ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්‍රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී (කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සඳහා වූ ගිවිසුම් අත්සන් කරනු ලැබුවේ පසුගිය ජුනි 27 වැනිදා ඉන්දියාවේදීය. ඒ අනුව කොළඹ නැව් තටාකාංගන සමාගම ටෝකියෝවෙන් දිල්ලියට හුවමාරු විය. ඉන්දීය මාධ්‍ය මේ ගනුදෙනුව එරට ලැබූ රාජතාන්ත්‍රික ජයක් ලෙස උත්කර්ෂයට නගා පුවත් පළ කර තිබිණි. කොළඹ වරායේ මෙම මිලදී ගැනීම ශ්‍රී ලංකාවේ පැතිරෙන චීන බලය අඩු කිරීමේ උපායක් ලෙස එම පුවත්වල දක්වා තිබිණි. ඉන්දීය නාවික හමුදාව සඳහා ප්‍රහාරක යාත්‍රා සබ්මැරීන නිපදවන සමාගම කොළඹ නැව් තටාකාංගනය වෙත පැමිණීම ලංකාව ලැබූ පරාජයකි. එය කොළඹ වරාය අනාරක්ෂිත කිරීමකි. දැන් ඉන්දීය විරෝධී බලවේගවල එක් ප්‍රහාරක ඉලක්කයක් බවට කොළඹ වරාය පත් නොවන්නේ යැයි තර්ක කළ හැක්කේ කාටද? ඉන්දීය චීන බල ගැටුමට දැන් කොළඹ නැව් තටාකාංගන සමාගමත් හසුව තිබේ. ඉන්දීය අගමැතිවරයා කොළඹ පැමිණ අත්සන් කරනු ලැබූ ආරක්ෂක ගිවිසුමට අනුව මෙම ගනුදෙනුව සිදුව තිබේද? ලංකා ආණ්ඩුව මේ ගැන උත්තර නොදෙන්නේ දිල්ලි ආණ්ඩුව අකමැති නිසාය. අප ඉන්දියාවේ ප්‍රාන්තයක්ද යන ප්‍රශ්නය මතුවන්නේ මේ ගනුදෙනුව නිසා අපේ රටේ ස්වාධිපත්‍ය අර්බුදයට ලක්වන නිසාය.
මේ ගනුදෙනුව අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරිත්වය ඉන්දියාවේ මැසගොන් සමාගමට හිමි වේ. ඒ සඳහා මෙම සමාගම ඉදිරිපත් කර ඇති ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 52.96ක් බව වාර්තා වේ. කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ අනෙකුත් කොටස් හිමිකරුවන් වන්නේ සේවක අර්ථසාධක අරමුදල 16.34%, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල 10%, ශ්‍රී ලංකා වරාය අධිකාරිය 5%, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල 2.4% යන ආයතනයන්ය. ඉන්දියාවේ මැසගොන් සමාගමට පෙර කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවා වූයේ ජපානයේ ඔනොමිච් ඩොක්යාර් සමාගම වූ අතර, ඔවුන්ට සමාගමෙන් කොටස් 51%ක් හිමිව තිබුණි. 2024 නොවැම්බර් මාසයෙන් පසු තම කොටස් ඉවත් කරගන්නා බව ජපන් ඔනොමිච් සමාගම කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත දැනුම් දී තිබුණි.
ඉන්දියාව ඉන්දු – පැසිෆික් කලාපයේ සිය වර්ධනය වන සමුද්‍රීය සහ නැව් තැනීමේ අභිලාෂයන් තහවුරු කර ගැනීම සඳහා එරට විශාලතම යුද නැව් සාදන්නා වන මැසගන් ඩොක් විසින් ශ්‍රී ලංකාවේ කොළඹ ඩොක්යාර්ඩ් හි පාලන කොටස් අත්පත් කර ගෙන ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය විසින් අනාවරණය කර තිබිණි.
ජුනි 27 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ නිවේදනයක, මැසගන් ඩොක්ස් අවධාරණය කළේ මෙම ගිවිසුම සමාගමේ පළමු ජාත්‍යන්තර අත්පත් කර ගැනීම සනිටුහන් කරන අතර එයට “ඉන්දියානු සාගර කලාපයේ උපායමාර්ගික අඩිතාලමක් – ප්‍රධාන සමුද්‍රීය කොරිඩෝවක්” ලබාදෙන බවයි. “මෙයත් සමඟ මැසගන් ඩොක්ස් දේශීය නැව් සාදන්නෙකුගේ සිට ගෝලීය අභිලාෂයක් සහිත කලාපීය සමුද්‍රීය තීරකයෙක් දක්වා පරිවර්තනය ආරම්භ කරයි,” යනුවෙන් මෙම සමාගමේ එක්ස් පණිවුඩයේ සඳහන් විය.
