අම්ම නම් තාමත් කියන්නෙ රස්සාවක් හොයාගනින් කියල
නැතුවද අක්කෙ ඔබෙ හදවත කකියන්නෙ
නැතුවද අම්මෙ ඔබෙ හදවත නවතින්නෙ
ඔබෙ පොඩි මල්ලි මාරක ළිඳෙ කැරකෙන්නෙ
එන්න නරඹන්න නරඹන්න…
වාලම්පුරි බැලුවනම් ඔබට මේ වචන ටික අමතක වෙන්න විදියක් නැහැ. අපූරු වචන සෙට් එකක් කියන චින්තක එක්ක අපි පොඩි චැට් එකක් දැම්මා.

වාලම්පුරි මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. කොහොමද අංජනට ලැබෙන ප්‍රතිචාර?
මම චිත්‍රපට කිහිපයක රඟපාල තිබුණත් වාලම්පුරි චිත්‍රපටයට තමයි හොඳ චරිතයක් එක්ක සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ.
අංජනට මේ වාලම්පුරිය ලැබෙන්නෙ කොහොමද?
ඉස්සර තුමිඳු අයියල එක්ක වේදිකා නාට්‍යවලට නාට්‍ය බස් එකේ යද්දි මම කරන පිස්සු ටිකක් තියෙනව. මේ චිත්‍රපටයේ එන මාරක ළිඳේ කතාව එහෙමත් ඒකෙදි කියන එකක්. එක දවසක් අපිට ටවුන්හෝල් එකේ ෂූට් එකක් තිබුණා. ඒ යන අතරමගදි තුමිඳු අයිය කිව්වා, අංජන අර මාරක ළිඳේ එනවුන්ස් කරන විදිහට කරල පෙන්නපන් ලකාටත් (ලක්මාල් ධර්මරත්න) බලන්න කියල. කොහොම හරි ඒ පොඩි දුර එද්දි මම ඒක කිව්වා. ඒ වෙලාවෙ ලකා ඉස්සරහ හිටියෙ. එකපාරම හැරිල කිව්වා, ඒ… ඒක මරුනෙ බන් වැඩකට කියල. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ ලකා මට කෝල් කරල කිව්වා, අංජනයා… මම බයිස්කෝප් එකක් ලිව්වා, උඹත් ඒකෙ ඉන්නව කියල. ඒ බයිස්කෝප් එක තමයි වාලම්පුරි විදිහට එළියට ආවෙ.

වාලම්පුරි ගැන මේ දවස්වල සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනව. මේ කණ්ඩායමේ සාමාජිකයෙක් හැටියට ඔබට කොහොමද ඒක දැනෙන්නෙ?
මේක ලකා හොඳට හිතල බලල කරපු නිර්මාණයක්. ඔහු ඒ වෙනුවෙන් තෝරාගත්ත පිරිසත් ඉතාමත් හොඳින් ගැළපෙනව. ඒ වගේ හත්දෙනෙක් එක්ක ඇක්ට් කරන ලැබීම මගෙත් වාසනාවක්. ඒ නළුවෝ ටික කියන්නෙ ලංකාවේ හිට්ම කැරැක්ටර්ස්.
සිඩ්නිල, චින්තකල, ඇන්ජලෝල, මේ හැමෝම සමාජයේ ජීවත් වෙන චරිත. අපේ ජීවිතවලත් තියෙන්නෙ මැච් එකක් ගහන සීන් එකක්නෙ. වාලම්පුරිය ඇතුළෙ අපි දැක්ක අපේ හීන වගේම අපේ මැච් එකත් තියෙනව.
සිස්ටම් එකේ වෙනසකුත් ඒක ඇතුළෙ කියනවද?
ඇත්තම කිව්වොත් රාණිගෙන් පටන්ගත්ත ගැම්මත් එක්ක නෙළුම් කු-ළුන වගේම වාලම්පුරි ත් ඒක තව ටිකක් උඩට ඉස්සුව. ඒ අනුව සිනමාවේ සතුටුදායක වෙනසක් සිදුවේගෙන එනව කියල අපිට දැනෙනව.
සාම්ප්‍රදායික මාතෘකාවලට වඩා වෙනස් ශානරයන්වලට ප්‍රේක්‍ෂකයන්ගෙ වැඩි ආකර්ෂණයක් තියෙනවද?
මං හිතන්නෙ මේ වනවිට සිනමාව ගැන ප්‍රේක්‍ෂකයන් අප්ඩේට් වෙලා තියෙනව. මොකද නෙට්ෆ්ලික්ස් වගේ දේවල්වලින් තමන්ට කැමති දේ බලල ඔවුන් තාක්‍ෂණයත් එක්කත් ඉදිරියෙන් ඉන්නව.
දැන් ප්‍රේක්‍ෂකයන්ට බොරු කරන්න බැහැ. මේ දේවල් එක්ක තමයි රාණි, නෙළුම් කුළුන සහ වාලම්පුරි යන සිනමා නිර්මාණ උඩට ආවෙ. සිනමාව මේ විදිහට පවත්වාගෙන යන්න නම් ප්‍රේක්‍ෂකයන්ට මේ වගේ හොඳ දේවල් දෙන්න වෙනව.
