මාලිනී සොයුරියයි, මමයි හමුවෙන්නේ 1975 දී. ඒ වාසනා කියන චිත්‍රපටයට අදාළව නුගේගොඩ දී තිබූ මුහුරත් උළෙලකදී. ඊට පස්සේ පෙම්බර මධූ කියන චිත්‍රපටයේ මාලිනී සොයුරිය ඒකක රූගත කිරීමකදී මුණගැහිලා තියෙනවා.
මාලිනී අක්කා ඉතා හොඳ කෙනෙක්. ඉතා සුන්දර හදවතක් තියෙන නිළි රැජනක්.
ඇය ඇත්තටම සිනමාවේ රැජනක්. මෙවැනි අය ආයේ බිහිවෙන්නේ නැහැ.
මාලිනීගේ චිත්‍රපට 18කට ගායනයෙන් එකතු වුණා
– සුජාතා අත්තනායක

මාලිනී ෆොන්සේකා ඉගෙනගත්තේ කැලණිය ගුරුකුලයේ. ඇය 9 ශ්‍රේණියේ ඉගෙනගන්නකොට මම ඉගෙන ගත්තේ කැලණිය වෙදමුල්ල විදුහලේ 11 ශ්‍රේණියේ. ඇය රඟපෑ වේදිකා නාට්‍යයකට මම පසුබිම් ගීත ගායනයෙන් එක්වුණා ඒ 60 දශකයේ. එතකොට ඇය පාසල් යනවා. ඒ කාලයේත් ඇයගේ රංගන විලාසය හරිම ලස්සනයි. එතැනදී තමයි මා ඇයව හඳුනාගත්තේ. පසුකාලනීව මා ඇය රඟපෑ චිත්‍රපට 18 ක විතර පසුබිම් ගීත ගායනයෙන් එක්වුණා. ඒ චිත්‍රපට අතුරින් කීපයක් මට මතකයි. ඒ ‘ගංගා චිත්‍රපටයට මා ගායනා කරපු මීදුම් වලාවන් ගලාලා, සකුන්තලා චිත්‍රපටයේ සීතල රටේ, ආදර පූජාසනේ චිත්‍රපටයේ දෙවියනි ඔබ කොහෙද කියන ගීත වගේම තවත් ගීත රැසක් ගායනා කර තිබෙනවා. මගේ ඒ ගීතවලට ඇය හරි අපූරුවට රංගන දායකත්වය සැපයුවා. මේවා සිහිපත්වෙනකොට හරි අපූරුයි. ඇය වැනි ශ්‍රේෂ්ඨ රංගනවේදිනියක් මගේ ගීත ගායනාවලට රංගනයෙන් දායකවීම මා ලැබූ මහත් භාග්‍යයක්. ඇය අද මියගියත් මේ ගීත සදා අමරණීයයි.
මම එදාම හිතුවා මාලිනී දිනන බව – ‘පුංචි බබා’ අධ්‍යක්‍ෂ තිස්ස ලියනසූරිය

