නිතර නිතර නවතින දුම්රිය මේ සතියේ නැවතුණේ දුම්රිය රියදුරන්ගේ හෝ ස්ථානාධිපතිවරුන්ගේ හෝ එහි ඉහළ පාලන අධිකාරියේ නිලධාරීවරුන්ගේ වැඩවර්ජනවල අණසකට යටත්ව නොවේ. මෙවර කරළියට පැමිණෙන්නේ දුම්රිය මාර්ගවල නඩත්තු කටයුතු කරන, දුම්රිය ගේට්ටු හසුරුවන එම දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර මට්ටමේ සේවකයන්ගේ හඬය. පසුගිය දිනවල සන්ධ්‍යා භාගයේදී කාර්යාල දුම්රියවලින් නිවෙස් බලා ඇදෙන මගී ජනතාවට අත්දැකීමට ලැබුණේ දුම්රිය හරස් මාර්ග අභිමුඛව එහි වේගය පාලනය කරගනිමින් ඉබි ගමනින් ගමන් කරන යකඩ යකුන්ය. එසේ සිදුවූයේ දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණික ශිල්පී සේවකයන් හා එහි සියලු කාර්යය මණ්ඩල, මාර්ග පරීක්ෂාවේ යෙදෙන සේවකයන් මෙන්ම දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන් හා ආවරණ කටයුතු සිදුකරන ගේට්ටු ක්‍රියාකරුවන්ගේ ඒකාබද්ධ වැඩ වර්ජනය හේතුවෙනි. දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණික ශිල්පී සේවක සංගමය විසින් පසුගිය 2025.06.23 දිනැතිව නිකුත් කරන ලද නිවේදනයකින් සඳහන් කරනු ලැබුවේ අංක 10/2025 රාජ්‍ය වැටුප් චක්‍රලේඛය හරහා හිමිවිය යුතු වරප්‍රසාද තමන් වෙත සම්පූර්ණයෙන්ම නොලැබෙන බවත්, එම දෙපාර්තමේන්තුව තුළ එම චක්‍රලේඛයට අදාළ නිර්ණායක මත හිමිවිය යුතු දීමනාදිය එක් එක් සේවක පාර්ශ්වයන්ට අසමාන ලෙස අසාධාරණ අයුරින් ක්‍රියාත්මක වන බවය. වැඩිදුරටත් එම සංගමය විසින් අවධාරණය කරනු ලබන්නේ උක්ත චක්‍රලේඛය නිසි ලෙස ක්‍රියාත්මක නොකර, එහි ගැටලු පවතින බවට නිර්දේශ කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පාලන අධිකාරිය විසින් එයට අනුමැතිය ලබා දුන් පූර්ව කැබිනට් පත්‍රිකාව ද අනීතිකව අවලංගු කර දැමීමේ උත්සාහයක නිරත වන බවයි.
අතිකාලයට ඇති ඉල්ලුම
බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයන් තමන්ගේ මූලික වැටුපට වඩා ප්‍රිය කරනු ලබන්නේ අතිකාල වැටුප් සම්බන්ධයෙන් බව ප්‍රසිද්ධ රහසකි. දුම්රිය දෙපාර්තමේන්තුව ගත් කල එහි කැඩපතක් බඳුය. මන්දයත් දුම්රිය රියදුරන්ගේ සිට එහි ඉහළ හා පහළ ශ්‍රේණිවල බහුතර සේවකයන්ගේ වැටුප්වල වැඩි බර ඇත්තේ මෙම අතිකාල දීමනා හරහා ලබා ගන්නා පංගුව මතය. එබැවින් අතිකාල දීමනාවලට රාජ්‍ය ආයතනවල ඇති ඉල්ලුම ගැන දෙවරක් සැක සංකාවන් ඇති කරගත යුතු නොවේ. දුම්රිය මාර්ගවල අව්වේ වැස්සේ කර වෙවී, දුම්රිය ධාවනය වන මොහොතේම වෙලාවක් කලාවක් නොමැතිව අධික වෙහෙසක් දරමින් දුම්රිය මගීන්ගේ සැබෑ ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරනු ලබන දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණ ශිල්පීන් ඇතුළු දුම්රිය හරස්මාර්ග ගේට්ටුකරුවන්ගේ අතිකාල සම්බන්ධයෙන් වූ හිමිකම් ක්‍රියාත්මකවීමට පමණක් කුඩම්මාගේ සැලකිලි ලැබීමට විරුද්ධව එම සේවක පන්තිය නියෝජනය කරන පිරිසගේ විරෝධය මේ අවස්ථාවේදී පළවෙමින් පවතී.