පිටකොටුවෙ ෂූටිං අත්දැකීම මොන වගේද?
කූඹියෝ නිර්මාණයේදිත් මට මේ වගේම දුවන්න සිද්ධ වුණා. ලකාගෙ වැඩවල මට ලැබුණෙ දුවන්නම තමයි. වාලම්පුරි ඇතුළෙත් චිත්‍රපටය පටන්ගත්ත වෙලාවෙ ඉඳන් අවසානය වෙනතුරු දුවන්න තියෙන චරිතයක්. මං හිතන්නෙ හොඳ වැඩකට හොඳට දුවන්න වෙනව.
ඔබේ කලා ගමන දෙස ආපසු හැරී බැලුවොත්?
මම මේ ගමන පටන්ගත්තෙ වේදිකාවෙන්. දැන් අවුරුදු විසි හයකටත් වැඩියි. මේ අතර ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වුණා. නමුත් මගේ හීනය වුණේ සිනමාව.
අංජන කියන්නෙ ලැබෙන පොඩි ඉඩකින් මැච් එකක් ගහන චරිතයක්?
මං හිතන්නෙ ලැබෙන පොඩි දෙයක් හරි අපි හරියට, හොඳට කළොත් ඒක පත්තු වෙනව. ඒක අපේ වගකීමක් වගේම අපි කළ යුතු දෙයක්. එහෙම කළොත් මිනිස්සුන්ට දැනෙනව.
අංජන මේ ගමන එන්න මාර කට්ටක් කෑවා?
ඔව්, මම මේ වෙනුවෙන් හොරොම්බාවෙ ඉඳන් කොළඹ ඇවිල්ල, තැන් තැන්වල බෝඩිංවල නැවතිල, කොළඹ වටේ පෝස්ටර් ගහල, සෙට් උස්සල, ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් නිවේදන කටයුතු කරල, පාරෙ නටල මේ හැම දෙයක්ම කළා. මේ දේවල් එක්ක රඟපෑම ගැන ලොකු අත්දැකීමක් වගේම ලොකු පන්නරයක් ලැබුවා. දුක්විඳපු අතීතයේ ප්‍රතිපල වාලම්පුරි වගේ නිර්මාණවලින් දකින්න ලැබෙනව.
මේ දවස්වල මොනවද වැඩකටයුතු?
හිරු ටීවී නාළිකාවේ විකාශය වන, අරුණ ජයවර්ධනගෙ ‘මාස්ටර් සර්’ සහ ස්වර්ණවාහිනියෙ විකාශය වන, අසංක සායක්කාරගෙ ‘ඇයි අපි සුදුද’ යන ටෙලි නාට්‍ය දෙකේ වැඩකටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නව.
මොනවද තිරගතවීමට නියමිත චිත්‍රපට?
චමින්ද අයියගෙ ‘ෆාදර්’ චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඒක තව මාස කිහිපයකින් තිරගතවෙයි කියල විශ්වාස කරනව.
තණමල්විල කොල්ලෙක් හි ‘පතෝලයා’ ඔබේ ජීවිතයට සුවිශේෂයි?
ඔව්, රොෂාන් රවීන්ද්‍ර අයිය අධ්‍යක්‍ෂණය කළ මේ ටෙලි නාට්‍යය මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් වුණා වගේම මගේ වටිනාකම තව ටිකක් වැඩිවෙන්න ඒක බලපෑවා. මේ නිර්මාණයේ කාස්ට් එක ඉතාමත් හොඳ පිරිසක්. නිර්මාණයක් තුළ තනියෙන් රඟපාල ගොඩ යන්න බැහැ. ඒක සාමූහික ක්‍රීඩාවක් වගේ දෙයක්. කවුරු හරි මිස් කළොත් එතැනින් කඩාගෙන වැටෙනව. හැමෝම එකා වගේ සෙල්ලම් කළොත් තමයි වැඩේ ලස්සන වෙන්නෙ, ගේම දිනන්න පුළුවන් වෙන්නෙ. තණමල්විල කොල්ලෙක් කියන්නෙ එහෙම දිනපු වැඩක්.
වේදිකාවේ වැඩකටයුතු?
මම සෑහෙන කාලෙකින් වේදිකාවේ වැඩ කළේ නැහැ. වැඩකරන්න ලැබුණෙත් නැහැ. අපි කරපු කාලෙ මාස තුනහතරක් රිහර්සල් කරල ෂෝ එකක් දෙකක් වගේ තමයි පෙන්නන්න වුණේ. දැන්නම් එහෙම නැහැ. ආසාවෙන් ඉන්නව හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න. වේදිකාව කියන්නෙ මගේ ජීවිතේ කෑල්ලක්. සිනමාව කියන්නෙ මගේ හීනයක්. ඒ ටික අස්සෙ මම හැමදාමත් ඇවිදිනව.
ගෙදර අය මොකද කියන්නෙ?
එයාලට හරිම සතුටුයි. ඒකට ආසයි ආදරෙයි. ඒත් අම්ම නම් තාමත් කියන්නෙ රස්සාවක් හොයාගනින් කියල.
මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – නලීම් කමල්ඩීන්