බැඳුම්කර වංචාවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කිරීම
පාර්ලිමේන්තු වරප්‍රසාද මගින් යටපත් කළ නොහැකි සත්‍යය
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් මන්ත්‍රීවරුන්ට දූෂණ විරෝධී පන්ති
තොරතුරු දැන ගැනීමේ කොමිසම, අල්ලස් සහ දූෂණ කොමිසම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් වැඩසටහනට එක්වෙයි
ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික අභියෝගයට පාර්ලිමේන්තුව පිළිතුරද? නැතහොත් ප්‍රශ්නය පාර්ලිමේන්තුවද? පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමැතිවරුන් ගොන්නක් වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධව අධිකරණ ක්‍රියාවලියට ලක්වී ඇති පසුබිමක මැති සබය ජාතික ආර්ථිකය විනාශ කිරීමට වගකිවයුතු බව මෑතකදී විශ්‍රාම ගිය මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කර ඇත.
මුදල් ලේකම්වරයා ලෙස සිරිවර්ධන අවධාරණය කළ කරුණු දෙකකට ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
(1) පසුගිය දශක තුන තුළ දළ දේශීය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සිට 8.3% දක්වා 2021 වන විට අඩුවීම නොසලකා සියලුම ආණ්ඩු සහ පාර්ලිමේන්තු ණය ගැනීම හරහා අය-වැය පරතරය පියවීම (2) 100% දූෂණය, වංචාව සහ අක්‍රමිතා වැළැක්වීමට ආණ්ඩුව සමත් වුවත් පාර්ලිමේන්තුව මෙතුවක් කල් අනුගමනය කළ ණය පියවීමේ ක්‍රියාමාර්ගය වෙනස් නොකර ආර්ථිකය නිවැරදි මාර්ගයට ගැනීමට නොහැකි බව.
සිරිවර්ධන රට ඇන්දවීමට උත්සහ කරන බවට චෝදනා කරන පුද්ගලයන් වහාම ඔහුට අභියෝග කළ යුතුය. අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුවත් වරදක් නැත. නමුත් කවුරුත් නිහඬය. ඊට හේතුව අමුතුවෙන් කිව යුතු නැත. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ බලය පසුගිය වසර 30 තුළ හිමිකර ගෙන තිබූ කිසිදු පක්ෂයකට නිශ්ශබ්දව සිටිය නොහැක. නමුත් එම සියලුම පක්ෂ නිහඬය.
රටේ උත්තරීතරම ආයතනය තම මූලික වගකීම පැහැර හැරීම සහ රට බංකොළොත් වීම වෙනමම විමසා බැලිය නොහැක. පළාත් පාලන ආයතන තම ග්‍රහණයට ගැනීමට මාරාන්තික සටනක නියැළී සිටින සියලුම පක්ෂ තවමත් පාර්ලිමේන්තුව නිවැරදි මාර්ගයට ගැනීමට සැබෑ උත්සහයක් ගනු ලබන බව පෙනෙන්නේ නැත.
ප්‍රශ්නගත ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක රිටෝක්ෂිමැබ් ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු වීම පිළිබඳව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමට එරෙහි නඩුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ලෝචනි අබේවික්‍රම වීරසිංහ ඉදිරියේ විභාග වෙමින් ඇත. ඊට අමතරව මුදල් විශුද්ධිකරණ චෝදනාවට රඹුක්වැල්ල පවුලම කොටුවී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති ප්‍රශ්නගත මුදල අවම වශයෙන් රුපියල් දහතුන්කෝටි හතළිස් ලක්ෂ අනූහත්දහසකි. අත්හිටුවා ඇති ස්ථාවර තැන්පතු සහ රක්ෂණ ආයෝජන සංඛ්‍යාව 40 කි.
නමුත් අප අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ සුව සේවය විනාශ කළ බවට චෝදනාවට භාජනය වී ඇති සුව අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමයි. නැතහොත් ඉමියුනෝග්ලෝබියුලින් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුර තිබීම සහ පිළිකා නාශක රිටෝක්ෂිමැබ් ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු වීම මැතිසබය අපරාධයක් ලෙස නොදැකීමයි. ජනාධිපතිවරයා නායකත්වය හොබවන කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම තුළ සුව අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විමසා බැලිය යුතුය. ඒ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ විධායකය නියෝජනය කරන්නේ අමාත්‍යවරු බැවිනි.
රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ඉලක්ක කර පැවැත්වූ දින තුනක විවාදයකින් (2023 සැප්තැම්බර් 6,7 සහ 8) පසුව අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වූ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) සුව අමාත්‍යවරයාව ගලවා ගත්තේය. එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයද රඹුක්වැල්ල අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටියේය. දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ආණ්ඩු පක්ෂය සමග සිට ගත්තේය.
විශ්වාසභංගය පරාජය කිරීමත් සමග රඹුක්වැල්ල අමාත්‍යවරයාට තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය හිමිවිය. එදා සුව අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කිරීමට මැති ඇමැතිවරු 113 කිසිදු චකිතයකින් තොරව ඉදිරිපත් විය. ඒ වික්‍රමසිංහ – රාජපක්ෂ නායකත්වයේ තීරණය විය.
නීතිපති දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ දැනට හෙළිදරව් කළ කරුණු කාරණා අනුව පාර්ලිමේන්තු ක්‍රමය තුළ විශ්වාසභංගයක් හරහා යම් අමාත්‍යවරයකු පිළිබඳව විශ්වාසය තහවුරු කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප වී ඇත. අභියෝගයට ලක්වී ඇත. මැති සබයේ බලය සංඛ්‍යාත්මකව හිමි පක්ෂයට/කණ්ඩායමට ඕනෑම චෝදනාවකට ලක්වූ පුද්ගලයකු ‘පිරිසිදු’ කිරීමේ බලය විශ්වාසභංගයක් හරහා ලැබෙන බව ඔප්පු කර ඇත. පාර්ලිමේන්තුව ලොන්ඩරියක් බවට පත්කර ඇත.
දූෂණ චෝදනාවට ලක්වූ රඹුක්වැල්ල 2020

අගෝස්තු මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයෙන් (නුවර දිස්ත්‍රික්කය) මැතිසබයට පත්වීම ඔහුව ආරක්ෂා කිරීමට එකම හේතුව විය නොහැකිය. ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට පෙර රඹුක්වැල්ලට එරෙහිව සමගි ජනබලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංගය පරාජය කළ මැති ඇමැතිවරුන් හඳුනාගනිමු. මැති සභයේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරයට එම කණ්ඩායම: හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා දේවි වන්නිආරච්චි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ (රඹුක්වැල්ලගෙන් පසුව සුව ඇමැති ලෙස පත්විය), අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, මනුෂ නානායක්කාර, අජිත් රාජපක්ෂ, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු (දූෂණ චෝදනාවකට මෑතකදී වසර 25 ක සිර දඬුවමක් නියම විය), රොෂාන් රණසිංහ, ජීවන් තොන්ඩමන්, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජානක වක්කුඹුර, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තේනුක විදානගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, ප්‍රේමලාල් ජයසේකර, අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, සනත් නිශාන්ත, තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ හේරත්, සිරිපාල ගම්ලත්, අනුරුද්ධ ජයරත්න, එස්. වියලේන්ද්‍රන්, ඩී. වී. චානක (වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි), සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රසන්න රණවීර, ඩී. බී. හේරත්, ශෂින්ද්‍ර රාජපක්ෂ, වෛද්‍ය සීතා අරඹේපොල, ශාන්ත බණ්ඩාර, කේ. කාදර් මස්තාන්, අසෝක ප්‍රියන්ත, ඒ. අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්), චාමර සම්පත් දසනායක (වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි), අනුප පැස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන (එජාපය නියෝජනය කළ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා.