කොළඹ ඩොක්යාර්ඩ් යනු ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතම නැව් තනන්නා සහ නැව් අලුත්වැඩියා සමාගමයි. එය වාර්ෂිකව නැව් 200 කට වැඩි ප්‍රමාණයකට සේවා සපයන අතර ටොන් 125,000 ක් දක්වා වූ යාත්‍රා හැසිරවිය හැකිය. එයට ආසියාව සහ අප්‍රිකාව පුරා සේවාදායකයින් සහ රජයේ කොන්ත්‍රාත්තු ද ඇත. නමුත් දැන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයට එය හිමිව තිබේ. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත මේ ගනුදෙනුව ගැන සටහන් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ කොළඹ වාරයේ නැංගුරම් දමා ඇති බවයි. කවරක් නමුත් මේ නැංගුරම් ගැලවීම ලෙහෙසි පහසු නැත. ඉන්දියානු ව්‍යාප්තවාදය වඩා හොඳින් ක්‍රියාත්මක වන්නේ ජවිපෙ ආණ්ඩුවක් බලයේ තිබෙන විට වීම අභාවචක සිද්ධියකි. ඉන්දියාවේ මැසගන් ඩොක් ෂිප්බිල්ඩර්ස් ලිමිටඩ් විසින් කොළඹ ඩොක්යාර්ඩ් සමාගමෙහි 51% ක පාලන කොටස් අත්පත් කර ගැනීම හුදෙක් වාණිජ
ගනුදෙනුවක් නොව, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ සමුද්‍රීය ස්වාධීනත්වය උපායමාර්ගිකව ආක්‍රමණය කිරීමකි. විදේශීය මිලිටරි-සම්බන්ධිත ආයතනයකට අපේ වත්කම පාලනය කිරීමට ඉඩදීම යනු අපගේ ජාතික ස්වාධීනත්වයේ තීරණාත්මක සුක්කානමක් අත්හැරීමකි. මෙය ආයෝජනයක් ලෙස කිසිසේත්ම දැකිය නොහැකිය.
නවදිල්ලිය සහ කොළඹ අතර ඒකාබද්ධ ප්‍රකාශය මගින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සඳහා ඉන්දියානු මැදිහත්වීම පිළිබඳ සැලසුම් ගෙනහැර දක්වා තිබිණි. කලින් ඊනියා “චීන යටත් විජිතවාදය” හෙළා දුටු වත්මන් ජාතික ජන බලවේග පාලනය, ඔවුනට පෙර රජයේ ප්‍රතිපත්ති දිගටම කරගෙන යමින් සිටින බව පෙනේ. ඇත්තෙන්ම ශ්‍රී ලංකාව කලාපීය බලවතුන්ගේ බල ක්‍රීඩාවල ඉත්තෙකු බවට පත් නොවිය යුතුය. අපගේ ස්වෛරීත්වය විකිණිය නොහැක. බ්‍රාහ්මණ උපායට බිලිවීම ඛේදයකි.
ජනතා විමුක්ති පෙරමුණ 1960 ගණන්වල සිට ඔවුන් පැවැත්වූ ප්‍රසිද්ධ පන්ති පහෙන් එකක් ඉන්දීය ව්‍යාප්තවාදය පැහැදිලි කිරීම වෙනුවෙන් වෙන් කර තිබූ බව සැලකේ. ඊට අමතරව, ඉන්දු – ලංකා ගිවිසුම ඇතුළු ගිවිසුම් රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දිගින් දිගටම විරෝධය පළ කළේ ය. 2022 වසර වන විටත් ඉන්දියාව සමග ඇති කර ගැනීමට යෝජිතව තිබූ ගිවිසුම් කෙරෙහි අනුර කුමාර දිසානායක විවේචන එල්ල කළේ ය. “ඉන්දියාව කියනවා චීනය එක්ක වෙළෙඳ ගිවිසුමක් ගහනවා නම් ඊට කලින් අපිත් එක්ක එට්කා ගිවිසුමක් ගහන්න කියනවා. දැනට අපේ මාර්කට් එකේ වැඩි පංගුවක් අරන් තියෙන්නෙ ඉන්දියාව. ඉන්දියාවේ එට්කා ගිවිසුමේ තියෙන්නෙ මොකක් ද? එට්කා ගිවිසුමේ තියෙන්නේ භාණ්ඩ වෙළෙඳපොළ විතරක් නෙවෙයි, සේවා වෙළෙඳපොළත් විවෘත කරන්න. ඉන්දියානු දොස්තර කෙනෙකුට ඇවිල්ලා මෙහෙ චැනල් සර්විස් එකක් දාන්න පුළුවන්. දැන් අපි බෙල්ලටම හිරවෙලා තියෙන්නේ. ණය ගෙවන්නෙ නෑ කියල තීන්දුවක් අරන් තියෙනවා. ණයවලින් ටිකක් අපිට කපා ගන්න වෙනවා. කපා ගන්න නම් ඉන්දියාවත් එක්ක මේක අත්සන් කරන්න වෙනවා.” (අනුර කුමාර දිසානායක – 2022 ඔක්: 30 ගාල්ලේදී)
