටටත්, රටින් ලොවටත්, ලොවෙන් ගමටත් බොදු පුරුෂාර්ථ පිහිට වූ “ජාත්‍යන්තරයේ අපේ බොදු සලකුණ” වන ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ 1987 දී ලංකාගමනය කළහ. ඇඹිලිපිටියට වැඩම කරන ලද අප නාමියන්ට තම පැවිදි සහෝදර මුරුතමුරේ මුනින්දවංස ස්වාමීන් වහන්සේ බෝධිරාජ ධර්මායතනයට ප්‍රතිජීවනයක් ලබාදීමේ වගකීම අප නාහිමියන්ට පැවරූහ.
ඇඹිලිපිටිය වාරි ජල යෝජනා ක්‍රමවලින් පෝෂණය වුණු පුරවරයකි. එකී ව්‍යාපෘති ඉලක්ක කොට තිබුණේ කෘෂිකර්මාන්තයයි. ඒ ඇසුරෙන් පානීය ජල යෝජනා ක්‍රම පැවතුණ ද සමහර ගම් ප්‍රදේශවලට පානීය ජල ප්‍රශ්නයක් විය. පානීය ජල අවශ්‍යතාව පූර්ණය කරනු පිණිස පවුල් දහසකට එනම් සාමාජිකයන් පන්දහසකට පමණ ජලය සැපයීමේ ව්‍යාපෘතිය දියත් කළෝ අප නාහිමියෝ ය.
තමන් වහන්සේගේම පරිකල්පන ශක්තියත් නොපසුබස්නා වීර්යයත් අත්වැල් බැඳ ගැනීමේ ඵලයත් වශයෙන් ගොඩනැගුණු බෝධිරාජ පිරිවෙන, බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන බවට පත් විය. ජාතියට උගත්, බුද්ධිමත් ජාතියේ මුර දේවතාවුන් බිහි කිරීමේ උදාරතර ම ශාසනික සහ අධ්‍යාපනික සේවාව එමගින් දියත් විය. විශේෂයෙන්ම සාමණේරයන් වහන්සේලා සියක් නමකට වැඩි පිරිසක් බුදු දහම, පාලි, සිංහල, ඉංග්‍රීසි ආදී වූ විෂයයන් ඉගෙනීමෙහි නිසැඳ වෙති. උන්වහන්සේලා උදාවන හෙට දිනයේ දී ඒ ශිල්ප ශාස්ත්‍ර ආදී ඥානය මතු පරපුරට මුදා හරිනු නිසැකය. එය ද අප නාහිමියන්ගේ උදාරතර පරමාර්ථයකි.
සිංහල භාෂාව කවදත් අභිමානනීය භාෂාවකි. බාධකය වී ඇත්තේ එය ජාත්‍යන්තර භාෂාවක් නොවීමය. ජාත්‍යන්තරයට පිය මනිනු පිණිස ඇති භාෂා බාධක ඉවත් කරනු වස් බෝධිරාජ විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 2002 වසරේදීය. මේ වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1000 කට අධිකව අධ්‍යාපනය ලබති. ඉංග්‍රීසි පාසලක් ආරම්භ කිරීමට අප නාහිමියන් පුරෝගාමී වුවද උන්වහන්සේගේ අදහස මෙබඳු එකකි.
අධ්‍යාපනික, ආගමික, සංස්කෘතික සේවාවන් කොතෙක් සිදු කළ ද ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අනාගත පරම්පරාවක් සකස් කළ යුතු බව නාහිමිපාණන් වහන්සේ නිතර නිතර සිහිපත් කරන කරුණකි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින්ම ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත භික්ෂූන් වහන්සේලා බිහිවිය යුතු බව සෝභිත නාහිමියන්ගේ මතයයි. එංගලන්තය, ඇමෙරිකාව ආදී බටහිර රට රාජ්‍ය වල ද චීනය, රුසියාව ආදී ඈත එපිට රටවල් ද ඉන්දියාව, නේපාලය, සිංගපූරුව, මැලේසියාව, කාම්භෝජය ආදී ආසියාතික රට රාජ්‍ය වල ද උන්වහන්සේගේ නම ප්‍රචලිත වීමට ප්රබලතම හේතුව වී ඇත්තේ උන්වහන්සේ තුළ ඇති ජීව, අජීවී වස්තූන්ට දක්වන මානව ගුණයයි.
