2024 විද්‍යෝදය සම්මානය ප්‍රදානය කළ ගීත සංග්‍රහය පිළිබඳ විමසීමකි
කුලරත්න ආරියවංශ වර්තමාන ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි හොඳ නමක් දිනාගත් ප්‍රවීණ ගේය කාව්‍ය පද රචකයෙකි. ඔහුගේ ‘සීතල දිය දෝතක්’ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මානය ප්‍රදානය කෙරුණු ප්‍රශස්ත ගීත සංග්‍රහයකි. එහි එන බොහෝ ගී පදමාලා නිරීක්ෂණය කරන කල කුලරත්න ආරියවංශ හොඳ කවියෙකු බව පෙනේ. සැබැවින්ම හොඳ ගී ලියන්නෝ හොඳ කවීහු නොවෙත්ද? ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුලකළ මියුරු ස්වරයෙන් ගැයෙන ‘සීතල දිය දෝතක්’ ගීතය කුලරත්න ආරියවංශයෝ හොඳ කවි ශක්තියක් ඇත්තෙක් බව පෙන්වති.
‘සීතල දිය දෝතක් සේ
සිත පිවිතුරු වේවා
ගලා හැළෙන ගඟුලක් සේ
සිතුම් පුබුදු වේවා
පහන් දසුන් රැඳි සොඳුරු ලොවක්
උදාවේවා… උදාවේවා…’
මෙම ගීතයෙහි ධ්‍රැව පදය හෙවත් ධ්‍රැවය (Refrain) (පුනපුනා ගැයෙන ස්ථායි කොටස) මාල උපමාවකින් ගෙතීම ද භූෂණයකි. ‘සීතල දිය දෝතක් සේ’ යන උපමාව ගෙන ‘සිත පිවිතුරු වේවා’ යි කරන ප්‍රාර්ථනාව අමරදේවයන්ගේ නිවී සැනසුණු ආධ්‍යාත්මයෙන්ම ගලාඑන සඳ විවිධ මනෝභාවයන්හි ගිලී ගිනිගෙන දැවෙන ලෝකයාට ද මානසික සුවගෙන එයි. එය දිව ඔසුවක් තරම් සුවසහනය මනසට එන්නත් කරනුයේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවේදියාණන්ගේ නාද රූප විස්තාරණයෙනි.
කුලරත්න ආරියවංශගේ මියුරු ගේය පද මාලාවක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයාණන්ගේ සංගීතයත් මුසු වූ කල උත්පත්ති ලබන පණ්ඩිත් අමරදේවයන්ගේ මේ භාව ගීතය ශ්‍රවණය කරන සඳ ස්මරණයට නැගෙනුයේ ලෝක ප්‍රකට සංගීතවේදී හෙන්රි පර්සෙල් (Henrry Purcell) ගේ විවරණයකි.
“කවියත් සංගීතයත් උනුන් හා අතිනත් ගෙන උනුන්ට ඇප උපකාර කර ගනිමින් එක්ව ගමන් කරන්නා වූ සොයුරියන් දෙදෙනකු වැන්න. කවිය යනු වචනයෙහි මනා සංයෝගය යි. සංගීතය යනු ස්වරයෙහි මනා සංයෝගයයි. මොවුන් දෙදෙනා හමුවන්නේ කොතැනද එතැන හට ගන්නේ ආනන්දයයි. හමුවී සංයෝග වන්නේ කොතැන ද එතැන හට ගන්නේ පරමානන්දයයි.”