පසුගිය වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මේ වසරේ පෙබරවාරි මාසයේදී ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඉන්දීය රජයේ ආරාධනයකට අනුව එරට සංචාරයක ද නිරත විය. එම සංචාරයෙන් දින කිහිපයකට පසු අනුර කුමාර දිසානායක එම සංචාරය සම්බන්ධයෙන් ජනහමුවක දී පැහැදිලි කිරීමක් කළේ ය. “ඉන්දියාවෙන් ආරාධනා කරනකොට බලය බැලුවා නම් ජනාධිපති අපි නෙවෙයි. අගමැති අපි නෙවෙයි. කැබිනට් මණ්ඩලය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ ලොකු කණ්ඩායම අපි නෙවෙයි. විපක්ෂය අපි නෙවෙයි. පාර්ලිමේන්තුවේ අපි තුන යි. හැබැයි, එන්න කියනවා අපිට. ඇයි ඒ? බලය කොතන ද? බලය තියෙන්නෙ ජනාධිපති ගාව ද? බලය තියෙන්නෙ කැබිනට් මණ්ඩලයෙ ද? බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට ද? නෑ. බලය තියෙන්නෙ ජනතාව ගාව. ජනතාව වඩාත් වැඩියෙන් පොදි බැඳගෙන එන්නෙ කාට ද? අන්න එතන තමයි බලය. ඒක තමයි ඉන්දියාව මැනපු බලය.”
1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ නන්දන ගුණතිලක වර්තමානයේ එම පක්ෂය නියෝජනය නොකරයි. ඔහු පවසා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයින් ජනතාව රැවටීම සඳහා ඉන්දීය විරෝධී අදහස් පළ කළ බව ය. “මිනිස්සු අන්දන්න කියපු කතා නේ ඒවා. දැන් ඒගොල්ලො ආණ්ඩුවට ආවට පස්සේ ඇත්තත් එක්ක නෙ ඉන්න වෙන්නේ. ඇත්ත එක්ක ඉන්න වුණා ම කලින් කියපුවා ඔක්කෝම දැන් වැරදිලා තියෙන්නේ.” මේ කතාව ඇත්ත බව පෙනෙන්නේ කොළඹ වරායේ ගනුදෙනුව දෙස බලන විටය.
කොළඹ ඩොක්යාර්ඩ් ඉඩම ඉන්දියාවට දී ඇත්තේ පර්චසය 62,250 බැගින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසා තිබිණි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද පවසා තිබිණි. ඩොක්යාර්ඩ් සමාගම සතුව කොළඹ වරාය අසල අක්කර 25ක ඉඩමක් තියෙනවා. ඒ ඉඩම අවුරුදු 5කට කුලියට දුන්නත් මේ ගාණට පාඩුයි. ඩොලර් මිලියන 47 – 50 කියන්නේ අවුරුද්දකට ඩොලර් මිලියන 10යි. මාසෙකට ඩොලර් ලක්ෂ අටයි දශම තුනයි (8.3)යි. ඒ කියන්නේ අක්කරයක් මාසෙකට ඩොලර් 33,200යි. පර්ච් එකක් දීලා තියෙන්නේ ඩොලර් දෙසිය හතයි දශම පහකට (207.50). තව තේරෙන්න කිව්වොත් පර්ච් එක රුපියල් 62,250 ගානේ දීලා තියෙන්නේ. මේ ලෝක ශ්‍රේණිගත කිරීමවල 16 වැනි ස්ථානයේ තියෙන වරායක ඉඩමක්. මේකේ ආර්ථික පාඩුව, ඊට වඩා විශාලයි දේශපාලන අවදානම. මේක ජනතා ද්‍රෝහී ගිවිසුමක්. මෙය පරාජය කරන්න ජනතාව පෙළගැසිය යුතුයි.
චතුර පමුණුව