ඔබගේ සුබ කටයුතු සඳහා යොදාගත හැකි සුබ නැකැත් පහත පළ වේ. මෙම නැකැත් ඔබේ සුබ කටයුතු සඳහා යොදා ගැනීමේදී එම කාර්යයන් වඩාත් සාර්ථක කර ගැනීමට නම් ඔබගේ අවශ්‍යතාවය අනුව ජ්‍යොතිෂවේදී මහතකුගේ උපදෙස් ලබාගැනීම වඩා සුදුසුය.
ජුනි 04 වැනි බදාදා උත්‍රපල් නැකැත පවතින අතර අටවිසි මහා යෝග අතර ප්‍රවර්ධමා නම් යෝගය ද සුබ කර්ණයන් ද යෙදී ඇත. පංචාංගයෙන් කරුණු හතරක්ම සම්පූර්ණව පවතින මෙදින බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, අස්ලිස, දෙට, රේවතී යන නැකැත් හිමියන්ට වගා කටයුතු, වෙළෙඳ ව්‍යාපාර ආරම්භය, රථ වාහන සම්බන්ධ කටයුතු, විවාහ මංගල්‍ය කටයුතු, නිවාස සම්බන්ධ සියලු කටයුතු, මූල්‍ය කටයුතු, රැකියා සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, ආගමික කටයුතු හා විශේෂයෙන් කුඩා දරුවන්ගේ කන්විදීම, කෙස් කැපීම, බත්කැවීම, අකුරු කියවීම ආදී සියලු කටයුතු සඳහා මෙදින සුබ නැකැත් සාදා ගතහැකිය. පෙ:ව: 6.05, 7.29, 7.41, 9.05 යන වේලාවන් සුබදායක වන අතර සුබ දිශාව දකුණ වේ.
ජුනි 05 වැනි බ්‍රහස්පතින්දා සිද්ධි යෝග බලය සහිත සුබ දිනයකි. මෙදින ද පංචාංගයෙන් කරුණු හතරක් ම සම්පූර්ණ වී ඇති අතර හත නැකැත පවතින බැවින් ඉහත කී සියලු කරුණු මෙම දිනය ද සුදුසුය. කැති, උත්‍රපල්, උත්‍රසල, අද, සා, සියාවස, මුවසිරස, සිත, දෙනට, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල යන නැකැත් හිමියන්ට සීහෙන අතර පෙ:ව: 6.05, 9.37, 9.53, 11.29 සුබ වේලාවන් වේ. සුබ දිශාව නැඟෙනහිර වේ.
ජූනි 06 වැනි සිකුරාදා සිද්ධි යෝග බලය සහිත පංචාංගයෙන් හතරක්ම සුබ දිනයකි. සිත නැකැත පවතින මෙදින අද, සා, සියාවස, පුනාවස, විසා, පුවපුටුප, රෙහෙණ, හත, සුවණ, අස්ලිස, දෙට, රේවතී, බෙරණ, පුවපල්, පුවසල යන නැකැත් හිමියන්ට වගා කටයුතු, රථ වාහන සම්බන්ධ කටයුතු, රැකියා භාර ගැනීම්, ගිවිසුම් අත්සන් කිරීම්, තරග විභාග, ඉඩකඩම් හා නිවාස සම්බන්ධ කටයුතු, කුඩා දරුවන්ගේ කටයුතු ආදියට නැකැත් සාදා ගැනීම සඳහා ඉතා සුදුසුය. පෙ:ව: 6.29, 7.05, 8.29, 10.05 සුබ වේලාවන් ලෙස යොදා ගතහැකිය. සුබ දිසාව දකුණ වේ.
මෙම සතියේ වගා කටයුතු සඳහා 03 අඟහරුවාදා සහ 07 සෙනසුරාදා ඉතාම සුදුසුය. 03 අඟහරුවාදා සිංහකරණය සහ 07 සෙනසුරාදා දිවිකරණය පවතී. ගෙඩි, මල්, කරල්, කොළ, මුල් හෝ අල වර්ග රෝපණය කිරීම සඳහා මෙම දින දෙක යොදා ගත හැකි අතර මෙම දින දෙකේ වගා කිරීමෙන් ඌරන්, ඉත්තෑවුන්, රිළවුන් වැනි සතුන්ගෙන් වගාව ආරක්ෂා වේ.
සතියේ සුබ නැකැත්

ජ්‍යොතිර්වේදී,වාස්තුවිද්‍යා උපදේශක, විදුහල්පති, දේශමාන්‍ය
ආචාර්ය – කපිල ඉන්ද්‍රික ගුණදාස.
මාලිබොඩ- දැරණියගල.
076 824 8000