එජාපයේ සහාපති වන මොහු එම පත්වීම ලැබුවේ පොහොට්ටු පක්ෂය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව තුළ ඡන්දයකින් 2022 ජුලි මාසයේදී ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමෙන් පසුවය), සී. බී. රත්නායක (ඔහුගේ සහෝදරයකු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක ඉමියුනෝග්ලෝබියුලින් චෝදනාවට ලක් වූ අයෙකි), එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ (දූෂණ චෝදනාවකට මෑතකදී වසර 20 ක් බරපතළ වැඩ සහිත සිර දඬුවමක් තිපුද්ගල අධිකරණයකින් නියම විය), රෝහිත අබේගුණවර්ධන (වර්තමාන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයෙකි), නාමල් රාජපක්ෂ (වර්තමාන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීවරයෙකි), සරත් වීරසේකර, විමලවීර දිසානායක, කපිල අතුකෝරල, වෛද්‍ය ගයාෂාන් නවනන්දන, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, යූ. කේ. සම්පත් උඩුකුඹුර, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, අකිල එල්ලාවල, ජගත් කුමාර සුමිත්‍රආරච්චි, කරුණාදාස කොඩිතුවක්කු, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, උදයකාන්ත ගුණතිලක, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, කුලසිංගම් දිලිපන්, සුදර්ශන දෙනිපිටිය, ඉසුරු දොඩන්ගොඩ, ප්‍රේමනාත් සී. දොලවත්ත, එච්. නන්දසේන, මුදිත ප්‍රිශාන්ති, සුදත් මංජුල, මායාදුන්න චින්තක අමල්, නිපුන රණවක, කුමාරසිරි රත්නායක, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රමේශ්වරන්, රජික වික්‍රමසිංහ, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, මදුර විතානගේ, ඩී. වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, සාගර කාරියවසම් (පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්), යදාමිනි ගුණවර්ධන, මංජුලා දිසානායක, රන්ජිත් බණ්ඩාර, ජයන්ත වීරසිංහ, ඒ. එල්. එම්. අතාවුල්ලා, නිමල් ලන්සා, ලලිත් වර්ණ කුමාර සහ එස්. ජගත් සමරවික්‍රම.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ පත්කර ගැනීමට සමස්තයක් ලෙස මෙම කණ්ඩායම ඡන්දය දුන් බව අවධාරණය කළ යුතුය.
නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන හිටපු අමාත්‍යවරුන්ට අධිකරණය දුන් දඬුවම අනුව රඹුක්වැල්ල ඇතුළු චෝදනාවට ලක්වී සිටින කණ්ඩායමට ඖෂධ මිලදී ගැනීමේදී සිදුවී ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් දිය හැකි උපරිම දඬුවම කුමක්ද? මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වෙනමම විමසා බැලිය යුතුය. මැති ඇමැතිවරුන් මෙම තත්ත්වයට පත්වීම පිළිබඳව රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව වගකිව යුතු නොවේද? එම ආයතනයේ වගකීම මෙන්ම වගවීම පිළිබඳව අවධානය යොමුවිය යුතුය.
ශ්‍රී ලංකාවේ දූෂිත දේශපාලනය සහ රාජ්‍ය සේවය වෙත ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වී ඇති බව අවධාරණය කරන මාධ්‍ය නිවේදනයක් පසුගියදා පාර්ලිමේන්තුව නිකුත් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග එක්වී මහජන නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කිරීමට තීරණය කර ඇත. ඒ පිළිබඳව එම ආයතනයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතවරිය අසූසා කුබෝටා මහත්මිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නව පසුගියදා දැනුවත් කළේය. දේශපාලන පරිවර්තනය සමග අල්ලස සහ දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් දැනටම ගෙන ඇති බව ඒ අවස්ථාවේදී කථානායකවරයා ප්‍රකාශ කළේය. නමුත් යම් රටක පාර්ලිමේන්තුවට අල්ලස් සහ දූෂණය වැළැක්වීමට උපදෙස් ලබාදීමට ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරිපත් වීම ඛේදවාචකයකි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මැති සබය දැනුවත් කිරීමට ඉදිරිපත් වීම හදිසි තීරණයක් නොවන බවට සැකයක් නැත.
ජපානයද තම බදු ගෙවන්නන්ගේ මුදලින් ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහනක් දියත් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යෝජනා කරන පරිදි මහජන නියෝජිතයන්ට අමතරව පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහනට ඇතුළත් කර ඇත. පාර්ලිමේන්තුව පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් තිබේද? රුපියල් මිලියන 74 ක රත්‍රන් සහ රුපියල් මිලියන 4.2 ක ජංගම දුරකථන රේගුවට හොරෙන් රට තුළට ගෙන ඒමට තැත් කළ අලි සබ්රි රහීම් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රස් සාමාජික සහ සජබ පුත්තලම් දිස්ත්‍රික්ක මන්ත්‍රී) හට මාසයක පාර්ලිමේන්තු තහනමක් පැනවූ රටක පාර්ලිමේන්තු ප්‍රජතන්ත්‍රවාදය අභියෝගයට ලක්වීම, විශ්වාසය නැති වීම සාමාන්‍ය තත්ත්වයකි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෑතකදී නිකුත් කරන ලද උපදෙස් අනුව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කිරීමද අවධාරණය කරන්නේ ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතිය වර්ධනය කිරීම, ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදය සකස් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම නිසියාකාරව සිදු නොවූ බව අමුතුවෙන් කිව යුතු නැත.