මාලිනීව තෝරා ගැනීම මම තනිවම කළේ නැහැ. ජෝ අබේවික්‍රම, ‘පුංචි බබා’ නිෂ්පාදක සුගතදාස මාරසිංහ සහ මම සාකච්ඡා කරලයි එය කළේ.
දවසක් ජෝ අබේවික්‍රම ඇවිත් කිව්වා ‘අකල් වැස්ස’ කියන වේදිකා නාට්‍යයේ දක්‍ෂ නිළියක් රඟපානවා. අපි ඒ නාට්‍යය බලමු කියලා. ඒ අනුව මමත්, සුගතදාස මාරසිංහත්, ජෝ අබේවික්‍රමත්, සිසිර සේනාරත්න සහ ඇන්ටන් අල්විසුත් ගියා ‘අකල්වැස්ස’ බලන්න. නාට්‍යය බලද්දි පෙනුණා, ඇය ඉතා විශිෂ්ට ලෙස රඟපානවා. රඟපෑම ගැන හොඳ අවබෝධයක් ඇය සතුව ඇතැයි අපට පෙනුණා. ‘පුංචි බබා’ ප්‍රධාන නිළිය ලෙස ඇය යොදාගත හැකි බවට අපි තීරණය කළා. අපි නිවසට ගොස් ඇගේ දෙමාපියන් සමග කතා කළා. ප්‍රධාන නිළිය ලෙස රඟපාන්න කැමැතිද කියලා ඇහුවා. ඇය ගේ ඇතුළට ගියා. ටික වේලාවකට පසු නැවත අප වෙත ආවා ‘මම කැමැතියි’ කියා.
ප්‍රධාන නිළියගේ ෆොටෝ ජෙනික් පැත්ත වැදගත්. අපි ඇගේ මුහුණ විවිධ කෝණ ඔස්සේ රූගත කර බැලුවා. ඇත්තටම ඇගේ පෙනුමේ කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ.
මට දැනුණා ඇයට කවද හරි මේ ක්ෂේත්‍රයේ යම්කිසි හොඳ තැනක් ලැබෙන බව.
ක්‍ෂේත්‍රයේ දැවැන්ත කණුවක් ඉදිරී වැටුණා – ජීවන් කුමාරතුංග

ඇත්තටම කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් හැටියට මේක මම විශාල කම්පනයකට, සංවේගයට පත්වෙච්ච අවස්ථාවක්. නිළි රැජන ලෙස එතුමියට ආමන්ත්‍රණය කෙරුවත් අපි සහෝදරත්වයෙන් ඇයට ආමන්ත්‍රණය කරන්නෙ මාලිනී අක්කේ කියල.
එතුමිය ගැන බොහෝ දේවල් කතාකරන්න තියෙන්නෙ සිනමා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන්. ඒ වෙනුවෙන් ඇය උසුලන ලද බර කන්දරාව උසුලන්න පුළුවන් තරමට, ඒ හිදැස පුරවන්න කෙනෙක් තව කාලයකට අපිට ලැබේවිද කියන සැකය අපි තුළ තබමින් තමයි එතුමිය අපෙන් සමුගන්නෙ. මොකද දශක හයක පමණ කාලයක් එතුමිය සිනමා ලෝකය වෙනුවෙන් සිදුකරන ලද සේවය මෙතෙකැයි කියන්න බැහැ. කලා සහ වාණිජ සිනමාවේ සමබරතාව රැකගන්න සමත් වුණ එකම කෙනා එතුමිය කියලයි මම නම් දකින්නෙ.
එතුමියගේ වියෝව සැලවීමත් එක්ක ක්‍ෂේත්‍රයේ දැවැන්ත කණුවක් ඉදිරී වැටුණා කියන හැඟීම තමයි මට ඇති වුණේ.
ඇය දේවතාවියක් – ලලිත් ධර්මවර්ධන