“අපි සිදුකරන්නේ අතිශය සාධාරණ ඉල්ලීමක්, රජයට විරුද්ධ වීම හෝ රජය අපහසුතාවට පත් කිරීමට අපට අවශ්‍යතාවක් නෑ. අපිට අවශ්‍ය රජය විසින් ලබාදෙන ලද වැටුප්, අතිකාල සහන අපේ සේවක පන්තිය වෙත නිසි ලෙස ලබා ගැනීමයි. ඒ සම්බන්ධයෙන් වර්ජනයට පෙර දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සිදුකරන ලද සාකච්ඡාවලින් පැහැදිලි එකඟතාවකට එන්න බැරි වුණ නිසා තමයි අපි මේ වර්ජනය දියත් කරන්නේ. මේ සම්බන්ධව ඉක්මන් පිළිතුරක් ලබා දෙන්න මේ වන විට පොරොන්දු වෙලා තියෙන නිසා අපි වැඩ වර්ජනය තාවකාලිකව නවත්තනවා. නමුත් ස්ථීරසාර සැබෑ විසඳුමක් ලැබෙනකම් අපි බලන් ඉන්නවා. අපිට යහපත් පිළිතුරක් ලැබෙන්නෙ නැත්නම් පමණයි අපි දීර්ඝ වෘත්තීය ක්‍රියාමාර්ගවලට යන්නේ” යැයි අප කළ විමසීමකදී දුම්රිය මාර්ග අංශයේ තාක්ෂණික ශිල්පී සේවක සංගමයේ ලේකම් පී.ඩී.එච්. චතුරංග මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ තමන් නියෝජනය කරන සේවක ප්‍රජාව තුළ 6000කට ආසන්න ස්ථීර සේවගේ නියුතු සේවක ප්‍රමාණයක් සිටින බවත්, ඔවුන් විසින් ඉතා අවම පහසුකම් හා අර්බුදකාරී තත්ත්වයන් රැසක් මත දුම්රිය දෙපාර්තමේන්තුව වෙත සිය සේවා කටයුතු ඉමහත් පරිශ්‍රමයක් යොදා ඉටු කරන බවත්ය.
“අපි අනිත් සංගම් වගේ ජනතාව අපහසුතාවයට ලක් කරන්න වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන පිරිස් නෙමෙයි. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වුණත් අපි ගත්තේ වසර ගණනක් එහාට ගිය සෑහෙන්න කාලයකට පස්සේ, ඒ නිසා අපගේ සේවය පිළිබඳ ජනතාව වැරැදි මතයකට එන්න හොඳ නෑ; ඒ වගේම ඇතැම් පිරිස් ජනමාධ්‍ය තුළින් මතු කරන්නේ සැබෑ ගැටලුව නෙවෙයි. එම නිසා මේ සැබෑ තත්ත්වය ජනතාවට හෙළි කරන ලෙස අපි ඉල්ලීමක් කරනවා” යනුවෙන් චතුරංග මහතා තම මතය ඉදිරිපත් කළේය.
නිරන්තරයෙන් වැඩ වර්ජනවලට දායක නොවන ඔවුන්ගේ මතය වන්නේ දිගින් දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු වගකිවයුතු ඉහළ නිලධාරීන්ගේ හා රජය පාර්ශ්වයෙන් මේ සම්බන්ධව ස්ථීරසාර විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේ දීර්ඝකාලීනව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බවයි.
දුම්රිය හරස් මාර්ගවලින් 439ක්ම මරු කපොලු!
ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවලදී සිදුවන අනතුරු ප්‍රමාණය අනුව ඒ පිළිබඳ වැඩිපුර අවධානයක් දැක්විය යුතු කාලවකවානුවක් මෙන්ම හා රජය විසින් ඉතා ඉක්මනින් එම වගකීමට බැඳී අදාළ ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබා දියයුතු තත්ත්වයක්ද එළඹ තිබෙන්නේය. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග නිසා පදිකයන් මෙන්ම යතුරුපැදියේ සිට මෝටර් රථ, වෑන් රථ මෙන්ම පොදු මහජනතාව ගමන් ගන්නා බස් රථ ද අනතුරට හා අවදානමට ලක් වූ අවස්ථා රැසක් වාර්තා වීම මෙරට මූලික ජනතා ගැටලුවක් ලෙස කලක පටන් හඳුනාගෙන තිබුණත් ඊට නිසි පරිදි තිරසර විසඳුමක් නම් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. ජනතාව ද මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් ගත යුත්තේ දුම්රිය නිසා මුහුණ දීමට සිදුවන අනතුරු ප්‍රමාණයෙන් බහුතරයක් වාර්තා වන්නේ නිසි ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ගවලින් බව පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී රැස්වූ රජයේ ගිණුම්කාරක සභාව හෙවත් ‘කෝපා’ හි දී කරුණු අනාවරණය වීමයි.
හරස් මාර්ග 1362ක්
එම දත්ත අනුව, ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින සමස්ත දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 1362කි. ඒ අතරින් නිසියාකාර පද්ධතියක් මගින් ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ඇත්තේ 738ක් පමණක් බවත්, හරස් මාර්ග 439ක ප්‍රමාණයක් තවමත් පවතින්නේ අනාරක්ෂිත මට්ටමේ බවත් හෙළිදරව් කර ගැනීමට හැකි විය. රජය මගින් පාලනය නොවන පුද්ගලික දුම්රිය හරස් මාර්ග 185ක් ද පවතින බව එම එම වාර්තාවල දැක්වේ. යම්කිසි විද්‍යුත් සංඥා පද්ධතියක් මගින්, ස්වයංක්‍රීයව වැසෙන පරිදි හා ගේට්ටුකරුවන්ද යොදා ඇති ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 306ක් වන අතර, එයින් ද විදුලි සීනු සහිත අවම වූ ආරක්ෂිත ගේට්ටුවක් යන ද්විත්වයම පවතින ප්‍රමාණය වන්නේ 161ක් පමණක් වීම ද සැලකිය යුතු කරුණකි. වැඩිදුරටත් විදුලි සීනු පමණක් ක්‍රියාත්මක වන දුම්රිය හරස් මාර්ග ප්‍රමාණය 432ක් බව ඉන් හඳුනා ගෙන තිබේ.
මෙහිදී ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ලෙස නම්කර ඇති මාර්ගයන්හි බොහෝදුරට ඇත්තේ එම මාර්ගයේ ගමන් කිරීම “ප්‍රවේශමෙන්” හෝ “අනතුරුදායකයි” යනුවෙන් දැක්වෙන අනතුරු හැඟවීමේ සංඥා පුවරුවක් පමණක් වන්නේය. ප්‍රායෝගික භාවිතයේදී මේ පිළිබඳව සලකා බලන විට අපට දැක ගත හැකි වන්නේ ඇතැම් ස්ථානවල එම අනතුරුදායක පුවරු ඉවත් වී, කඩා වැටී හෝ විකෘති වී පවතින බවයි. පැහැදිලි අනතුරු ඇඟවීමක් සහිත දුම්රිය හරස් මාර්ග පවතින්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. මේවා පිළිබඳව ද රජය සතුව නිසි දත්ත හා තොරතුරු නිසි පරිදි යාවත්කාලීන වන්නේ ද නැත.
මීට අමතරව දැනට වසර කිහිපයක සිට පොලිස් දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම තුළින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුකරුවන් ලෙස බොහෝ විට ග්‍රාමීය මට්ටමින් සේවා කටයුතුවල නියැලෙන 2013 වර්ෂයේ පටන් ස්ථිර නොවන දෙදහසකට අධික පිරිසක් ද ඔවුන්ට හිමිවන මාසික දීමනාව ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් දැන් වසර ගණනාවක සිටම එකී ප්‍රතිලාභ වැඩි කර ගැනීමට උත්සාහ කරන අතර, වර්තමාන රජයේ ප්‍රවාහන, මහාමාර්ග, සිවිල් හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් මීට මාස කීපයකට ඉහතදී ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධව ද අවශ්‍ය අංශ සමග සාකච්ඡා සිදුකරන බවයි.
කෙසේ වෙතත් මේ ආකාරයේ විවිධ ගැටලු පවතින විට එම පාර්ශවවලින් මහජනතාවට ලැබෙන්නේ තෘප්තිමත් හා විශ්වාස දායක සේවයක් ද යන්න විශාල කුකුසක් ජනතාවගේ සිත් තුළ හටගැනීම නැවැත්විය හැකි නොවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් මහමග ගමන් කරන්නේ දැඩි ජීවිත අවදානමක් පවත්වාගෙන බව තවදුරටත් රහසක් ද නොවේ. ඊට මේ රටේ වාර්ෂිකව සිදුවන දුම්රිය අනතුරු ගොන්නට මෙන්ම, 250 – 300 අතර අගයක පවතින දුම්රිය අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද පැහැදිලිවම නිදර්ශන සපයයි. විශේෂයෙන් එවැනි තත්ත්වයන් වැළැක්වීමට නිසි පියවර නොගෙන ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවයන් ඇතිකිරීමට රජය විසින් පියවර නොගැනීමම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ලෙස සැලකිය හැකි බැවින් රජය මේ කාරණා පිළිබඳ දැඩි ලෙස අවධානයට ලක් කළ යුතු වන්නේය.
රජයේ ඉදිරි සැලසුම්
කෙසේ වෙතත්, මෙකී ගැටලු පිළිබඳ ඉදිරියේදී රජය ගනු ලබන පියවර සම්බන්ධයෙන් ද තොරතුරු විමසීමක් සිදු කළ අතර, ඒ සඳහා එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග නිසි ආරක්ෂිත හරස් මාර්ග සහිත දුම්රිය හරස් මාර්ග ලෙස සකස් කිරීම සඳහා වන රජයේ ඉදිරි සැලැස්ම යටතේ මහව/අනුරාධපුර ව්‍යාපෘතිය තුළින් නව හරස් මාර්ග 46කුත්, දැනට අනාරක්ෂිතව පවතින දුම්රිය හරස් මාර්ග හා තවත් අමතර ආරක්ෂාව සැලසිය යුතු ලෙස හඳුනාගත් ස්ථාන ද ඇතුළත්ව පළාත් පාලන ආයතන හරහා බඳවා ගනු ලබන බහු කාර්ය සේවක බලකායක් හරහා අතින් ක්‍රියාත්මක කරවන ගේට්ටු සවි කිරීම සඳහා යෝජිත 435ක ප්‍රමාණයකුත් ආවරණය කිරීමට රජය පසුගිය වසරේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවය. මේ අතර වායු සමනය කරන ලද නවීන දුම්රිය මැදිරි කට්ටල කිහිපයක්ම මිලදී ගැනීම සඳහා ද මේ වන විට අනුමැතිය හිමි වී ඇති බවත් වැඩිදුරටත් තොරතුරු අනාවරණය විය.
මේ සියලු තොරතුරු සමග මහජනතාව විමසිලිමත් විය යුත්තේ දුම්රිය හරස් මාර්ගයක් අසලින් ගමන් කරන විට වරක් දෙවරක් නොව කිහිපවරක් ම අවධානයෙන් එය පසුකර යෑම ඇඟට ගුණ බවයි.
ජනක බෝකුඹුර