හෙන්රි පර්සෙල් කියන ඒ පරමානන්දය ‘සීතල දිය දෝතක්’ ගීතයෙන් රසිකයාට ප්‍රදානය කෙරෙනුයේ කුලරත්න ආරියවංශ ගී පද මාලාව රචනයේදී පද සංඝටක විධි මගින් ගොඩනැඟූ රිද්මය හා ශෛලිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන්ගේ සංගීත තනු නිර්මාණයෙන් රාව නැඟී අමරදේවයන්ගේ ගායන ප්‍රතිභාවෙන් ශ්‍රව්‍යගෝචර වූ සඳය. එබැවින් පද රචකයාගේ වචන සංකලනය සංගීතඥයාට ස්වර සංගති (Chords) ගොඩනැංවීමට උපකාරී වේ. ‘සීතල දිය දෝතක්’ ගීතයේ ස්ථායි කොටසේ ‘ගලා හැළෙන ගඟුලක් සේ’ උපමාව දෘෂ්ටිගෝචර වාක් චිත්‍ර මැවීමට තරම් ප්‍රබලය. ඒ සමග ‘සිතුම් පුබුදු වේවා’ යනුවෙන් කරන ප්‍රාර්ථනාව රසිකයාගේ ආධ්‍යාත්මික පෝෂණය තිව්‍ර කරනුයේ ‘පහන් දසුන් රැඳි සොඳුරු ලොවක් උදාවේවා… උදාවේවා…’ යි කෙරෙන පුනරුච්චාරණයෙනි.
හොඳ ගේය කාව්‍ය පද මාලාවක සාහිත්‍යමය ගුණය ද ඒ ගීතය විශිෂ්ට නිර්මාණයක්වීමට හේතු වේ. එහි සාහිත්‍ය රසය, සංගීත රසය හා මුසුවූ කල ගලාඑන ආනන්දය, පරමානන්දය රසික සිත ආලෝලනය කරගනියි. මේ සුගීතයේ පළමු අන්තරා කොටසින් ජාති, කුල, ආගම් පන්ති, දේශසීමා නිසා බෙදීගිය ලෝකය එකම “සෙවණක් වේවා” යි තෙවරක් කරන පුනරුච්චාණය වඩාලනු ඇත. ගීතයේ පහළ අන්තරා කොටසේ එන ‘කූට ස්වර’ අමරදේවයාණන්ගේ ගායන ප්‍රතිභාවට කරන බලපෑම එහි දෘශ්‍ය රූපය නිරීක්ෂණ කිරීමෙන් වටහාගත හැකිය.
තැවුල් නිවී මිනිසත්කම් මතුවී
සියල් සතම මෙත් දමින් බැඳේවා
මෙත් දමින් බැඳේවා… මෙත් දමින් බැඳේවා…
ධනේශ්වර ලෝකයේ මිනිසත්කම් නැතිවී යෑමට ප්‍රධානතම හේතුව වූයේ මුදලේ බලය හා වටිනාකමය. මුදල් අවශ්‍ය වූයේ මිනිසුනට ගනුදෙනු කරන්නටය. විවිධ අවශ්‍යතා සඳහා පාවිච්චියට ගන්නටය. අවසානයේදී සිදුවූයේ මිනිසා මුදල්වලට ආදරය කරන්නට පටන්
ගැනීමය. මිනිසා මිනිසාට ආදරය කිරීම පැත්තකට තබා මිනිසා මුදල්වලින් පාවිච්චි කරන තැනට ධනේශ්වර ලෝකය ගමන් කර අවසන්ය. මේ තත්ත්වය මානව බැඳීම්වල ලිහීයෑමට ඉවහල් වී ඇත. ගීත රචකයා අවධාරණය කරනුයේ ‘මිනිසත්කම් මතුවී’ සියලු සත්ත්වයාම මෛත්‍රියෙන් බැඳෙන ලෝකයකි. ඒ සුන්දර ලෝකය මෙත් දමින් බැඳේවා… යි තෙවරක් පුනරුච්චාරණය කිරීමෙන් ගීතය සමාප්ත කරයි. ස්ථායි කොටසේ දී මෙන්ම පළමු දෙවන අන්තරා කොටස්වලදී ද මේ පුනරුච්චාරණය උත්කර්ෂයට නැංවීමෙන් සුබවාදී ප්‍රාර්ථනාවක ශාන්තිය සකල ලෝක ජනතාවගේ සවන්පත් හරහා ආධ්‍යාත්මයට ම කාන්දු කිරීමට උත්තම වාග්ගේයකාර ආචාර්ය පණ්ඩිත් අමරදේවයාණන්ගේ භාවාත්මක හඬ පෞරුෂයට හැකිවී තිබේ.