මාලිනී අක්කව මට මුලින්ම මුණගැහෙන්නෙ ‘ඉන්දුට මල් මිටක්’ චිත්‍රපටයෙන්. ඇය තමයි මාව සිනමාවට ගේන්නෙ. එතැන් පටන් අවුරුදු ගණනාවක් මම ඇයගෙ පුද්ගලික කොණ්ඩා සැකසුම් ශිල්පියා හැටියට කටයුතු කළා.
එක්ටැම්ගේ, අනුරාධා, පයිලට් ප්‍රේමනාත්, ගීතිකා, ඔබටයි ප්‍රියේ ආදරේ, සත්වෙනි දවස, ආකාස කුසුම්, මචන් වැනි චිත්‍රපට ගණනාවක කොණ්ඩා සැකසුම් ශිල්පියා හැටියට කටයුතු කළෙත් මම. මාලිනී අක්කගෙන් කවදාවත් මට කිසිම කරදරයක් තිබුණෙ නැහැ. මම කොණ්ඩය සකසා අවසන් වන තුරු ඇය ඇස් දෙක පියාගෙන ඉන්නව. දැන් හරි කියල මම කිව්වාමයි ඇය ඇස් දෙක අරින්නෙ. ඉන් පස්සෙ තමයි හරිවැරැද්දක් හෝ අඩුපාඩුවක් තියෙනවනම් කියන්නෙ. ඇය බොහොම ළෙන්ගතුයි, හරිම කරුණාවන්තයි. නිළියක් නොවෙයි, ඇය දේවතාවියක් විදිහටයි මට දැනෙන්නෙ.
මට මගේ අම්මගෙ වියෝව දරාගන්න පුළුවන්, නමුත් මාලිනි අක්කගෙ වියෝව දරාගන්න අමාරුයි. අවසන් කාලයෙත් මම නිතරම දුරකතනයෙන් කතාකරනව. මගේ ගෙදරට යනව එනව. අපි ආශ්‍රය කළේ හොඳම යහළුවො විදිහට.
මාලිනී ෆොන්සේකා කියන්නෙ ලංකාවේ බිහිවුණ අග්‍රගන්‍ය නිළියක්. ඒ අඩුව පිරිමහන්න කවදාකවත් බැරිවෙයි. මේ ක්‍ෂේත්‍රයේ ඉන්න ඕන චරිතයක්. නමුත් ඇය ඉක්මනින්ම යන්න ගියා.
ඇය වැනි කෙනෙක් අපේ සිනමාවට නැවත ලබන්න බැහැ – ක්ලීටස් මෙන්ඩිස්

ඇත්තටම කිව්වොත් මම සිනමාවට එන්නෙ ගාමිණී සහ මාලිනී නිසා. ඒ දෙන්නගේ ෆිල්ම්ස් බලල තමයි සිනමාවට එන්න මට ආසාව ඇති වෙන්නෙ. ඒ වගේම දෙන්නටම මම පණ වගේ ආදරය කළා.
සුගතපාල සෙනරත් යාපා කරපු එක්තරා කෙටි චිත්‍රපටයකින් තමයි මම මුලින්ම ක්‍ෂේත්‍රයට පිවිසෙන්නෙ. එහි එක්තරා දර්ශනයකදි ජෝ අබේවික්‍රම අයිය කියනව මේ ළමය ඇවිත්, තේ එකක් ගේන්නකො කියල. මාලිනී අක්කා තේ එක ගෙනත් දුන්න. ඒක බීපු ගමන් මට කරගන්න දෙයක් නැති වුණා. නමුත් වෙනසක් නොපෙන්වා කේ එක බීලා සීන් එක හරියට කළා. නමුත් මාලිනී අක්කට හිනා ගියා. මොකද තේ එකට හොඳටම ලුණු දාලා දුන්නෙ. ඒක හරිම සුන්දර ආරම්භයක්.
අවසාන වශයෙන් මාලිනී වෙනුවෙන් සිනෙස්ටාර් පදනම මගින් සංවිධානය කළ උත්සවයේදී ඇසින් කඳුලක් නොහෙලපු කෙනෙක් නැහැ.
ඇය රඟපෑ එක චිත්‍රපටයක්වත් වැටුනෙ නැහැ. හැම එකක්ම දිව්වා. ඒ වගේම ඇය කීදෙනෙක්ව ජීවත් කළාද. මාලිනී වගේ කෙනෙක් අපේ සිනමාවට නැවත ලබන්න බැහැ.
විශේෂයෙන්ම ජයන්ත ධර්මදාස මහතාවත් මේ වෙලාවෙ මතක්කරන්න ඕන. ඔහු තමයි මේ සියල්ල සංවිධානය කළේ.
මහේෂ් එදිරිසිංහ / ප්‍රදීප් සමරකෝන්