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය තුළ මැති සබයේ වගකීම සහ වගවීම විමසා බැලිය යුතුව ඇත. පාර්ලිමේන්තු වරප්‍රසාද තමන්ට සහ තම පක්ෂයට වාසිදායක ආකාරයට මතුරමින් සත්‍යය යටපත් කළ නොහැක.
යහපාලන සමයේදී මේ ආකාරයේම සිදුවීමක් මැති සබයෙන් වාර්තා විය. එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 94කින් පරාජය විය. 2016 ජුනි 09 ඡන්දයට භාජනය වූ එම යෝජනාවට එරෙහිව ඡන්ද 145 ලැබුණ අතර පක්ෂව ප්‍රකාශ වූයේ ඡන්ද 51ක් පමණි. ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක ආර්. සම්පන්ධන් ඒ අවස්ථාවේ සභාවේ සිටියේ නැත. අවස්ථානුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළැකීමද දේශපාලන උපක්‍රමයකි.
එම විශ්වාසභංගය පළමුවන බැඳුම්කර වංචාවට (2015 පෙබරවාරි) එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ අතර එය ඡන්දයට ගැනීමට පෙර යහපාලන ආණ්ඩුව දෙවැනි බැඳුම්කර වංචාව (2016 මාර්තු) සිදු කර තිබිණි. අද සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරන සියලුම මහජන නියෝජිතයන් එදා රවි කරුණානායකට පලිහක් විය. අද සජබ නියෝජනය කරන මන්ත්‍රීවරුන් එදා බැඳුම්කර වංචා ආරක්ෂා කිරීමට නොකළ දෙයක් නැත. පළමුවන බැඳුම්කර වංචාවට පෙර මහ බැංකුව රනිල් වික්‍රමසිංහ ගේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට පත් කළ බව පාර්ලිමේන්තුවට මතකද? එදා ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුව සමග විය.
බැඳුම්කර වංචාව යට ගැසීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජුනි අග පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ව්‍යවස්ථානුකූලවය. ව්‍යවස්ථාව වංචාව, දූෂණය සහ අක්‍රමිකතා ආරක්ෂා කිරීමට යොදාගනු ලබන දේශපාලන පක්ෂ රටට හෙණයකි.
අනුර කුමාර ජනාධිපතිවරයා පසුගිය නොවැම්බරයේ පැවැත්වූ මහ මැතිවරණයට පෙර මෙවර මැති සබය ජාතික ජනබලවේගය (ජාජබ) මන්ත්‍රීවරුන්ගෙන් පමණක් පිරවිය යුතු බවට අවධාරණය කළේ රවි කරුණානායකට සහ කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග පරාජය කිරීම කිසිදා නොවිය යුතු දෙයක් බව පෙන්වා දෙමිනි.
පාර්ලිමේන්තුව රෙදි සෝදන යන්ත්‍රයක් විය යුතු නැත. ජාජබ ආණ්ඩුවද ප්‍රවේශම් විය යුතුය. මේ වසරේ ජනවාරි 18 වන දින බහාලුම් 323 රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ලවන චෝදනා නොසලකා හැරීම කිසිසේත්ම පිළිගත නොහැක. ජාජබ මැති සබයේ 2/3 අසම-සම බලයක් තිබෙන බව සැබෑය. මීට පෙර කිසිදු ආණ්ඩුවකට මේ ආකාරයේ පිරිසිදු 2/3 බලයක් හිමිවූයේ නැත. මැති සබයේ ඔළු ගෙඩි ගණන අනුව ඕනෑම විශ්වාසභංගයකට මුහුණ දීමේ ශක්තිය ආණ්ඩුවට ඇත. අතිශය ආන්දෝලණාත්මක බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් සජබ ප්‍රමුඛ විපක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළත් කලබල වීමට හේතුවක් නොමැත. විශ්වාසභංගයක් පැරදවීමට නොව අවශ්‍යනම් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අත්‍යවශ්‍ය 2/3 ආණ්ඩුවට ඇත.
නමුත් අරගලයෙන් පසුව ජනතාව පැතූ සැබෑ වෙනස එය නොවේ. බංකොළොත් ශ්‍රී ලංකාවේ තව දුරටත් ආණ්ඩුව, පක්ෂය සහ තම කණ්ඩායම ගැන පමණක් සිතා තීන්දු තීරණ ගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට නොහැකිය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