හොඳ ගී පද මාලාවක් රචනා කිරීම දියමන්තියක් ඔපදමන්නාක් මෙන් කළ යුතු දුෂ්කර කටයුත්තකි. ඒ කාර්යය ජය ගැනීමට හැකිවන්නේ හොඳ කවි ශක්තියක් ඇති ගේය කාව්‍ය පද රචකයෙකුට පමණි. කුලරත්න ආරියවංශ එබඳුම වූ උත්තම ගණයෙහි ගී පද රචකයෙකු බව ඔහුගේ පිනිබර මලක්, සීතල දිය දෝතක් යන ගීත සංග්‍රය ද්විත්වය නිරීක්ෂණය කිරීමේ දී පෙනේ. අවර ගණයේ ගී පද මාලා එකක් දෙකක් එහි ඇතත් “එක නිල්ලෙන්” වැනි ගීතයක සමස්ත දෘශ්‍ය රූපයම නිරීක්ෂණය කරන සඳ ඔහු හොඳ කවි ශක්තිය ඇත්තෙකු බැව් පෙනේ.
“එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය
ගින්නෙන් වනසන්නෙ ඇයි
හසරැල්ලෙන් සැනසිය යුතු ලක්මෑණිය
සුසුමින් හඬවන්නේ ඇයි
කරුණාවෙන් තෙත් වූ හෙළ හදවත්
වෛරයේ ගිනිලූයේ කවුරුන්
එක කුස ඔත් සොයුරන් වන් මිනිසුන්
සතුරන් කරලූයේ කවුරුන්
මිනිසත්කම් ලොවටම පෑ සුදනන්
තිරිසන් ගති පෑයේ කෙලෙසින්
සොයුරන් මිතුරන් වී පෙරදා මෙන්
එක්වන්නට යළි මග සරසන්”
කුලරත්න ආරියවංශ ගේ කවි ශක්තියෙන් සුපෝෂිත මේ ලයාන්විත ගේය කාව්‍ය පදමාලාව සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ නම් සොඳුරු ගාන්ධර්වයාණන්ගේ මියුරු ස්වර සංයෝජනයෙන් සංගීතවත්ව විශාරද සමිතා මුදුන්කොටුව ගේ සුලකළ මියුරු හඬින් සුගීතයක් බවට පත්ව රසික දනෝ නිබඳව පිනවති.
මේ සුගීතයෙහි ගැබ්වන සුවිශේෂය මගින් මෙරට වර්ගවාදී, බෙදුම්වාදී දේශපාලන සංස්කෘතියෙහි අභ්‍යන්තරය විනිවිද පෙන්වයි. ගීතයෙහි එන කථකයා දැනුමෙන්, බුද්ධියෙන්, පැවැත්මෙන් හා ආචරණයෙන් උසස් හෘද සංවේදී මිනිසෙකි. ගීතයේ ඉහළ ස්ථායි කොටසේ දී ඔහු විමසන්නේ “එක නිල්ලෙන් සැරසිය යුතු මවු භූමිය
ගින්නෙන් වනසන්නේ ඇයි” ද යන්නයි. ඉන් ගම්‍ය කෙරෙන ගැඹුරු දේශපාලනයක් ඇත. සුදු අදිරද පාලනය මෙරට ප්‍රතිෂ්ඨාපනය වන්නට ප්‍රථම ලක් මවගේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන දරුවෝ එකම කැදැල්ලක උණුසුම් සුව වින්දාහ. ඔවුහු අධිරාජ්‍ය විරෝධී අරගලයේ දී සුදු පාලකයනට එරෙහිව එකට සටන් කළහ. සුදු පාලකයන්ගේ ගිනි බටවලට නොබියව ලක්මව ගේ නාමයෙන් මිය ගියහ. ඒ සටන්කාමී සහෝදරත්වය සුදු පාලකයනට හිසරදයක් වූ කල ඔවුහු සුළු ජාතීන් භේදකොට පාලනය කිරීමේ න්‍යාය ආරම්භ කළහ. මහා ජාතියෙන් සුළු ජාතින්ට අසාධාරණයක් වන බවත්, ඒ නිසා ජාති මුල නියෝජනයක් කළ යුතු බවත් අවධාරණය කරමින් සුදු පාලකයෝ ලක්මවගේ සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් භේද කළහ. රටේ ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ කරනු වස් 1823 දී එඩ්වඩ් බාන්ස් නමැති ආණ්ඩුකාරවරයා ගම්පොළ රාජධානියෙන් ප්‍රථම කෝපි වගාව ආරම්භ කළේය. ඒ සඳහා ශ්‍රමදායකත්වය සැපයීමට මෙරට ජනතාව ඉදිරිපත් නොවූ කල දකුණු ඉන්දියාවේ වතු කම්කරු දෙමළ ජනතාව ගෙන්වා උතුරු – නැගෙනහිර පළාත්වල පදිංචි කළහ. පසු කලෙක මහා විනාශයක් බවට පරිවර්තනය වූ ජාතිවාදී අරගලයේ බීජ අවස්ථාව මෙයයි. එසේ නම් ‘එක නිල්ලෙන් සැරසිය යුතු මව් භූමිය’ ගිනිබත් කළෝ සුදු පාලකයෝය. සිනහවෙන් සැනසිය යුතු ලක්මෑණිය සුසුමින් හැඬ වූයේ ද ඔවුන්ම ය.
මේ සුගීතයේ ස්ථායි කොටසත්, පළමු අන්තරා කොටසත් සම්පූර්ණයෙන් රචනා කර ඇත්තේ කථකයා නඟන ප්‍රශ්න ස්වරූපයෙනි. කථකයා වයෝවෘද්ධ, ඥානවෘද්ධ, ගුණවෘද්ධ, සංවේදී මිනිසෙකි. ඔහු අතීතය මෙනෙහි කරයි. සුදු පාලකයන් මෙරටට පැමිණීමට ප්‍රථම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ දරුවෝ එකම කැදැලිවල එකටම ජීවත් වූහ. එකම ගොවිපළේ, එකම කාර්යාලයේ එකට වැඩ කළහ. ආදරය, දයාව, කරුණාව පිරි ඔවුනොවුන් ලක්මවගේ දරුවෝ වූහ. ඔවුහු එක්ව ලක්මව සැනසූහ. ඒ සොඳුරු අතීතයේ “කරුණාවෙන් තෙත්වූ හෙළ හදවත් වෛරයේ ගිනිලූයේ කවුරුන්” දැයි කථකයා විමසයි. එකම මවගේ කුස උපන් සහෝදරයන් ‘සතුරන් කරලූයේ කවුදැ’යි විමසයි. එනිසා මේ ගීතයේ සරල, මියුරු වචන මගින් රචකයා ඉඟිකරන මෙරට ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලනයේ යථාර්ථය සරල නැත.
උතුරේත් – දකුණේත් ජාතිවාදය නිසා ඇතිවූ භීෂණය මිනිසාට – මිනිසා අහිමි කළේය. මනුෂ්‍යත්වය අහිමි කළේය. යුද්ධයේදී සතුන්ටත් වඩා ම්ලේච්ඡ ලෙස මිනිස්සු කටයුතු කළහ. සතුන් මෙන් මිනිස්සු එකිනෙකා ඇන කොටාගෙන විනාශ වූහ. ඒ බිහිසුණු යුද්ධයෙන් ලත් කම්පනයත්, අත්දැකීමුත් පාදක කරගෙන රචිත ‘එක නිල්ලෙන්’ ගීතය වෙත අන්තර් දෘෂ්ටීන් හෙළීමේදී පැහැදිලිවම පෙනෙන පොදු අපේක්‍ෂාව නම් යුද්ධයේ බිහිසුණු බව ප්‍රතික්ෂේප කෙරෙන සාමයම බලගතු වන බවය. ඒ උත්තරීතර සාමය අතීත ලක් දෙරණේ තිබූ බවත් මතු දිනෙක එය යළිත් මෙරට ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවත් ගීතයේ පහළ අන්තරා කොටසින් අවධාරණය කරයි.
“සොයුරන් මිතුරන් වී පෙරදා මෙන්
එක්වන්නට යළි මග සරසන්”
මනුෂ්‍යත්වය ලොවට කියාදුන් සද්ජනතාවක් ‘තිරිසන් ගති පෑයේ කෙලෙසින්’ දැයි කථකයා ප්‍රශ්න කරයි. ඔහුගේ අදහස කැඩුණු බිඳුණු රටක් නැවත ගොඩනැඟීමය. ඒ සඳහා මිනිස් හදවත්හි ආදරය, දයාව, කරුණාව, සහෝදරත්වය වැපිරිය යුතුය. අතීතයේදී සහෝදරයන් වූ මිතුරන් වූ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සැමටම ලක් මව් තුරුලේ සමගියෙන් “එක්වන්නට යළි මග සරසන්” යන අවධාරණයෙන් ගීතය නිමා කරයි.
ජාතික සමගිය ශ්‍රී ලංකා ධරණි තලයේ මිහිදන් කළ අඳුරු යුගයක නව දෘෂ්ටියකින් ජනවාර්ගික ගැටුම දෙස බැලීම මේ නිර්මාණයේ සුවිශේෂත්වයකි. ජාතිවාදී ම්ලේච්ඡයෝ ජාතික සමගිය නැති කළහ. “නැතිවූ සමගිය යළි ගොඩනඟන්නට මග සරසන්” යන ගීත්‍යෝක්තියෙන් සමාප්ත කෙරෙන ‘එක නිල්ලෙන්’ සුගීතයේ නාද කෘතිය (Melody) උත්තම වාග්ගේයකාර ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවේදියාණන්ගේය. ඔහු කුලරත්න ආරියවංශගේ පද්‍ය ගීතයට උචිත රාගය, භාවය හා තාලය තෝරාගෙන ඒ අනුව ස්වර විස්තාරණ කර ඇති නිසා ගීතයෙන් ධ්වනි චිත්‍රයක් මෙන්ම රාග චිත්‍රයක් මැවීමට හැකිවී තිබේ. ඒ නිසාම ගීතයෙහි සමස්තාර්ථයම තියුණු අයුරින් සුගායනයට විශාරද සමිතා මුදුන්කොටුව ඇගේ සුමිහිරි හඬ පෞරුෂයෙන් කරන බලපෑම සිඳීගිය ජාතික සමගිය නැවත ප්‍රවර්ධනය කෙරුමට උත්තේජන සපයනු ඇත. මේ ගීතය ශීඝ්‍රයෙන් ජන විඥානය ආකර්ෂණය කර ගැනීමටත් විශාරද සමිතා මුදුන්කොටුවගේ ගායන ප්‍රතිභාව ඉවහල් වූ බව කිව යුතුමය.
ගීතයක් සම්පූර්ණවීමට එක්විය යුතු ප්‍රධාන කරුණු හයක් සංගීත රත්නාකරය විස්තර කරයි.
- මනා කොට ස්වර පිහිටීම
- රසවත් වීම
- රාගාත්මක වීම
- මිහිරි අකුරින් යුතුවීම
- අලංකාරවත් වීම
- ප්‍රමාණය
යන මොවුහු ෂඩ්විධ ගීත ලක්ෂණයෝ වෙති. ගීතය සුගීතයක් වන අයුරු එහිම විවරණය වනුයේ මෙසේ ය. “ස්වරයන් ගෙන් සංයුක්ත වූ පද ඡන්දසින් යුක්ත බව මැනැවින් පිහිටි මානය හා තාලය යන මොවුන් ගෙන් සමන්විත වූ ගීතය සුගීත යැයි විමල් අභයසුන්දර ‘නිෂාදීයෙහි’ දක්වා තිබේ. එවැනි සුගීත බොහොමයක් කුලරත්න ආරියවංශ ගේ ‘සීතල දිය දෝතක්’ සංග්‍රහයෙහි ඇත. ඔහු සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනිගේ ‘අම්රිතා ගී පුදසර සංයුක්ත තැටියට ලියන ලද ‘අමා රසය සදහම් රසයයි’ ගී පද මාලාව සුගීතයකට කදිම නිදර්ශනයකි.
“සැපය කියා රසය කියා
නිබඳ සොයා යන්නේ
සැපෙහිම දුකවේ රසම නිරස වේ
පුහුදුන් සිත නෑ සැනසෙන්නේ
අමා රසය සදහම් රසයයි
පරම සුවය ලොවුතුරු නිවනයි”
මේ ගීතය ආගමික දර්ශනය ගැන ලියවුණු සරල පදමාලාවකින් සමන්විතය. ඒ පද පුරවා ගැනීම පිණිස, තතන තතනා අමාරුවෙන් යොදන වචන, ලඝු ගුරු කිරීමෙන් ද ගුරු ලඝු කිරීමෙන් ද බලෙන් රිංගවන වචන, මත් කැටි, සක්ක පද, හිස් පද, අප පද, ග්‍රාම්‍ය පද, අශ්ලීල හා දුෂ්ට ප්‍රයෝග කිසි ලෙසකි නුදු මේ ගීතයට වැද්දගෙන නැත. ඔහු ලෞකික ජීවිතයෙහි ඇලුණු පුහුදුන් මිනිසුන්ගේ නිස්සාර ජීවිතයෙහි අභ්‍යන්තරය විනිවිද දකියි.
අර්ථ මාධුර්යයෙන් ගැඹුර විනිවිද නොදුටුවද ශබ්ද මාධුර්යයෙන් මේ සුගීතය රසිකයා ගේ ආධ්‍යාත්මය ආකර්ෂණයකර ගනු ලැබුවේ සංගීතවේදී විශාරද ආචාර්ය රෝහණ වීරසිංහගේ ස්වර විස්තාරණයත්, සංගීත විශාරද ආචාර්ය නන්දා මාලනියගේ ගායන ප්‍රතිභාවත් නිසාය. ඇය මේ සුගීතයේ ඉහළ ස්ථායි කොටස ගායනා කරන විලාසයෙන් තණ්හා ආශා පොදිබැඳි මිනිස් ජිවිතයෙහි නිසරු බව වටහාගන්නට බුද්ධිමත් රසිකයා පෙලඹේ. “සැපය කියා රසය කියා” මිනිසා සොයා යන්නේ සැපෙහිම දුකකි. රසම කියූ නීරස දෙයකි. පෘථග්ජන මිනිසුන්ගේ සිතට සැනසීමක් නැත. ඔවුහු ලෞකික සැප සම්පත් පසු පසම හඹායති. කෙළවරක් නැත. නන්දා මාලිනිය ගයන්නේ ‘පරම සුවය ලොවුතුරු නිවන’ බවයි. ගීතයෙහි දෙවැනි අන්තරා කොටසේ දී නන්දාමාලනී “ධන තණ්හාවේ සීමා නොමවේ” යනුවෙන් ගයන්නීය. ඉන් ධ්වනිත වන්නේ මිනිසුන්ගේ තෘෂ්ණා චෛතසිකයෙහි යථාර්ථයයි. කොතෙක් සැප සම්පත් තිබුණ ද මිනිසා සෑහීමකට පත් වන්නේ නැත. ‘තව තව රසයට ලොබ වන්නේ’ යන උච්චාරණය මිනිස් සිතෙහි ස්වභාවය මේ යැයි හඬගා කීමකි.
‘අමා රසය සදහම් රසයයි’ ගීතය සමාප්ත කෙරෙන දෙවන අන්තරා කොටසින් ‘තණ්හා ආශා සෝබිය ගෙනදෙන’ බව ඉඟිකරයි. සැනසීමක් නැති ගැලවීමක් නැති භව තණ්හාව නිසා ගොරතර සසරේ සිරවන්නේ යන යෙදුම් අඳුරේ ගිලී මියැදෙන සත්ත්ව ලෝකයේ අභ්‍යන්තරය විනිවිඳින්නට අන්තර් දෘෂ්ටි සපයයි. නන්දා මාලිනියගේ මෙමියුරු හඬ නොවුණේ නම් මේ ගීතය බෞද්ධ ජනතාව අතර මේසා ජනප්‍රිය නොවන්නට ද ඉඩ තිබුණි.
වර්තමානය වනවිට කුලරත්න ආරියවංශ වයෝවෘද්ධ, ඥානවෘද්ධ, ගුණවෘද්ධ ගේය පද රචකයෙකි. ඔහු තරුණ කාලයේ ප්‍රේමය පිළිබඳ ලියූ සරල, බොළඳ ගීතවලට වඩා පරිණතභාවයක් ‘සීතල දිය දෝතක්’ ගී පද සංග්‍රහයෙහි එන ගීතවල දක්නට ලැබෙනුයේ පෙරකී වෘද්ධභාවය නිසාය. ඔහුගේ පිනිබර මලක් (2016) ගීපද සංග්‍රහයෙහි නැති කාව්‍යමය ගුණයෙන් පොහොසත් වූ බහුවිධාර්ථ නංවන ප්‍රේමා ලාප මෙහි අන්තර්ගතය. ඒවායේ එන රමණීය බස ඉතාම සරල වුවද ධ්වනි පූර්ණය. වෛද්‍ය ආනන්ද පෙරේරා ගයන ‘මසිත හඳුනන ඔබ’ ගීතය නිදර්ශනයකි.
‘මසිත හඳුනන යෙහෙළි යයි ඔබ
මටම කැපවුණ දාසියයි
සෙතම සලසන සොයුරියයි ඔබ
කුලුණු බර මව් දේවියයි”
රෝහණ වීරසිංහ සංගීතවත් කළ මේ සුගීතයේ ස්ථායි කොටස ඇතුළු අන්තරා කොටස් හතරක් ඇති බැවින් ගීතයේ සමස්ත දෘශ්‍ය රූපයම උපුටනය ලිපිය දීර්ඝවීමට හේතු වේ. මෙම ගීතයේ එන අත්දැකීම අතිශය දුෂ්කර වූ එකකි. කථකයාට හමුවන ගැහැනිය අතිශය දුර්ලභ වස්තුවකි. ගැහැනුන් ලක්ෂ ගණනින් පෙරාගත නොහැකි තරම්ය. ඔහු ගීතයෙහි ස්ථායි කොටසින් කියන්නේ ඇගේ රුව නොව ගති ගුණය. ඇය කථකයාගේ සිත හඳුනන්නීය. වර්තමාන විවාහ ගැහැනුන්ට නැත්තේ ද එයමය. කථකයාට හමු වූ ගැහැනිය ඔහුටම කැපවූ දාසියකි. ඉන් ගම්‍ය වන්නේ නිවසේ කුදුමහත් දේවල් ඇය අතින් ඉටු කෙරෙන බවය. කථකයාට ‘සෙතම සලසන’ ඇය සහෝදරියකි. තවත් විටෙක ‘කුලුණුබර මව් දේවීයයි’. ඒ මවක සතු කරුණාව බිරියක ළඟ දක්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. කථකයාට එවැනි අතිශය දුර්ලභ බිරියක් ලැබී තිබීම ඔහු ලද භාග්‍යයකි.
ගීතයේ දෙවැනි අන්තරා කොටසින් ‘මුදු බසින් යහගුණෙන් පෑදී’ ඇය ඥාති හිතමිතුරන්ගේ සිත් දිනා දී කථකයාගේ ජීවිතයම ආලෝක කළ ‘යෙහෙළියක වූ සිරිකතයි’ කීමෙන්ම ඇය කුලගෙට පතිනියක පමණක් නොව, සෞභාග්‍යය ද ගෙන ආ බව කියයි. ඔවුන්ගේ විවාහය මොන තරම් සාර්ථක දැයි වැටහෙන්නේ එවිටය. සැබැවින්ම විවාහ වන්නේ පංචස්කන්ධ දෙකකි. විවාහයෙන් පසු ඒ පංචස්කන්ධ දෙක එකම පංචස්කන්ධයක් බවට පත්වේ. ස්වාමියා හුස්ම ගන්නා කල බිරියට ද බිරිය හුස්ම ගන්නා කල ස්වාමියාට ද නොදැනේ නම් එතැන සඵල වූ විවාහයක් නැත. එහෙත් කථකයාට ඇත්තේ ආත්මීය ගැහැනියකි. ගීතයේ දෙවැනි අන්තරා කොටසින් නිවහනේ සුවය, ගෙවුයනේ අසිරිය මවාදී සියලු ළතැවුල් මදහසින් ඉවසන ‘දාසියක් වන් සොඳුරියකැ’යි පවසයි. තෙවැනි අන්තරා කොටසින් මග නොමග කියා දී යහපතට මාවත තනාදී සිතට නිරන්තරයෙන්ම සවිබල ලබාදෙන ‘ළඟම රැදෙනා සොයුරි යැයි’ පවසයි. ගීතයේ සමාප්තියේදී හිතේ නැති සෙනෙහස කියා දී දරු සම්පත් ලබාදී, ජීවිතේ පල නෙළා රැකදෙන මේ ගුණැති සහකාරියයි යන කාව්‍යෝචිත යෙදුම් මේ ගීතය බිරියගේ සොඳුරු ගුණය පුරුෂ ආධ්‍යාත්මයේ ආලෝලනය කරන්නට සමත් වෙයි. එනිසා එකම වස්තු විෂයය ක්ෂේත්‍රයට සීමා නොවී සිංහල ගී කෙත පොහොණි කරන්නට කුලරත්න ආරියවංශ ගෙන ඇති ප්‍රයත්නය ‘සීතල දිය දෝතක්’ ගීත සංග්‍රහයෙහි එන ටී.එම්. ජයරත්න ගායනා කරන අප හමුවූවත්, චන්ද්‍රලේඛා පෙරේරා ගයන ‘දෑස තවම අතරමං වෙලා’, සුනිල් එදිරිසිංහ ගයන ‘දුර ගමන් යයි’, දීපිකා ප්‍රියදර්ශනී ගයන ‘අවදිවී සිටියේ සඳු පමණයි’, චන්ද්‍රලේඛා පෙරේරා ගයන ‘අසුරු සැණක් වී’, මිල්ටන් මල්ලවආරච්චි ගයන ‘පුංචි මල්ලියේ’, නිරෝෂා විරාජනී ගයන ‘මලක් වී නුඹත්, නිර්මලා රණතුංග ගයන ‘ඔබ නොආවා නම්’, නිරංජලා සරෝජනී ගයන ‘ පමා වී මෙසේ අප ඇයි’, පණ්ඩිත් අමරදේව ගයන ‘ඔබේ සිනා විකසිත වේවා’ වැනි ගීත නිරීක්ෂණය කිරීමෙන් පෙනේ.
● ආචාර්ය මහේෂ් ක්‍රිෂාන්ත