භික්ෂුවක් තුළින් ජනතාව පළමුව බලාපොරොත්තු වන්නේ සිල්වත් සහ නැණවත් භාවයයි. එම ගුණයන් අප නාහිමියන් තුළ අත්‍යයන්තයෙන්ම රැඳී පවතී. වර්තමානයේ උද්ගත වන බොහෝ ආගමික, දේශපාලනින, සමාජීය අභියෝග ජාත්‍යන්තරව පැන නගින ගැටලුකාරී අවස්ථාවන්හිදී අප නාහිමිපාණන් අභීතව ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව තම ස්වාධීන මතය ඉදිරිපත් කිරීම වර්තමාන භික්ෂූන්ට ආදර්ශයක් ලෙස ඉදිරිපත් වීම සුවිශේෂී ගුණයකි. භික්ෂූන් වහන්සේ නමක් තුළින් ජනතාව පළමුව බලාපොරොත්තු වන්නේ සිල්වත්, ගුණවත්භාවයයි. ඒ ටික අවුල් වුවහොත් අන් කවරක් තිබුණත් ඵලක් නැත්තේ ය. ඉහත දුර්ලබ සිල්වත්, ගුණවත්භාවය අප නාහිමිපාණන් වහන්සේ සතුව තිබේ. උන්වහන්සේගෙන් සිදු වී ඇති සමාජ සේවා කටයුතු, ආගමික කටයුතු මෙසේ කෙටි ලිපියකට පෙරලිය නොහැක. කවර තැනකට ගිය ද සැමගේ සිත්සතන් දිනාගෙන යම් ජනතා මෙහෙවරක් ඉටු කිරීම උන්වහන්සේ සතු ආවේණික ධර්මතාවයකි. ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි 75 වන යතීන්ද්රාභිවන්දන ජන්ම සංවත්සරය වෙනුවෙන් උතුවන්කන්ද ධර්ම දූත මහා විහාරයේ නිම කරන ලද සිරි මංගල ත්‍රිපිටක සෑ රජුන් සම්බුද්ධ සාසනයට පූජා කිරීම, කෑගල්ල බෝධි උද්‍යාන භාවනා මධ්‍යස්ථානයේ ඉදිකරන ලද දාන ශාලාව විවෘත කිරීම, කුල දරුවන් පැවිදි කිරීම, 200 නමක් විෂයෙහි පිරිනමන සංඝගත දක්ෂිණාව සහ රෝදපුටු ප්රදානය, මාතෘ පෝෂණ වැඩ සටහන සහ ලේ දන් දීම කෘතිම රෝද පුටු ප්රදානය, ගොඩකවෙල ධර්ම ගිරි විහාරයේ නිම වන ලද සක්මන් බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම රක්වාන ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මානය කරන ලද විහාර මන්දිරය විවෘත කිරීම හා ප්‍රායෝගික බුදු සමය ශාස්ත්‍රීය සංග්‍රහය අණගුණ හා බණ කෘතිය ඇතුළත් උත්සව සභාව පැවැත්වේ.
28 වන දින හම්බන්තොට රුහුණු මාගම්තොට ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මකුලෑවේ විමල නාහිමියන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායයේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය
බෙන්ගමුවේ ධම්මදින්න නාහිමි සහ කොරියාවේ ජෝගේ මහා නිකායේ ප්‍රධාන සංඝ නායක යොන්දම් මාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිඳුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.
නිරන්තරව උන්වහන්සේ විසින් සිදු කරනු ලබන ආගමික, ජාතික හා ශාසනික සේවයට දක්වන ධෛර්යය, කැපවීම, නිවැරදි නායකත්වය හා අවංක ප්‍රතිපදාව ආදර්ශයකි. සෘජු හා සුපටිපන්න ගුණයෙන් යුත් අප නාහිමිපාණන් වහන්සේ 75 වැනි ජන්ම දිනය සමරන උන්වහන්සේට සුඛී දීඝායුකෝභව ප්‍රාර්ථනා කරමි.
ශාස්ත්‍රපති කොස්ගම විනීතජීව හිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි