
ප්‍රේමා ෂා Prema Shah
ප්‍රේමා ෂා නේපාල පාඨකයන් අතර වඩාත් ජනාදරයට පත්වීයේ A Husband නමැති කෙටිකතාව හේතුවෙනි. මෙය අනෙකුත් කෙටිකතා අබිබවා යෑමට හේතු වන්නට ඇත්තේ මෙය කණවැද්දුම් හෙවත් වැන්දඹු බව පිළිබඳව කතා කිරීම විය හැකි බව විචාරකයෝ සඳහන් කරති. දෙවැනුව වඩාත් අවධානයට ලක්වීයේ “The Yellow Rose” (Pahenlo Guloph) නමැති කතාවය. මෙම කතාවට පාදක වන්නේ ක්ෂය රෝගයෙන් මියයන්නට යන කාන්තාවක විසින් ලියන ලද දිනපොතක ඇය ලෙඩ ඇඳේ සිට ඇයගේ සැමියා කරන කියන දේ දකිනා ආකාරයයි. ප්‍රේමා ෂා කවියකු ලෙසින් ද ප්‍රකටය. ප්‍රේමා ෂා විසින් රචිත කෙටිකතා සංග්‍රහ දෙකකි. ඒ Pahenlo Gulaph (Yellow Rose” 1966) සහ Vishayantara (Digressions 1971) යි. මේ ප්‍රේමා ෂා විසින් රචිත A Husband (Logne) කෙටිකතාවේ සිංහල පරිවර්තනයයි.
කෙටි කතාව
නිර්මලා සැමියාගේ වියෝව යන්තම් අකාමකා වෙන්නටත් කලින් ඇයට ගෙදර ඒමට සිදු වූයේ ඇගේ නැඟණියගේ විවාහ මංගල්ලයටය. ඇය සැණෙකින්ම ආවේ නැඟණියගේ මුහුණ හැඩ වැඩ කරන්නට එකතු වන්නටය. නිර්මලාගේ මුහුණ බැලූ බැල්මටම පාණ්ඩු පැහැයෙන් මෙන්ම බොහෝ වෙහෙසකර අයුරක් පෙනෙන්නට තිබුණත් ඇය මීට එක්වූයේ තරමක් උදාසීන අයුරිනි. මේ හැම දෙයක්ම බොහෝ අතාත්වික බවක් පෙනෙන්නට විය. ක්‍රීම්, පුයර, තොල් ආලේපන, මුහුණ රතු කරන සුවඳ ආලේපන, ඇස් පිහාටු ආලේපන තැබිය යුත්තේ ඇගේ කම්මුලේ ද? නැත්නම් නිකටේද? ඕහ්… කවුද මෙච්චර මේ අඩු දේවල් ඇඳගෙන සිටියේ. මොක වුණත් එය හරියටම වෙස් මුහුණක් පාට කරනවාක් මෙනි. නිර්මලාට එවැන්නක් කිරීමට නොසිතිණි. එය කෙනකුගේ ආලේපන උලන බොහෝ යල් පැනගිය එකකි. ඇයගේ නංගිගේ සොඳුරු මුහුණ අලුතෙන් ආලේප කර ලස්සන කිරීමට තරම් වුවමනාවක් ඇතිද?
නිර්මලා බොහෝ ආයාසයෙන් උත්සාහ ගනිමින් උන්නේ ඇගේ යටගියාවේ තවමත් ඇදුම්කමින් තිබෙන අමිහිරියාව යටපත් කිරීමටය. එහෙත් කොහෙන් හෝ ඇයගේත් ඇයගේ සොයුරියගේත් සිතෙන් නැඟෙන සිතිවිලි සමුදාය විශාල කණ්ණාඩියෙන් පෙන්නුම් කරන්නට විය. මේ කණ්ණාඩිය මෙතැනට කාන්දුවීයේ මෙයිට අවුරුදු දෙකකට පමණ කලිනි. ඒ නිමලා මෙම නිවෙසින් නික්ම යෑමෙන් පසුවය. එය තවමත් නොඉඳුල් නොකිලිටි වුවත් ඇගේ හැඟීම් වෙනස් වී ඇත. මුළුමනින්ම දරුණු ලෙස වෙනස් වී ඇත.
ඇයගේ ඇහිපිහාටු ආලේපය සහිත පින්සල නැඟණියගේ දෑස මත්තෙහි ඔබ මොබ දඟලන්නට වූ අතර ඇගේ හදවතේ තවදුරටත් ජීවන ආශාවක් නොවිණි.
සියල්ල සිදුකර අවසානයේ ඇය කණ්ණාඩියෙන් ඇගේ නැඟණියගේ මුහුණ බැලුවාය. ඇයට ඇගේ මුහුණ ගැන පුදුමාකාර හැඟීමක් දැනිණි. නිර්මලා ඇය ආලෝකවත් කළත් ඇයගේ මුහුණ අල්ලා සිප ගන්නට තරම් හැඟීක් දැනෙන්නට විය. එහෙත් ඇය එසේ කරන්නට නොගියාය. ඇයට විශාල ලැජ්ජාවක් මෙන්ම විශාල සාඩම්බරයක් ද දැනෙන්නට විය. ඇය කොහෙත්ම සුන්දරය. දැන් පවා ඇය, ඇයගේ නැඟණියට වඩා සුන්දරය. “නිර්මලා කොහොමටත් උර්මිලාට වඩා ඇහැට කනට පේන එකී.” හැමෝම කියන්නේ ඒ අයුරින් වුවත් ඇය සිතන්නේ ඇගේ නැඟණිය ඉදිරියේ ඇගේ ලස්සන දියවී යන බවයි. ඇය ඇත්තටම අලංකාර අයුරින් විචිත්‍ර කර තිබුණත් ඇගේ දක්ෂතාව ගැන ඇය වැඩි පහන් බවක් දක්නට නොවිණි. ඇත්තෙන්ම තමන්ට මෙම පෙනුම තමන්ට උරුම කර ගන්නට හැකිනම් යැයි යන සිතුවිල්ලත් සමග ඇයට දැනුණේ ඊර්ෂ්‍යාවකි.
අල්ලපු කාමරයේ උන්නේ උර්මිලා බලන්නට ආ තරුණයාය. බිරාත් නගර්වලින් ආ ඔහු ලොකු අයියාගේ අලුත්ම යාළුවාය. ඔහු මහාචාර්යවරයකු ද නැති ද කියා නිර්මලා සිටින්නේ දැඩි අඩමානයකය. අක්ක – නඟෝ දෙන්නාටම ඔවුන් හීන් සීරුවේම කරන කතා බහ අසා ගන්නට හැකිය. නිර්මලා ඇස පුංචි කරමින් තියුණුව කන යොමු කරමින් සිටිද්දී උර්මිලා යන්තමින් සිනා සෙමින් සිටිනු ඇය, කණ්ණාඩියෙන් දුටුවාය. ඇයගේ රෝස පැහැති ලැජ්ජාශීලි මුහුණ ඇය තව තවත් සුන්දර කරනු, ඇය දුටුවාය. ඇයගේ අයියා මොකක්දෝ දෙයකට මහ හඬින් සිනාසෙද්දී මෙන්ම ඒ ඇරුණු විට තවත් කවුරුන් හෝ සිනාසෙනු ඇසිණි. ඒ මුදු සිහින් හඬිනි. නිර්මලා කලබල වූවාක් වැනිය.
එසේ වුවත් උර්මිලා හැරී ඇය දෙස බලා සිනාසුණාය. ඇයට ඇගේ අක්කාගේ ලස්සන ගැන ඇයට හැඟීමක් විය. මේ හැම දෙයක්ම ඇය තුළ තැන්පත් විය. උර්මිලා තවමත් කණ්ණාඩිය දෙස බලා සිටිද්දී නිර්මලා හිටි අඩියේම ඇගේ කොණ්ඩයේ ගසාගෙන තිබුණු මලක් ගලවා ඉරා දමන්නට වූවාය. උර්මිලා මෙයින් අන්ද මන්ද වූවාක් මෙනි.
“මොකක්ද අක්කා ඒ කළේ…?”
නිර්මලාගේ පැහැපත් සිහින් මුහුණට දහදිය ගලන්නට විය. ඇය උර්මිලා දෙස හොඳින් බලා උන්නේ කිසිම හැඟීමකින් තොරවය. ඇය නැඟණියගේ ඇසේ අලවා තිබුණ ගැටිත්ත ගලවා දැමුවාය. උර්මිලා මේ සමගම බොහෝ තැති ගත්තාය. ඇය සිය අක්කාගෙන් ගැලවීමට කාමරයට දුවගෙන ගියාය. නිර්මලා ඇය කාමරයෙන් පිටතට දුවගෙන යන අයුරු බලමින් විනෝද වූවාය. ඇය කාමරයේ තනිවම සිනහසෙන්නට වූවාය. ඇය, සිනාසෙනවාත් එක්කම අඬන්නට ද පටන් ගත්තීය. හදවත ඇකිළෙන්නාක් මෙන් දැනිණි. ඇය හිස දණ හිස අතර ඔබාගෙන හීන් සීරුවේ හුස්ම හෙළන්නට පටන් ගත්තීය. ඇය හෙමින් කිවිසන්නට වූවාය. ඇගේ උගුර වියැළෙන්නාක් මෙන් දැනෙන්නට වූයේ පිපාසයටද? නැත…. ඇයට කිසිදු පිපාසයක් නොවිණි. එහෙත් ඇය මේසය මත්තෙහි වූ වීදුරුව අතට ගෙන වතුර ඇබින්දක් පානය උගුරට හලා ගත්තීය. ඇගේ දෑස කඳුළෙන් පෙඟී දෑසම වැසී ගොස් තිබිණි. ඒත් එක්කම කවුරුන් හෝ කෙනකු දොර රෙද්ද මෑත් කර තමන් දෙස එබී බලා සිටිනා අයුරක් දැනෙන්නට විය. අසුරු සැණින් ඇය ඒ පැත්තට හැරුණාය. ඒ උර්මිලාය. ඇය සැණිකින් ආපසු දුවගෙනවිත් නිර්මලා දෙස බලා උන්නාය. සැණකින් දොර තිරය පහත් කරන්නට විය.
“ඔයා ඔතැන ඔත්තු බලනවද..?” නිර්මලා තරමක කෝපයෙන් කීවාය. “ඔයා ඇතුළට ආවොත් මම මොනවා කරයි කියල ද ඔයා හිතන්නේ… මම ඔයාගේ කොණ්ඩෙ ගලවා ගන්නේ නෑ… ඔයාගේ කසාදෙ ස්ථීර කර ගත්තට පස්සේ ඔයා ගොඩක් අඩම්බර වෙලා.. ඔයා හිතනවද මම ඔයාගේ සහකාර බිරිඳ වෙන්න ආවා කියලා… ඔයා ඔත්තු බලන්නේ ඒක හිතේ තියාගෙනද?”
අල්ලපු කාමරයෙන් එන සිනා හඬ පැහැදිලිව ඇසෙන්නට විය. ඇය ඊට කන් දීගෙන සිටියාය. ඒ සිනහව මහාචාර්යවරයාගේය. ඔහුගේ හඬ කෙතරම් ප්‍රසන්නදැයි ඇයට සිතිණි. ඔහු ඇතැම් විටෙක කාරුණික හොඳ අයකු විය හැකිය. ඇත්තෙන්ම නිරහංකාර සාධාරණ මිනිසකු විය හැකිය. උසේ හැටියට ඇඟපත ද ගැළපෙයි.
“නිර්මලා… ළමයෝ… අපට අර කාමරේ යතුර ඕනෑ..” ගෝදාවරී කීවේ දොරෙන් ඇතුළට එන්නට නොහැකිවය. එහෙත් නිර්මලා කරන්නේ කුමක්දැයි ඇය දුටුවාය.
“අනේ අම්මේ.. නිර්මලා දරුවා ඔයා මෙතැන මොනවද කරන්නේ…?”
නිර්මලා තරමක් අහකට පැන්නාය. තොල දිගේ ගලාගෙක ආ තොල් සායම් ඇගේ අතට වැටුණේය. කාමරයේ කණ්ණාඩියෙන් ගෝදාවරී කාමරයේ දොර ළඟ සිට තමන් දෙස බලා සිටිනු ඇය දුටුවා පමණක් නොව, තමන් සමනලයකු මෙන් පෙනෙනු දුටුවාය. ඇයට කම්පනයක් දැනිණි. මේ වගේ තමන් හදා ගත් ඇය, මේ මොහොතේ කුමක් සිතන්නේ කුමක්දැයි ඇයට සිතා ගැනීමටවත් නොහැකිව තිබිණි. ඇය ගෝදාවරීගේ නෙත් දෙස කණ්ණාඩියෙන් හොඳින්ම බලා සිටියාය.
“මට තේරෙනවා නිර්මලා… දරුවෝ බලන්න ඉතින් ඔයත් ඔයාම රවට්ට ගන්නවා නේද..? මේ බලන්න ඔයත් ටීකා ඇඳුමක් දාගෙන මතක තියාගන්න ඔයා සැමියා නැති කාන්තාවක්…” ඔව්… ඔව්… ඇත්ත වශයෙන්ම ඇය වැන්දඹුවකි. ඇගේ සැමියා මීට වසරකට පමණ පෙරාතුව මියගියේ ගුවන් අනතුරකිනි. ඇය සිටි කාමරයට අල්ලපු කාමරයේ සිටියේ උර්මිලාගේ අනාගත සැමියාය. ඔහු පැමිණ සිටියේ උර්මිලා බැලීමටය. නිර්මලා වීදුරුවේ ඉතිරිව තිබුණු වතුර වත් කර ඉක්මනින්ම ඇගේ මුහුණේ උලා තිබුණු පාට පිස දැමුවාය. ගෝදාවරී යතුර රැගෙන යෑමට උත්සාහ කළාය. එහෙත් නිර්මලාගෙන් ඊට ඉඩක් නොලැබිණි.
“ගෝදාවරී .. මේ ගැන කාටවත් එහෙම කියන්න එපා… මේක මට කරන ලොකු උදව්වක් තේරුණාද..?”
“මං ඔයාගේ පෞද්ගලික දේවල් අනුන් එක්ක මොනවට කතා කරනවද…?” ගෝදාවරී සිනාසෙමින් එළියට ගියාය.
නිර්මලාට තමන් ගැනම දැඩි ලැජ්ජාවක් ඇතිවූවාය. ඒ ඇයගේ රහස ගෝදාවරීගෙන් සැඟවීමට නොහැකි වීම නිසාය. දැන් මේ ගැන ගෝදාවරී හැම දෙනාටම කියයිද? ඇය මේ මුළු සිද්ධියම එක දෙක කර අවුළුවනු ඇත.
නිර්මලාගේ මුහුණ රත් පැහැයට හැරිණි. ඇය තම අත් ලේන්සුවෙන් මුහුණේ ඉතිරිව තිබුණු පාට කුඩු සහ පුයර මිශ්‍රණය පිස දැමුවාය.
“අම්මා හරි අයියා හරි මාව මෙහෙම හැඩ කරලා ඉන්නවා දැක්ක නම්… නැත්නම් උර්මිලා…” මේ මොහොතේ ගෝදාවරී යළිත් කාමරයට ආවාය. “නිර්මලා දරුවෝ ඔයාගේ අම්මා කියනවා… ඔයාට ඇවිල්ලා නංගිගේ ඇඳුම් අස් පස් කරලා දාන්න උදව් කරන්න කියලා..”
“මං එන්නම්… ඔයා යන්න…”
“එහෙනම් ඉක්මනට එන්න හොඳේ….” ගෝදාවරී ආපසු යන්නට හැරුණත් නිර්මලා උන් තැනින් සෙලවීමක්වත් නොකළාය.” මම ගිහින් එයාට ඇඳුම් හරි ගස්සන්න උදව් කරන්න ඕනෑද..? එයාට දැන් සැමියෙක් ලැබෙන්න ඉන්නවා.. ඒත් එයා තවම දරුවෙක්…”
ඇගේ මව උමාරියා නිර්මලා සිටි කාමරයට එක්ක ගෙන ආවාය. “ඇයි ඔයා තවම මෙතැන…? මම කතා කළේ අර අසරණ උර්මිලාට ඇඳුම් අන්දවන්න උදව් කරන්න කියලයි.. එයා මේ ඇඳුමක් කවදාකවත් ඇඳලා නෑ… එයා ඒක අර පරණ තාලෙටම ඔතාගෙන ගියා… දැන්වත් එයා දිහා බලන්න…”
නිර්මලා ඇගේ සහෝදරිය දෙස ඉහළ සිට පහළට තදින්ම බැල්මක් හෙළුවාය. ඇගේ සාරිය ඇයට කදිමට ගැළපී තිබිණි.
“එහෙනම් එයා තවම පොඩි ළමයෙක්ද..? එයා බලන්න මනාලයකුත් ඇවිත්… ඔයා දන්නවද…?” උර්මිලා කොළ පැහැයෙන් ලස්සනට හැඩ වැඩවී පෙනුණි. එහි කිසිම සැකයක් නොවිණි. මනාලයා ඇයට නිසැකයෙන්ම මනාපය පළ කරනු ඇත.
“එහෙනම් නිර්මලා එන්න.. ඔයා දැන් උර්මිලාව එයා ළඟට එක්කගෙන යන්න ඕනෑ…” “නෑ අම්මේ… මම යන්නේ නෑ… ඔයා කොහොමත් එයා එක්කගෙන යනවනේ….”
නිර්මලාගේ මව කෝපයෙන් බැලුවාය. “මට ඉන්න දුවලා මොනතරම් මුරණ්ඩු ද මන්දා. කරන්න වැඩ තියෙද්දීත් මට කිසි උදව්වක් නෑ…”
“තදේටම මගේ ඔළුව කකියනවා. නැත්නම් මම එනවා… ඒත් මට ඔළුව උස්සන්නවත් බෑ…” “හරි එහෙනම් එන්න උර්මිලා… ” අම්මා කාමරයෙන් වේගයෙන් එළියට නික්ම ආවාය. එහෙත් උර්මිලා අම්මාගේ ඉල්ලීම කොහෙත්ම ගනන් නොගත්තීය. “අනේ අක්කත් එන්නකෝ…” “එයා ආවේ මං බලන්න නෙමෙයිනේ… ඔයාව බලන්නනේ. ඉතින් මාව එක්ක යන්නේ මොන එහෙකටද..?”
“මට තනියම එතැන ඉන්න ලැජ්ජයි.. මම කොහොමද තනියම එතැන ඉන්නේ…” උර්මලාගේ දෑසින් කඳුළු හැලෙන්නට ඔන්න මෙන්න ආසන්නව තිබිණි.
“ඇයි ඔයාට ලැජ්ජා හිතෙන්නේ…? එයා කවද හරි දවසක ඔයාගේ මනුස්සයා වෙයි… ඔයා බැන්දට පස්සේ මෙහෙම හැසිරුණෙත් ඔයා කොහොම කරයිද…?” නිර්මලා සිනහ සෙන්නට උත්සාහ කළාය. එහෙත් උර්මිලා එය බැරෑරුම් ලෙසින් සිතුවාය.
ඇගේ අයියා කාමරයට ආවේ නැඟණිය කැඳවාගෙන යෑමටය. මේ මොහොත නිර්මලාගේ හදවතට තදින්ම කාවැදුණේ තමන් වරදක් කළාක් මෙන් හැඟීමෙනි. ඇය ඔවුන් පසු පසින් ඇවිද ගෙන ගියාය. නිර්මලා හැර සියලු දෙනාම අනෙක් කාමරයට ඇතුළු වූහ. නිර්මලා දොරෙන් පිටතට වී දොරරෙද්ද අල්ලා ගෙන සිටියාය.
කාමරයට ඇතුළු වූ සැණින්ම වාගේ ඇගේ අයියා උර්මිලා හඳුන්වා දුන්නේය.
“මේ උර්මිලා… මගේ බාලම නංගී… එයා මේ අවුරුද්දේ මැටි්‍රකියුලේෂන් විභාගෙන් පාස්වුණා…” එයින් පසු ඔහු දොර පැත්තට හැරුණේය. “මේ අපේ මද්දුමයා… මගේ දෙවැනි නංගී… එහෙම නේද…? එන්න නංගී නිර්මලා ඇතුළට…”
ආගන්තුකයාට එය ඇසුණත් ඔහු එය ගනනකටවත් නොගත්තාක් මෙනි. ඔහු නිර්මලා දෙස එකදු බැල්මක්වත් නොහෙළුවේය. ඔහු නියම මහත්මයකු මෙන් පෙනුණි. ඔහුගේ බැල්ම උර්මිලාගේ කොළ පාට සාරිය දෙසට යොමු වී තිබිණි. නිර්මලාට තවදුරටත් එතැන නැවතත් රැඳී සිටීමට සිතක් නොවිණි. එබැවින් ඇය බැල්කනියට ගියාය. පිටත හිරු රශ්මිය තරමක් දරුණු අයුරක් විය. පාර දෙපස දූවිල්ල හමායන අයුරුත් නිවෙස පසු කර එකින් එක ගමන් කරන බිහිසුණු ට්‍රක් රථවල කන් බිහිරි කරවන ඝෝෂාවත් ඇය තවත් අවුලෙන් අවුලට පත් කරවන්නක් විය. ගේට්ටුවෙන් පිටත අලුත් ජීප්රියක් නවතා තිබිණි. සමහරවිට එය උර්මිලාගේ මනාලයාගේ විය හැකිය. අපිරිසිදු සුදු කමිසයක් සහ අඳුරු කණ්ණාඩියක් පැලඳ සිටි මිනිසෙක් සුක්කානම වැලඳගෙන වාඩිවීසිටියේ ය. ඔහු උර්මලාගේ මනාලයාගේ රියැදුරු වන්නට ඇතැයි ඇය අනුමාන කළාය. නිර්මලා දුටු විට ඔහු විසිල් ගසන්නට පටන් ගත්තේය. ඇයට මෙය වධයක් මෙන්ම නොරිස්සීයෙන් ඇය නැවත වතාවක් ඇයගේ කාමරයට ගියාය. ඒ යද්දී උර්මිලා බැලීමට ආ මිනිසා තනිවම පුවත්පතක් කියවමින් සිටිනු දුටුවාය. ඇයට තිගැස්මක් ඇතිවූවාය. මෙය ඔහුගේ කාමරය නොවිණි. එය අයියාගේ කාමරයයි. ඔහු එතැනට ආවේ කෙසේදැයි ඇය නොදනී. එහෙත් ඇයට එතැනින් එළියට යෑමට අසීරුය. එය එසේ කළොත් ඔහු කුමක් සිතනු ඇත්ද? ඇය කිසිවක් නොකර එතැනම සිටියා නම් ඔහු කුමක් කියයිද? ඇයට දැඩි අපහසුතාවක් දැනුණි. මිනිසා එක් වතාවක් පමණක් පුවත්පතෙන් ඇස ඉවතට ගෙන ඉහළ බැලුවේය. ඒත් එක්කම ඔහු යළිත් පුවත්පත කියැවීමට පටන් ගත්තේය. නිර්මලා එතැනින් නික්ම යෑමට උත්සාහ කළත් ඇයට අඩියත්වත් පය ඔසවාගත නොහැකිවූවාය. ඔහු වචනයක්වත් කතා නොකළේය. ඔහු ඇයට වාඩි වන ලෙසට ඉල්ලීමක්වත් නොකළේය. ඔහු පත්තරයට ඇලී ගැලී සිටියාක් මෙනි. ඔහුගේ කොණ්ඩය අපිරිසුදුව තිබිණි. එසේ වුවත් ඔහුගෙන් කෝල්ගේට් සුවඳක් පැතිර යන්නට විය. නිර්මලා කඩදාසිය දෙසට නැවෙද්දී ඔහුගේ වටකුරු මුහුණ පෙනුණි. ඇයට වටපිටාව අමතක වී ගියාක් මෙනි.
“වාඩිවෙන්න ඕනෑ නේද…? ඔයා මෙච්චර වෙලාඉඳන් හිටගෙන නේද…?” අවසානයේදී ඔහු ඇය දෙස බලා සිනහ සුණේය.
ඇය වාඩි නොවූවාය. එහෙත් ඇයගේ සිරුර වෙව්ලුම්කන්නාක් මෙන් දැනෙන්නට විය. ඇය තමන්ට සමීප වන තුරුම ඔහු තමන්ගේ අසුන මාරු කළේය.
“විනාඩියකට ඉඳගන්න…” ඔහු ඇයගේ වේල් පටේ කෙළවර මෘදු ලෙස ඇදගත්තේය. එහෙත් ඇය ඊට කිසිම විරෝධයක් නොදැක්වූවාය. මොහොතකට පසු ඔහු ඇගේ දෑතින්ම අල්ලාගෙන ළඟින් වාඩි කර ගත්තාය. ඇය එහි වාඩි වූයේ කිසිම කලකිරීමකින් ද චකිතයකින් ද තොරවය. ඔහුගේ ස්පර්ශයේ උණුසුම ඇයට සියුම් උත්තේජනයක් ලබා දුන්නේය. සැනසීමක් ද කිසියම් ප්‍රබෝදවත් බවක් ද ගෙන ආවේය. ඇය ඇගේ කැබැලි වී කුඩුපට්ටම් වුණු සිහින නැවතත් එකතු කිරීමට පටන් ගත්තාය. මලින් පිරුණු උයන්… මලින් වැසුණු අහස… දෙපස මලින් වැසුණු මාවත්…. ඉන් පසු ඇගේ වම් කනේ කම්මුල පැත්තෙන් තියුණු වේදනාවක් දැනෙන්නට විය. ඒත් එක්කම ඇගේ දිගු සිහිනය නැවතත් බිඳවැටෙන්නට විය. ඇගේ මුහුණට අත තැබූ විට එය උණුසුම්ව රත් පැහැයට හැරී ඇති බව ඇයට දැනුණි. ඇය හැකි ඉක්මනින් නැඟිටින්නට උත්සාහ කළාය. මේ නිසාම ඇයට කරකැවිල්ලක් දැනුණාක් මෙනි. ඒ සමගම ආගන්තුකයා අකාරුණික ලෙස සිනාසුණේය. ඇය කිසිදු හැඟීමකින් තොරව කිසිදු විශ්වාසයක් නැතිව ඔහු දෙස බැලුවාය. එහෙත් ඔහු කිසිම දෙයක් ගනනකට නොගෙන නැඟීසිටියාය. ඉන්පසු ඔහු වචනයක්වත් නොදොඩා වීදිය පෙනෙන ජනෙල් කවුළුව ළඟට ගියේය.
ඔහු කිසිම විශ්වාසයක් නැති අමනයකු බව පවසා ඔහුගේ මුහුණට පහරක් දිය යුතු යැයි ඇය සිතුවාය. එහෙත් ඇයගේ අත ඉස්සෙන බවක් පෙනෙන්නට නොවිණි. ඔහු ඇයගේ කවුද? උර්මිලාගේ අනාගත සහකරුයි. ඇගේ සර්වාංගයම වෙව්ලන්නාක් මෙන් දැනුණි. ඒත් එක්කම ඇය කාමරයෙන් එළියට පැන ගියාය. ඇයට උර්මිලා හමුවීයේ කොරිඩෝවේදීය.
“මොකද අක්කා වුණේ…? මොකක්ද ඔයාගේ මූණට වෙලා තියෙන්නේ…? නිර්මලාගේ රතු වී තිබුණු ඇස් සහිත මුහුණ දුටු සැණින් ඇය ඇසුවාය. උර්මිලා බියට පත් වූවාය. “මොකද වුණේ කියල කියන්නකෝ…?”
නිර්මලා ඇය බිත්තිය දෙසට තල්ලු කළාය. “ඔයාගේ මනුස්සයා තනියමනේ… යන්නකෝ ගිහින් බලන්නකෝ…”
ශාලාව හරහා ඇවිදගෙන යද්දී නිර්මලා වතුර ගෙන යන රාමේගේ ඇඟේ හැප්පුණේය. රාමේට එය නොසිතූ අවස්ථාවක් ලැබුණාක් මෙනි. ඔහු සිනාසෙමින් ඔහුගේ කමිසයේ ඇතුළත සාක්කුවේ තිබී නැමුණු කඩදාසි කැබැල්ලක් එළියට ගත්තේය. ඇය පසුවනවාත් එක්කම ඔහු එය ඇගේ අත තැබීය.
“අල්ලපු ගෙදර මහත්තයා මේක හොරෙන් ඔයාට දෙන්න කිව්වා…” ඔහු ඇයට කීවේ කොඳුරන්නාක් මෙන් රහසෙනි.
ඇගේ කාමරයට පැමිණි ඇය දොර තදින් වසා ගත්තීය. ඇගේ ආත්මය දහවල් කාලයේ රස්නයට ඔබ මොබ යන උණ ගසක් මෙන් ඝෝෂා කරමින් පැද්දෙමින් තිබිණි. ඇගේ උරහිස මත තිබුණු සළුවේ සර්පයකු එල්ලී සිටින්නාක් මෙන් දැනුණි. ඇය ඉක්මනින්ම ඇඳුම ගලවා ඇඳමත්තේ පෙරළුණාය. එහෙත් කුමක් දෝ කිව නොහැකි දැඩි අපහසුතාවකින් පෙළෙන්නාක් මෙන් ඇයට දැනුණි. ඇය කීපවතාවක්ම තමන්ගේ මුහුණට අතුල් පහර කීපයක් ගසා ගත්තීය. එහෙත් ඇගේ මනසට ඉන් කිසිම සහනයක් නොලැබෙන්නාක් මෙනි. ඇගේ හදවත කුණාටුවකට හසුව ඇරී තිබුණු ජනෙල් කවුළුවෙන් පිටතට විසිවී ගියාක් මෙනි. ඇය ඇගේ පපුව අල්ලාගෙන සිටියත් ඇගේ දුක්ඛිත තත්ත්වය ඇය තව තවත් සලිත කරන්නට සමත් වී තිබිණි. ජීප් රියැදුරු ඇයට විසිල් ගසන බව… ඇය පසු කරගෙන යද්දී රාමේ සියතෙහි තැබූ අසල්වැසි පාහරයාගෙන් ලැබුණු ලිපිය… නිර්මලාට අමතකව ගොස් ඇති අයුරු…
ඇය තම මේසය මත තිබූ බෝතලයෙන් නිදි පෙති දෙකක් ගෙන ඒවා ගිල දැමුවාය. ඉන් පසු ඇය තම කොට්ටය මත තබාගෙන ඇයගේ සිත තුළ සැඟවී තිබූ හැඬුම් පිට කළාය.
නේපාල ලේඛිකා ප්‍රේමා ෂා ගේ A Husband නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනය
උපුල් වික්‍රමනායක